හොඳ අයට මේ මහ පොළොවේ ඉඩ අඩුයි

මැයි 1, 2019

දිගු  කලක් සමීපව ඇසුරු කළ ප්‍රවීණ නිවේදිකා ඉඳුනිල් දිසානායක

පසුගිය දා පුපුරාගිය කෲරතර ත්‍රස්තවාදී බෝම්බය නොසිතූ මොහොතක අපේ පි‍්‍රයයන්ගේ ජීවිත උදුරා ගත්තේය. “ෂැංගී‍්‍ර-ලා” හෝටලයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේට හා ඇගේ දියණිය නිසංගාට ජීවිත අහිමි වුණි.

දැයේ කාන්තාවන් වෙත සූපවේදයේ රස රහස් කියාදෙන්නට කාන්තා වැඩසටහන් සඳහා පුංචි තිරයට ගොඩවැදි ශාන්තා ප්‍රවීණ නිවේදිකා ඉඳුනිල් දිසානායකගේ කළණ මිතුරිය වේ. හදිසියේම අවසන් ගමනට ඉක්මන් වන්නට සිදුවූ ශාන්තා පිළිබඳ අද ඉඳුනිල් පි‍්‍රය විප්‍රයෝගයේ සංවේගය දරන්නීය.

විසිවසක් තිස්සේ ළබැඳි මිතුරියක් වූ ශාන්තා මායාදුන්නේ ගැන ඉඳුනිල් දිසානායක සිය මතකය අවදි කරන අයුරුයි මේ.

මට මගේ අම්මාගේ වියෝව ජීවිතයේ දරාගන්න අසීරුම සංවේදී සිදුවීමක් වුණා. ඉන්පසු මට දරාගන්න සිදුවූ අසීරුතම අහිමිවීම ශාන්තාගේ සමුගැනීමයි. ඒ අවාසනාවන්ත සිදුවීම සිදුවන මොහොතේ මා සිටියේ ඔස්ට්‍රේලියාවේ සංචාරයක. ලංකාවේ ත්‍රස්තවාදී බෝම්බ පුපුරා ගිය බව මට දැනගන්න ලැබුණේ දුවට ආ දුරකථන ඇමතුමකිනුයි.

ආයෙත් අපේ රටේ බෝම්බ පුපුරලා. මේ කම්පාවත් එක්ක වැඩිදුර දැනගන්න දුව අන්තර්ජාලයට පිවිසුණා.

“අම්මා, ශාන්තා ඇන්ටිලා විනාඩි පහළොවකට කලින් ෂැංගී‍්‍ර-ලා හෝටලයේ බෙ‍්‍රක්ෆස්ට් එක අරගෙන තියෙන්නේ. නිසංගා නංගි ටිකකට කලින් ෆේස්බුක් එකට ෆොටෝ එකක් දාලා..”

දුව එහෙම කියද්දී ෂැංගී‍්‍ර-ලා හෝටලයේ බෝම්බ පිපිරීමක් වූ බවත් අන්තර්ජාලයෙන්ම අපට දැනගන්න ලැබුණා. මං වික්ෂිප්ත වුණා. ඊළඟ ඇසිල්ලේ මං ශාන්තාට දුරකථන ඇමතුමක් ගත්තා. නිසංගාට දුරකථන ඇමතුමක් ගත්තා. ශාන්තාගේ මහත්තයා කුමාර්ට ඇමතුමක් ගත්තා. මේ කාගෙන්වත් පිළිතුරක් නෑ. ඒත් මං තවත් විනාඩි කීපයකින් ආයෙමත් කුමාර්ට දුරකථන ඇමතුමක් ගත්තා. එවර දුරකථන ඇමතුමට පිළිතුරු දුන්නා.

“ඔයාලාට කරදරයක් නෑ නේද?”

“අනේ ඉඳුනිල් ශාන්තයි, නිසංගයි ගියා. මට කතාකරන්න බෑ..”

කුමාර් දුරකථනය දෙවැනි දුවගේ නැන්දම්මාට දුන්නා.

“පිපුරුම් ශබ්දයක් ආවා.

දුමාරයකින් වැහුණා.

කළුවර වුණා. මොනවා වුණා ද හිතාගන්න බෑ”

ඊට වඩා යමක් කියන්න ඒ මොහොතේ කිසිවකුටත් යහපත් මානසික පසුබිමක් තිබුණේ නැහැ.

ඒත් ශාන්තාත් ඇගේ දියණියත් මුහුණ දුන් ඒ අවාසනාවන්ත සිදුවීම ගැන සවිස්තරව පසුව දැනගන්න ලැබුණා.

 

2019/05/01 තරුණි බලන්න.

ඡායාරූප - දයාන් විතාරණ