බොලිවුඩය හා හොලිවුඩය යා කළ ‘නික්යන්කා’ විවාහයේ අසිරිය

දෙසැම්බර් 12, 2018

ඇගේ නළලත රත් පැහැති සින්දූර්වලින් සැරසී තිබේ. දෑතේ රත් පැහැයෙන් දිදුලන වළලුය. එපමණක් නොව වෙනදා සැරසෙන මෝස්තරකාර ඇඳුම් වෙනුවට අද සාරියකින් සැරසී හිඳින මේ සොඳුරිය කියන්නේ දැන් ඈ පතිනියක බවයි.

මේ සිනමාවත් සංගීතයත් මුහුවුණු සපුරා වෙනස් රටවල් දෙකක් අතර වූ විවාහයකි. බොලිවුඩ් හොලිවුඩ් යා කළ විවාහයක අසිරිය දැක ගැනීමට පසුගියදා කාටත් හැකිවිය. ඒ බොලිවුඩ් සුපිරි නිළි, ලෝක රූප රාජිනියක වූ ප්‍රියංකා චොප්රාගේත් අමෙරිකන් ගායක නික් ජෝනාගේත් ඉන්දියාවේ ජෝද්පූර්හි ටාජ් උමයිද් බවන් මාලිගයේ පසුගිය නොවැම්බර් 30 වැනිදා සිට දෙසැම්බර් 02 වැනිදා දක්වා පැවති අසිරිමත්ම විවාහයයි. මේ වසරේ ඉන්දියාවේ පැවැති උත්කර්ෂවත්ම විවාහය එයයි.

ජාතීන් දෙකක්, සංස්කෘතීන් දෙකක් සම මිශ්‍රණය වෙමින් පැවැති මේ අසිරිමත් මංගල්‍ය රජ මාලිගාවකම පවත්වන්නට ප්‍රියංකාට උවමනා වූයේ ඇය ‘හැරී මේගන්’ විවාහයට සහභාගී වූ දවසේ සිටය. දැන් ඇගේ සිහිනය සැබෑ වී ඇත.

ටාජ් උමයිද් බවන් මාලිගය අක්කර 26 ක වපසරියක පිහිටි මනරම් පාරාදීසයකි. එහි අක්කර 15 ක් ම ඇත්තේ උද්‍යානයයි. කාමර 347 කින් සමන්විත මේ මාලිගය ලොව විශාලතම සහ සුඛෝපභෝගීත්වයෙන් යුතු පෞද්ගලික නිවාසවලින් හයවැනි ස්ථානය උසුලයි. පසුගිය ජුනි මාසයේ ප්‍රියංකාගේ 36 වැනි උපන්දිනය දා ලන්ඩනයේ දී විවාහ ගිවිසගත් මෙම යුවළ එදින සිට සැලසුම් කළේ අසිරිමත් විවාහයකි. නෑහිතමිතුරන් සහ බොලිවුඩයේ සීමිත යහළු යෙහෙළියන් පිරිසක් පිරිවරා පැවැති මේ උත්සවයට නීතා අම්බානී ඇතුළු අම්බානි පවුලේ සියලු සාමාජිකයන් එක්වී සිටියා. ප්‍රියංකාගේ ඥාති සොහොයුරියක්වන නිළි පරිනීති චොප්රා ද මෙම අවස්ථාවට එක් වී සිටියා. ඒ වගේම නික් ජෝනාගේ පවුලේ සියලුදෙනාත් පැමිණ සිටියා.

මේ දින තුන මෙහෙන්දි උත්සවය, සංගීත් උත්සවය, කතෝලික විවාහ උත්සවය හා හින්දු විවාහ උත්සවය ලෙස උත්සව හතරකින් සමන්විත වූවා. මෙහෙන්දි උත්සවයෙන් පසුව ක්‍රිකට් තරගයක් ද පැවැති අතර සංගීත් උත්සවය සම්පූර්ණයෙන්ම හින්දි සිනමා සිත්තමක සිරි ගත්තා. තමන්ගේ විවාහය දවසේ නික් ජෝනා මෙන්ම ප්‍රියංකා ද ගීත ගායනා කළ අතර නර්තන ද ඉදිරිපත් කළා. එහිදී විශේෂයෙන්ම කැපී පෙනුනේ ප්‍රියංකා සිය මව වූ මධූ චොප්රා සමඟ රාම්ලීලා සිනමා සිත්තමේ සින්දුවකට එක්කළ නර්තනයයි. ඒ වගේම මෙහෙන්දි උත්සවයත් සංගීතයෙන් වර්ණවත් වී තිබුණා. එහිදී ද ප්‍රියංකා ගේ අපූරු නර්තනයක් කාටත් දැකගත හැකි විණී.

සුදු පැහැති අත් දිගට යෙදූ හයි නෙක් කර සහිත ගවුමකින් සැරසී ක්‍රිස්තියානි ක්‍රමයට පැවැති විවාහ උත්සවයේ මනාලිය ලෙස ප්‍රියංකා සැරසී සිටීම මිහිබට සුරඟනක් සිහිකර වීය. ඇගේ වේලය දිගින් අඩි 75 ක් වූ අතර එය මේගන් මාර්කෙල් ගේ වේලය ට වඩා විශාල දිගකින් යුක්ත විය. මේගන් ගේ වේලයේ දිග වූයේ අඩි 16 කි. මෙම මංගල ඇඳුම නිර්මාණය කරන ලද්දේ රුලෆ් ලෝරේන් විසිනි. ඒ සඳහා ලේස්, පර්ල්, ක්‍රිස්ටල් වගේම පබළු ද එක් වී තිබූ අතර ප්‍රියංකා විසින් සිය නැන්දම්මා වූ ඩෙනිස් ගේ මංගල ගවුමෙන් ද තමාගේ ගවුමට ලේස් එක්කරගෙන තිබුණි. මෙම ගවුම නිර්මාණය කිරීමට පැය 1826 ක් ගත වී ඇත. මෙම විවාහ උත්සවය නික්ගේ පියා වූ පෝල් කෙවින් ජෝනාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එයට අඩි 18 ක් උස කේක් නිර්මාණයක් එක්වී තිබුණි. නික් ඩුබායිවලින් හා කුවේට්වලින් පෞද්ගලික සූපවේදීන් ද මෙම උත්සවයේ කෑම සෑදීමට හා කේක් එක නිර්මාණය කරන්න රැගෙන විත් තිබුණා. මෙම සියලු උත්සවවල ඇඳුම් නිර්මාණය ඉන්දීය ශිල්පීන් සමඟ ජාත්‍යන්තර ඇඳුම් නිර්මාණ ශිල්පී රැල්ෆ් ලෝරේන් විසින් සිදුකර තිබුණි. මෙහෙන්දි උත්සවයේ දී ප්‍රියංකාගේ ඇඳුම අබූ ජානි සන්දීප් කෝසලගේ නිර්මාණයක්. විවාහ උත්සවයට පැමිණී සියලුදෙනාටම විශේෂ තිළිණ ලබා දීමක් ද සිදු වුණා. එමෙන්ම ප්‍රියංකා සිය නැන්දම්මා වූ ඩෙනිස් ජෝනා වෙත දියමන්ති කරාබු යුවළක් ද තිළිණ කළා. මෙය අමෙරිකන් ඩොලර් 79500 ක් තරම් ඉහළ මිලක් වුණාලු. ප්‍රියංකාත් ඉන්දීය රුපියල් මිලියනයක් වටිනා ආභරණ සිය විවාහය වෙනුවෙන් පැලඳ සිටියා.

ජායිපූර්හීි පැවැති විවාහ උත්සවයෙන් පසුව දෙසැම්බර් 4 වැනිදා දිල්ලියේ දී තවත් උත්සවයක් පැවැත්වුණේ ඥාතින් හා ළඟම හිතවතුන් වෙනුවෙනි. එමෙන්ම ඉදිරි දිනක දී යහළු යෙහෙළියන් හා සිනමා කර්මාන්තයේ අය වෙනුවෙන් මුම්බායිවල ද උත්සවයක් පැවැත් වීමට නියමිතයි. දැන් කවුරුත් මේ යුවළ හඳුන්වන්නේ ‘නික්යන්කා’ කියලයි.

මේ විවාහයේ දී මනාල යුවළ ඇතෙක් පිට නැඟී යාමත් මනාලයා අශ්වයන් පිට නැඟී යාමත් වෙනුවෙන් සත්ත්ව හිංසනයට එරෙහිව පෙනීසිටින ර්‍ථඡ්ඊඒ සංවිධානය සිය අප්‍රසාදය නික්යන්කා යුවළ වෙත පළකර තිබුණි.