බුර්කාව අපේ රටට අවශ්‍ය ම නෑ...

ජුනි 26, 2019

සිංහලෙන් ප්‍රවෘත්ති කියන පළමු මුස්ලිම් නිවේදිකාව ෆාතිමා නස්රින්

“ආයුබෝවන් ලයිව් ඇට් 7.00 ප්‍රවෘත්ති විකාශය සමඟින් මම ෆාතිමා නස්රින්”

ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නරඹන ඔබට මෙය හුරුපුරුදු වදන් පෙළක්.

ඇය උපතින් මුස්ලිම් ජාතික යුවතියක්. එහෙත් ඇය සිංහල භාෂාව හැසිරවීමේදී අති දක්ෂයෙක්. චතුර කථිකත්වයකින් හා මනා වාග් වින්‍යාසයකින් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන නිසාම ඇගේ පුවත්වලට සවන් දෙන්නට බොහෝ දෙනෙක් ප්‍රිය කරන බවත් නොරහසක්.

අද වනවිට ඇය ටෙලිවිෂන් ක්ෂේත්‍රයේ සිංහල පුවත් ඉදිරිපත් කරන පළමු මුස්ලිම් නිවේදිකාව ලෙසත් වාර්තා පොතට එක්වී හමාරයි. මේ ෆාතිමා ‘තරුණී’ට හෙළිකරන ඇගේ වතගොතයි.

ෆාතිමා මෙතරම් හොඳින් ඔබට සිංහල භාෂාව හසුරවන්න පුළුවන් වුණේ කොහොමද?

පුංචි කාලේ ඉඳලම මට සිංහල හොඳට පුළුවන්. මගෙ අම්මා තාත්තා අයියලා දෙන්නා එයාලා කතාකරන්නෙත් සිංහල. ඉගෙන ගත්තෙ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයෙන්. ඒ වගේම මම පළමුවැනි ශ්‍රේණියේ ඉඳලා පාසල් කාලය අවසන් වනතුරුම ඉගෙන ගත්තෙ සිංහල මාධ්‍යයෙන්.

ඔබ ස්වර්ණවාහිනියට සම්බන්ධ වෙන්නෙ කොහොමද?

නිවේදිකාවක් වෙන්න පුංචි කාලේ ඉඳලම මට හීනයක් තිබුණා. ඒ පිළිබඳ හැකියාවකුත් තියෙන බව දැනගෙන හිටියා. උසස් පෙළ කරලා අවසන් වෙන කාලෙදි ස්වර්ණවාහිනියට නවක නිවේදකයින් බඳවා ගන්න අයදුම්පත් කැඳවලා තිබුණා. පස්සෙ සම්මුඛ පරික්ෂණයකින් මාව තෝරගත්තා. ඒ වෙනකොට මට වයස අවුරුදු 19 යි.

අද ඔබ යොවුන් තරුණියක්. ඔබේ ආගමට අනුව මුස්ලිම් යුවතියන් ඉක්මනින් විවාහ වෙනවා. විවාහ වෙන්න ඔබට තාම අදහසක් නැද්ද?

මම හිතන්නෙ ජීවිතය ගැන තේරුම් ගන්න පුළුවන් වයස එනතුරු අපි ඉන්න ඕනෙ. අඩු වයසෙන් විවාහ වුණොත් විවිධ ප්‍රශ්න එන්න පුළුවන්. ඒක සිංහල, දෙමළ, මුස්ලිම් මේ කුමන ජාතියකටත් පොදුයි. ඒ හින්දා මම හිතනවා විවාහවෙන වයස් සීමාව අවුරුදු 18 ක් කරනවා නම් ගොඩක් හොඳයි කියලා. මම මාධ්‍ය ක්ෂේත්‍රයට ගොඩක් ආදරෙයි. මේ ක්ෂේත්‍රයට ආදරය කරන මාව තේරුම් ගත්ත කෙනෙක් හම්බවුණොත් මගේ විවාහයත් ඉක්මනින් සිදුවෙයි.

මුස්ලිම් ජාතික කාන්තාවන්ට විවිධ වාරණ තියෙනවා. ඒ තත්ත්වය මත ඔබට බාධක ආවෙ නැද්ද?

සාමාන්‍යයෙන් මුස්ලිම් කාන්තාවන් රැකියා කරනවා අඩුයි. ඒ අතරින් මේ වගේ සමාජශීලී රැකියාවන් කරද්දී බොහෝ දෙනා විවිධ දේවල් කියනවා. මගෙ මූණට නොකීවට මාව මෙවැනි දේවලට යවන්න එපා කියලා අපේ අම්මලටත් බලපෑම් ඇවිත් තියෙනවා. නමුත් මගේ මවුපියන් මාව තේරුම් අරන් නිදහසේ මට රැකියාව කරගෙන යන්න ඉඩ ලබාදී තියෙනවා.

පසුගියදා සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ බුර්කාව, නිකාබය පැලඳීම මුස්ලිම් කාන්තාවන්ට තහනම් වුණා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

බුර්කාව කියන්නෙ මුහුණ ආවරණය කරගෙන ඉන්න එක. ඒක ලංකාවට අවශ්‍ය නෑ කියලයි මගේත් අදහස. තමන්ගේ අනන්‍යතාව තහවුරු වෙන විදිහට සංවර ඇඳුමින් හැඩවෙනවා නම් ඒ හොඳටම ඇති.

ඔබ විලාසිතාවලට කැමැති කෙනෙක්ද?

මම සාමාන්‍ය විදිහට සරලව අඳින්න කැමැති කෙනෙක්. ගොඩක් වෙලාවට ඩෙනිම සහ කුර්තාව තමයි මම කැමැතිම විලාසිතාව. රැකියාවට යනවිට සාරියක් අඳිනවා.

නො. 50/3, සෙනරත්ගම, කටුගස්තොට ලිපිනයෙන් ඇයව සම්බන්ධ කරගැනීමට හැකියි.

 

ඡායාරූප ටෙනිසන් එදිරිසිංහ

2019/06/26 තරුණි බලන්න