ක්ෂණිකව තීරණ ගැනීමේ හැකියාව මට තාත්තගෙන් උරුම වුණ ලක්ෂණයක්

උපුලි පණීභාරත
ජූලි 22, 2020

ඇය උපුලි නම් වන්නීය. අපේ රටේ වටිනාම නර්තන පරපුරක පුරුකක් සේම විශිෂ්ටතම නර්තන ශිල්පිනියක්, නර්තන ආචාර්යවරියක් ලෙස ඇය රට බබළවන කාන්තාවකි. ඊටත් එහාට ගමන් කළ විට උපුලී අපේ රටේ නර්තනය සම්ප්‍රදාය නවීනත්වයට පත්කළ දැවැන්තයකු පසුපස රැඳුන යෝධ සෙවණැල්ලයි.

පණීභාරත පවුලට කුළුඳුලේ එක්වන දියණියට නම් තබන්නෙ චිත්‍රත්චාර්ය උපුලි පනීභාරත කියල.

උපුලි උපන් ගම කොහේද?

ඉපදුණේ රාජගිරියේ අපේ ගම කොළඹ ම තමයි.

කුඩා උපුලි අත්වින්දේ නර්තනයට ඇළුණු පරිසරයක්ද?

නර්තනයේ යෙදෙන තාත්තගෙ ගෝල බාලයො, නැටුම් ගැයුම් වැයුම් තමයි නිතරම ඇහුණෙ. පෙනුණෙ. අපි හැදුණ පරිසරය අනුව දඟකාරකම් කරන්න නම් ඒ තරම් ඉඩක් තිබුණෙ නැහැ. අපේ පවුල සාම්ප්‍රදායික පවුලක් නිසා අපිව හරිම සංවරවයි හැදුවෙ.

ඒ කාලෙ ඉඳන්ම උපුලිගේ අනාගත අරමුණ වුණේත් නර්තනයමද?

ඔව්, නැටුමෙන් තොර ජීවිතයක් ගැන හිතුවෙම නැහැ

පණීභාරතයන් කැමැති වුණෙත් දියණියන් දෙදෙනාම නර්තනයට යොමු වෙනවටද?

අපොයි ඔව්. තාත්තත් කැමැති වුණේ අපි නර්තනයට යොමු වෙනවටයි. මම විශ්වවිද්‍යාලට ගියෙත් ඒ නිසායි මගේ සොහායුරිය ජයවණ්නිට වාසනාව ලැබුණා තාත්තා ඉගෙනගත් ඉන්දියාවේ ශාන්ති නිකේතනයට ගිහින් නර්තනය ඉගෙන ගන්න

උපුලිටයි ජයවණ්නිටයි තාත්තව දැනුණෙ කොහොමද?

තාත්තා සැරයි. ඒත් හරිම මානුෂික තීරණ තමයි තාත්ත ළග තිබුණෙ. මගේ ලෝකයේ වීරයා තාත්තා. තාත්තට තිබුණෙ පුදුමාකාර පෞරුෂයක්. තාත්තා ඇවිදින විට කතාකරන විට නර්තනයේදි වගේම ඒ පෞරුෂය කැපි පෙනුණා. මම ඒකට හරියට ප්‍රිය කළා. මට හොඳ පෞරුෂයක් ලැබුණෙ ඒ ආභාෂයෙන්. තැනට ගැළපෙන විදිහට ක්ෂණිකව තීරණ ගැනීමේ හැකියාව මට තාත්තගෙන් උරැම වුණ ලක්ෂණයක්

ඔබේ මව මොනවගේ චරිතයක්ද

ඇය ප්‍රේමාවතී පනීභාරත. අපේ අම්මා ළඟ තිබුණ ඉවසිලිවන්තකම මම මගේ ජිවිතේට වෙන කෙනකුගෙන් දැකල නැහැ. අම්මා අනුන්ගෙ වැරැදි කතාකරන්නෙ නැති තමන්ගේ වගකීම නිහඬව ඉටුකළ කාන්තාවක්. තාත්තා එක්ක අම්ම කවදාවත් රණ්ඩුවත් ඇතිකරගෙන නැහැ.

ඇය යශෝදරාව වගේ චරිතයක්. දැන් අම්මට අවුරුදු 91ක් වෙනව. තාත්තාට ඔය තැනට එන්න අම්මාගෙ ඒ ඉවසීම සෑහෙන්න බලපෑව කියල මම හිතනවා.

 

 

 

2020/07/22 තරුණි පුවත්පත බලන්න.