ලේ දහදිය කඳුළු මතින් ජීවිතය ඇමිණූ මාන්යා සිංහ්

මාර්තු 24, 2021

 

පසුගිය සතියේ පළවූ 'ෆෙමිනා මිස් ඉන්දියා 2020' රනර් අප් කිරුළ දිනූ දිරිය ඉන්දීය යුවතිය මාන්යා ඕම්ප්‍රකාශ් සිංහ් ගේ දිරිය ජීවිත කතාවේ ඉතිරි කොටස.....

ගෙදරින් පැන ආ දවසේ සිට....

 

තමන්ට හිටිය එකම දුව ගෙදරින් පැනලා ගියාම මාපියන් ට තවත් ජීවිතයක් තිබෙනවා ද? ඒ හින්දා ඇගේ මාපියන් ද මුම්බායි වෙත එන්න තීරණය කළා.

"මම දැනගෙන හිටියා ඊටත් පස්සෙ මගෙ ජීවිතේ තවත් දුෂ්කර වෙනවා කියලා. මට නවතින්න තැනක්, කන්න, අඳීන්න මටම හොයාගන්න වෙනවා. ඒ අතරෙ ඉගෙන ගන්නත් ඕනෙ කියලා මම දැනගෙන හිටියා." ගෙදරින් පැනලා ආවට පස්සේ පීසා අලෙවි සලක රැකියාවක් සොයාගත්තා. එහි රාත්‍රීය ගත කරන්නත් මට අවසර ලැබුණා. එහි බිම පිරිසුදු කළා. පිඟන් කෝප්ප සේදුවා. නිදාගත්තෙ ගබඩාවේ බිම."

මොනවා කරන්නත් නිසි අධ්‍යාපනයක් තිබිය යුතුයි. මුදල් නොතිබි නිසා තුන්වැනි ශ්‍රේණයේ සිට 8 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය මඟහැරුණු මාන්යා නැවතත් අධ්‍යාපනය වෙත යොමු වෙන්න තීරණය කළා. නැවතත් පාසලකට ඇතුළත් වුණා. ඇය මොනතරම් මහන්සි වී ඉගෙනීම කළේ ද යත් පාසලේ දක්ෂතම ශිෂ්‍යාවට හිමි සම්මානය ද වරෙක දිනා ගත්තා. පාසල් ගාස්තු ගෙවා ගන්න පාසල් වෙලාවෙන් පස්සෙ පීසා අලෙවි සලේත් වෙනත් තැන්වලත් විවිධ රැකියාවන් කළා.

"මගේ අධ්‍යාපන වියදම් දරන්න මාසෙකට රුපියල් 15000 ක් හම්බ කළා. මේ පුංචි රැකියාවේ දී වුණත් මිනිසුන් ජීවිතේ ගෙවන ආකාරය, ඔවුන් අඳින පලඳින ආකාරය, එකිනෙකා සමඟ කතා කරන ආකාරය නිරීක්ෂණය කළා. එහි සේවය කළ මුළු වසරම මට විශාල ඉගෙනීමක් වුණා."

ඇය පළමුවරට මිස් ඉන්දියා තරගයක් නරඹා ඇත්තේ අවුරුදු 15 දී ය. එනම් ඇය මුම්බායි වෙත පැමිණ වසරකට පසුවයි. චමත්කාරයෛන් පිරි මේ තරගාවලිය නරඹන අතරතුර 'මිස් ඉන්දියා' සිහිනය ඇගේ සිතට පිවිසීය. "ඒත් මගේ මේ සිහිනය මගේ මාපියන්ට පළමුව විකාරයක් වුණා. ඔවුන්ට එය තේරුම් ගන්න බැරිවුණා. මගේ මවුපියන් පැවසුවේ, 'අප වැනි අය සිහිනෙන්වත් නොසිතන දෙයක් මේ. ඔබ සිතන්නේ මිස් ඉන්දියා කිරුළ ගැන ද?’

"ඇත්තටම මගේ සිහිනය ඔවුන්ගේ ජීවිතවලට බර වැඩි වුණා. මට නියත සැලැස්මක්වත් නොතිබූ නිසා ඔවුන් බිය වුණා. ඒත් මම මගේ හදවත කියන දේට අැහුම්කන් දුන්නා. මගේ සිතුවිලි අනුගමනය කළා. මගේ අරමුණු පිළිබඳ ඔවුන්ව දැනුවත් කර මගේ මේ විශාල තීරණයේ කොටසක් බවට ඔවුන් පත් කරගත්තා."

"මා වෙහෙස මහන්සි වී වැඩ කරන ආකාරය දුටු විට ඔවුන් මට සහයෝගය දැක්වූවා. ඒක මගේ ශක්තිය බවට පත් වුණා.”

අවසානයේ මගේ තාත්තා මෙහෙම කිව්වා. "ඔබ වෙහෙස වී වැඩ කළොත් ඔබට ඒ කිරුළ දිනාගන්න පුළුවන්."

පසුව ඇය රාත්‍රී නිදිවරා වැඩකළ යුතු ඇමතුම් මධ්‍යස්ථානවල රැකියාවන්ට සම්බන්ධ වූ අතර උපාධිය හදාරන කාලය පුරාමත් විවිධ රැකියා කළා. “එහිදී මම මගේ ඉංග්‍රීසි භාෂාව ඔප දමාගත්තා. මගේ අධ්‍යාපනය අතරතුරම මම මගේ පෞරුෂය වර්ධනය කරගැනීම ආරම්භ කළා. ඒ හැමදේම මිස් ඉන්දියා සඳහා මාව සූදානම් කළා.”

"මම නිරුපණ ශිල්පිනියක් ලෙස වැඩ කරන්න අවස්ථා හොයාගෙන ගියා. නිරූපණ ශිල්පය ඉගෙන ගත්තා. ඉන්දියා ටයිම්ස්, ලක්මි වැනි නිරූපණ තරග පවත්වන ස්ථාන වෙත ගොස් ඒවාට සම්බන්ධ වුණා.

"මිස් ඉන්දියා වෙත ගමන් කිරීමෙන් විවිධ මාර්ග විවෘත කරගත හැකිබව මම දැනගත්තා. කාන්තාවන්ට කොපමණ මාර්ගයන් සොයා ගත හැකිද? මට අවශ්‍ය වූයේ කතා කිරීමට අයිතියක් නැති, ඉගෙන ගන්න පහසුකම් නැති විශේෂයෙන් ගම්වල කොටු වී සිටින ළමයින්ට, තරුණියන්ට, කාන්තාවන්ට ඔවුන්ගේ කටහඬ වීමටයි."

“මගේ ජීවිතය වෙනස් කරගන්න නම් මමත් වෙනස් වෙන්න ඕනෙ. මම එය ආරම්භ කළේ ගෘහණියක් වූ මගේ මව සමඟයි. මම ඇයට රැකියාවක් සොයා ගන්නා ලෙස බල කළා. රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙස පුහුණු වන්නැයි ඇයගෙන් ඉල්ලා සිටියා. ඇය ඇහි බැම සකසන්න ඉගෙන ගත්තා. නොමිලේ රූපලාවණ්‍යාගාරවල වැඩ කර ඒ කලාව ඉගෙන ගත්තා. පසුව ඇය රූපලාවණ්‍ය ශිල්පිනියක් බවට පත් වුණා.”

ඒ රැකියාවෙන් ඇගේ මව තමන්ට අලුතෙන් ලැබුණු ස්වාධීනත්වය ගැන සතුටට පත්වුණා. ඇය තම දියණියට ධෛර්යයක් වෙන්න පටන්ගත්තා.

"වැඩිමහල් පුතකු සිටියේ නම් ඔවුන්ට පහසු ජීවිතයක් ගත කළ හැකි බව මගේ මාපියන් පැවසූ විට, තම දියණිය අන් සියල්ලන්ට වඩා දක්ෂ බව මගේ මාපියන්ට පෙන්වීමට මම තීරණය කළා."

"මඟ හැරුණු ඉගෙනීම යථාර්ථයක් කරගන්න වෙහෙසුණු මම අවසානයේ නැවතුනණ් බැංකුකරණය හා රක්ෂණ කළමනාකරණය පිළිබඳ උපාධියක් ලබාගැනීමෙන්. දැන් මම කළමනාකරණ උපාධියක් වෙනුවෙන් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නා අතරතුර මිස් ඉන්දියා සිහිනය වෙනුවෙන් වෙහෙස වුණා. ඒක ලෙහෙසියෙන් ඉටුකරගත හැකි දෙයක් නොවන බව මම වටහා ගත්තා. ඒත් මම මගේ සිහිනය අත්හැරියේ නැහැ."

තම සිහිනය ඉටුකරගන්න වෙහෙස වූ ආකාරය අද ඇය අභිමානයෙන් සිහිකරයි. "කන්න දෙයක් නැතිව, නින්දක් නැතිව මම බොහෝ රාත්‍රීන් ගතකර තියෙනවා. බස් ගාස්තු ගෙවාගන්න සල්ලි නැතුව, ඒ වගේමි කීයක්හරි තියෙන දවසට ඒ සල්ලි ටික ඉතුරු කරගන්න සැතපුම් ගණන් පයින් ඇවිද ගියා."

"මගේ ලේ, දහදිය, කඳුළු මගේ සිහිනය ලුහුබැඳ යාමට මට ධෛර්යයක් ගෙන දුන්නා. අද මේ මට ලැබී ඇත්තේ එලෙස මා වෙහෙස වී මගේ ලේ, දහදිය හා කඳුළු මතින් ඇමිණූූ ජීවිත සිහිනයයි."

අවසන් වශයෙන් ඔබට ද යමක් කිව යුතුය. ජීවිතය ලුහුබඳින්න. සාර්ථකත්වය සොයා යන්න. ඒ වෙනුවෙන් වෙහෙස වී ජීවිතය දිනන්න ඔබට තවමත් කාලය ඉතිරිව ඇත.

 

 

අන්තර්ජාලයෙනි