අපේ රටේ හුඟක් ව්‍යාපාරිකයෝ බිහි වුණේ දැවෙන ප්‍රශ්නයකට විසඳුමක් සෙවීමෙන්

මැයි 23, 2022

 

රන් බත් සහ ත්‍රීස්ටාර් ෆාම් ආයතනයේ සභාපතිනි

ජානකී කත්‍රිආරච්චි

 

පලා වර්ගයක් අපේ බත්පතට එක්කර ගැනීමෙන් ලැබෙන්නේ මිල කළ නොහැකි පෝෂණයකි. එහි වටිනාකම වඩාත් හොඳින්ම දන්නේ නිවෙසේ ආදරණීය අම්මාය. පවුලේ පෝෂණය ගැන සිතන අම්මා පලා මැල්ලුමකින් රස කරන්නට ගත් උත්සාහය කාලය විසින් උදුරාගෙන ඇත්තේ අප නොසිතන ලෙසිනි.

 

මේ උදුරාගත් වටිනාකමට අගයක් එක් කරන්නට සිතූ මවකට ඇති වූ සිතුවිල්ල ඇයට ව්‍යාපාර ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්නට මං සැලසීය. වසර 24කට පෙර ඇයට මේ සිතුවිල්ල පහළවෙන්නේ තම දරුවන් තිදෙනාට කෑම කවමින් සිටින මොහොතකය. ගෘහණියක් ලෙසින් තම දරුවන් බලාකියා ගනිමින් නිවෙසේ සිටින ඇය දරුවන්ගේ කෑම වේලට පලා මැල්ලුමක් සකස්කර දෙන්නට තිබූ අකැමැත්ත පලා මැල්ලුම් අලෙවිකරන ව්‍යාපාර ජාලයක් බවට පත් කරගත් ඇගේ කතාව යි මේ. ජානකි කත්‍රිආරච්චි... පලා මිටි පහකින් ව්‍යාපාරයක් පටන් ගෙන මේ වන විට ත්‍රී ස්ටාර් ෆාම් ආයතනයේ අධිපතිනිය ලෙසිත්, 'රන්බත' අවන්හල ව්‍යාපාරයේ අධ්‍යක්ෂතුමිය ලෙසත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ලබාගෙන ඇත්තේ අපරිමිත වූ කැපවීමක ප්‍රතිඵලයක් ලෙසිනි.

මේ තරම් දුරක් පැමිණි ගමනේදී මුල් පියවර තබන්නට 'තරුණී' දැක්වූ සහයෝගය හා දායකත්වය තවමත් ඇගේ මතකයේ ඇත. "ජානකීගේ පලා මල්ල" ලිපි මාලාවෙන් තරුණී පාඨකයන් අතරට පැමිණි ඇය ඒ පලා මල්ලෙන් දැවැන්ත ව්‍යාපාරයක් ආරම්භ කළ අයුරු සඳහන් කරන්නේ නිහතමානී ලෙසිනි.

මේ තරම් දුරක් පැමිණීම ගැන මොකද හිතෙන්නේ?

ඒක ගැන මට සියුම් සතුටක් දැනෙනවා. මම පුංචිකා‍ෙල් සිට කරපු හැමදෙයක්ම කළේ අවංකව. ඒ අවංකකමට අද මට වටිනාකමක් ලැබිලා තියෙනවා. අවුරුදු 24කට පෙර දවසක අහඹු සිද්ධියක් වුණා. මම දරුවන්ට කෑම කවමින් හිටියේ. අැත්තටම මම දරුවන්ට මැල්ලුම් කවනවා අඩුයි. අඩුයි නෙවෙයි මම මැල්ලුම් හදන්න කම්මැළියි. හැබැයි මම පොඩිකාලේ මගේ මව්පියෝ මට එළවළු, පලතුරු, පලා වර්ග ඇතිවෙන්න දුන්නා. නමුත් මගේ දරුවන්ට ඒ දේවල් නොදීම ලොකු අසාධාරණයක් කියලා මට හිතුණා. එහෙම හිතලා මම පුරුදු වුණා ටික ටික දරුවන්ට පලා වර්ග දෙන්න. ඇත්තටම රැකියාවක් නොකරන මට මේක මේ තරම් අමාරු නම් රැකියාවක් කරන අම්මලාට කොයි තරම් අමාරුද? මේක විනාඩි දෙක තුනකින් හදාගන්න පුළුවන් නිෂ්පාදනයක් ලෙස වෙළෙඳපොළට දාන සිතුවිල්ල ඇතිවුණේ ඊට පස්සේ. ඒ ප්‍රශ්නයට මම උත්තරයක් හෙව්වා. අපේ රටේ ව්‍යවසායකයෝ හුඟක් බිහිවෙලා තියෙන්නේ ප්‍රශ්නයකට උත්තරයක් ලෙසින් නිෂ්පාදනයක් කිරීමෙන්නේ. මම ඒ සිද්ධාන්තයම යොදාගෙන තමයි පලා පැකට් කර විකිණීම පටන් ගත්තේ. ඒකට ත්‍රී ස්ටාර් ෆාම් කියලා නම තිබ්බේ දරුවෝ තුන්දෙනා නිසයි.

ඔබට මේ පලා පැකට් කරන ව්‍යාපාර පටන් ගන්න අපහසු වුණේ නැද්ද?

කාබනික කියන සංකල්පය ගැන මට ලොකුවට හිතන්න දෙයක් තිබුණේ නැහැ. පොඩි කාලේ ඉඳලා මට දැකලා පුරුද්ද තිබුණා තාත්තා, ආතලා බෙහෙත් නොගහා කෙම්ක්‍රම මඟින් වගා කරපු හැටි. කාබනික පොහොර සොයාගැනීම කියන කරන දේ හරියටම සහතිකයක් ඇතිව කරන එක තමයි මට තිබුණු වුවමනාව. කාබනික තත්ත්ව සහතිකය ගන්න මුලින්ම කෘෂිකර්ම අමාත්‍යංශයට ගියා. ඒ කාලේ වෙනකොට කාබනික තත්ත්ව සහතිකයක් ගැන හිතලවත් තිබුණේ නැහැ. පස්සේ මට දැනගන්න ලැබුණා නෙදර්ලන්තයෙන් තමයි මේක සහතික කරන්නේ කියලා. ඒ අය එතැනට ගියාම මට හිනාවුණා. මේ වගේ පොඩි ඉඩමකට සහතිකය ගන්න වියදමක් යනවා. ඒක අපරාධයක් කිව්වා. නමුත් කරන දේ හරියට ප්‍රමිතියට කරන්න ඕනේ නිසා ඒ අදහස අතහැරියේ නැහැ. එතකොට තමයි ඒ සහතිකය ගැනීමට තිබෙන ප්‍රමිතිය ගැන දැනුවත් වුණේ. මට මතක විදිහට 2004 දී මම ලංකාවේ පළමුවෙන්ම පලා වර්ගවලට කාබනික තත්ත්ව සහතිකය ගත්තා. ඊට පස්සේ තමයි 2005 දී ලංකාවේ පළමුවෙන්ම පලා පැකට් එකට ප්‍රමිති සහතිකයක් ගත්තේ. GMP තත්ත්ව සහතිකය ලංකාවේ පළමුවෙන්ම මම තමයි ඒ සහතිකය ගත්තේ. ඒක අපේ ව්‍යාපාරයට ලොකු වටිනාකමක් ලැබුණා. ISO සහතිකයක් ගත්තා. ඒ අතරේ අපේ නිෂ්පාදනයත් වැඩි වුණා. මෙම ව්‍යාපාරයට මගේ සැමියාගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. දිවයින පුරා පිහිටි ගොවිබිම් සහ වගා කටයුතු පැත්ත සම්පූර්ණයෙන්ම ඔහු යටතේ කෙරෙනු ලබනවා."

එතකොට ඔබ ආරම්භ කරපු 'රන් බත්' කියන අවන්හල් ව්‍යාපාරය බිහි වුණේ කොහොමද?

"ඇත්තටම අපේ රටේ ඒ වෙනකොට වස විස නැති පලා වර්ග සුපිරි වෙළෙඳපොලේ තිබුණේ අපේ විතරයි. හැබැයි වස විස නැති කෑමක් කන්න තැනක් තිබුණේ නැහැ. හුඟක් අය නාගරිකව ඉන්නවා වස විස නැති කෑමක් කන්න නැති නමුත්.... මේ කෑමවල වටිනාකම දන්න. අපේ අත්තම්මගේ, අම්මගේ කෑමවල රස හොයන අය සෑහෙන්න හිටියා. අනික අපේ රටේ ලෙඩ රෝග පුදුම විදිහට වැඩි වෙන නිසයි මේ රන් බත් ව්‍යාපාරය පටන් ගත්තේ. රසායනික පොහොර හා කෘමි නාශක වගාවට යෙදීමයි ආහාරයට රසකාරක එක් කිරීම තමයි ඔය හැමදේටම හේතුව වුණේ. මට අවශ්‍ය වුණේ බඩට කන වස පිඟාන වෙනුවට බත් පිඟානක් දෙන්නයි. ඒකයි මේ ව්‍යාපාරයට යොමු වුණේ. ඉස්සර රජකාලේ පටන්ම කුරුලුතුඩ, සුවඳැල්, කළු හීනටි හාල් කාලා තමයි යෝධයෝ ශක්තිමත් වුණේ කියලා දැනගෙන අද අපි වස විස පිරි කෑම කනවා. ඒකට හේතුව වුණේ ඒ වගේ කෑම කන්න තැනක් නැතිකම. ඒකට විසඳුමක් හැටියට තමයි පුංචි උත්සාහයක් හරි අරගෙන මේ වගේ පොඩියට අපේ කෑම තියෙන අවන්හලක් පටන් ගත්තෙ. හැමෝම චීන කෑම දාන අතරේ මම අපේ කෑමක් දෙන්න හිතුවා. අපේ රටේ මොන නගරයකට ගියත් කන්න තියෙන්නේ රස කාරක දාපු කෑමනේ. කඩේ නම විතරයි සිංහල. කෑම ඔක්කොම පිටරටින් ගෙනාපු රසකාරක යොදලා හදන්නේ. අපේ රටේ ශ්‍රී ලාංකික කෑම කියන එකට සන්නාමයක් නැහැනේ. ඒ සන්නාමය හදාගන්න තමයි මේ 'රන් බත්' පටන් ගත්තේ. 'රන් බත්' කියපු ගමන් රත්තරන් වගේ වටිනා දෙයක් වෙන්න ඕනා කියන එක මිනිසුන්ගේ ඔළුවට යන නිසයි ඒ නම යෙදුවේ. ඒ නමේ වටිනාකම හරියටම මම හැමදාම පාරිභෝගිකයාට දුන්නා.''

ඒක කළේ කොහොමද? මේ කාලේ ටිකක් අපහසුයි නේද?

''අපි ඉතාම අසීරුවෙන් බෙහෙත් හාල් වර්ග තිබෙන ගොවි පිරිසක් සොයා ගත්තා. ඒ හාල් ඇටේ හැම විදිහෙන්ම බෙහෙතක්. මේ රටේ තිබෙන ප්‍රශ්නත් එක්ක ගැහැනියක් ලෙස මම ව්‍යාපාරය කරන්නේ විශාල අභියෝග රැසක් මැද. සමහරු පුදුම වෙනවා මම කරන වැඩේට. නමුත් මම මේ ව්‍යාපාරය කොහොම හරි සියලු බාධක මැද කරගෙන යනවා. මොනතරම් බාධක ආවත් මම ව්‍යාපාරයේ ගුණාත්මක බව අඩුකරන්නේවත් කිසිම දෙයකට වස විස දාන්නේවත් නැහැ.‘

ඇත්තටම ඔබ මේ ව්‍යාපාරයෙන් අපේක්ෂා කරන්නේ මොකක්ද?

''ඇත්තටම අපි කරන ව්‍යාපාර‍ෙයන් අපට ආත්ම තෘප්තියක් තිබිය යුතුයි. ඒ දේ මට මේ ව්‍යාපාරයෙන් ලැබෙනවා. අපි හොඳ දෙයක් කළොත් අපට පාරිභෝගිකයන්ගෙන් හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා. අපි කුරක්කන්වලින් කෑම විශාල ප්‍රමාණයක් හදනවා. ඒ කෑම වර්ග හරිම ජනප්‍රිය අපි නියම කුරක්කන් පිටි විතරයි මේ කෑම හදන්න ගන්නේ. කිසි දෙයක් කලවම් නොකර දේශීය රස ඒ ආකාරයෙන් තිබෙනවා. ඒ වගේම අපේ රසකැවිලි වර්ගත් ඒ වගේම රසවත්. අපි අතුරුපසට පවා දෙන්නේ අපේ සිංහල රසකැවිලි. ක්ෂණික කෑම කියන එක අපි කිසිම දවසක හදන්නේ නැහැ. ඒ වගේම ප්ලාස්ටික් පොලිතින් භාවිතයෙනුත් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා අපේ දෙයක් හරියට කරනවා. අපි ඒ වෙනුවෙන් ලැබුණු සම්මාන ගණනක් තිබෙනවා. පරිසර හිතකාමි සම්මාන, ව්‍යවසායකත්ව සම්මාන හැම දෙයක්ම ලැබුණේ රන් බත් කියන දේ හරියට කරපු නිසයි. හුඟ දෙනෙක් කියනවා මස්, මාළු එක්ක මේ හෝටලය තිබුණා නම් හොඳ ලාභයක් ගන්න තිබුණා කියලා. නමුත් ලාභයට වඩා හොඳ දෙයක් කරලා ලබන ආත්ම තෘප්තිය මුදල්වලට වඩා වටිනවා. අපේ තාත්තා මට හැමදාම කිව්වේ සල්ලිවලට වඩා මිනිස්සු හම්බ කරන්න. ඒ දේ හැමදාම මගේ හිතේ තිබුණා.

ඔබේ ව්‍යාපාර කටයුතු අතර පෞද්ගලික ජීවිතයේ තොරතුරු ටිකක් අපට සඳහන් කළොත්...

මම මේ ව්‍යාපාර කටයුතු කරන අතරේ ව්‍යවසායකත්ව අධ්‍යයන මාස්ටර්ස් උපාධියක් අවසන් කළා. ඊට පසුව තවදුරටත් අධ්‍යයන කටයුතු කරන අතර ව්‍යාපාර ක්ෂේත්‍රයේ මේ සංකල්පය තවදුරටත් රට පුරා ව්‍යාප්ත කිරීම මෙන්ම තවත් කාන්තා ව්‍යවසායිකාවන් දිරිගන්වන්න වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මගේ පුතාත්, හෝටල් කළමනාකරණ අධ්‍යයන පාඨමාලාවක් අවසන් කරලා වැඩිදුර ඉගෙන ගන්නා අතර මට විශාල සහයෝගයක් ලබා දෙනවා. මගේ එක් දුවක් නීතිඥවරියක් ලෙස කටයුතු කරනවා. අනෙක් දුවත් මාස්ටර්ස් උපාධිය අවසන් කර ඇයගේම ව්‍යාපාරයක් කරන අතර 'රන් බත්' හි අධ්‍යක්ෂිකාවක් ලෙස සහයෝගය ලබා දෙනවා.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.