ලෝකයේ හොඳම ළමා නළුවා නාඩගම්කාරයෝ හි මන මාලන් වූ හැටි...

අප්‍රේල් 7, 2021

 

මේ දිනවල නාඩගම්කාරයන්ගේ නාඩගමේ සුපිරිම හිට් එක මන මාලන්. මාලන්ගේ චරිතයට රංගනයෙන් දායක වන කෝකිල පවන් කලාවට පිවිසෙන්නේ ළමා නළුවෙක් ලෙසයි. ඔහු ප්‍රේක්ෂකයන්ගේ ආදයට, ජනප්‍රියත්වයට සහ සම්මානයට පාත්‍ර වන්නේ සිරි රජ සිරි සිනමාපටයේ සිරිමල්ගේ චරිතය හරහා.

සිරි රජසිරි සිනමාපටයේ පුංචි සිරිමල් මාලන් වුණේ කොහොමද? ඒ තොරතුරු දැනගන්න රසිකයින් කැමැති ඇති. අද කතා බහ කෝකිල පවන් නොහොත් මන මාලන් සමඟයි.

 

නාඩගම්කාරයන්ගේ නාඩගමේ තොරතුරු කොහොමද?

අපි ජීවිතේ එක එක නාඩගම් නටනවා. මේකත් එහෙම නාඩගමක්. මේ නාඩගම ගැන දැන් හැම තැනකම කතා බහට ලක්වෙනවා. ඒ තරමට මේ නාඩගම ගැන නොදන්න කෙනෙක් නැහැ.

නාඩගම්කාරයන්ගේ නාඩගම හිට් එකක් වුණේ කණ්ඩායමේම සහයෝගය නිසා. කොවිඩ් නිසා අපිට අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවුණා. මුලින්ම සජිත අයියව පොසිටිව් වුණා. ඊට පස්සේ සංගීත් අයියා. ඊට පස්සේ මම. ඉතිං කාලයකට නාට්‍ය විකාශය කරන්න බැරි වෙයි කියලා හිතුවේ. නමුත් නිරෝධායන කාලය අවසන් වූ ගමන් රූගත කිරීම් කරපු නිසා නවත්වන්නේ නැතුව දිගටම විකාශය කරන්න හැකි වුණා.

කෝකිල නාඩගම්කාරයෝ ටෙලියේ මාලන් වුණේ කොහොමද?

එය සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයක්. පටපත සද්ධාමංගල සූරියබණ්ඩාරගේ. මාව මේ චරිතයට හොඳින් ගැලපෙනවා කියලා ඔවුන් හිතන්න ඇති. මාලන් කියන්නේ ගමට අලුතින් ආපු ඩෙනිම් අඳින, කොණ්ඩෙ වවලා ටින්ට් කරලා විලාසිතා කරන, ආටෝපයකින් ජීවත්වෙන්න උත්සහ කරන චරිතයක්. ඒ දේවල් කොළඹට අතිශය සාමාන්‍ය වුණාට ගමට අලුත්. තමන්ට තිබෙන දේට වඩා උලුප්පා පෙන්නන්න හදන සෝබන චරියක්. එක්තරා විදිහක කොමඩි චරිතයක් කියලත් කියන්න පුළුවන්.

නාඩගම්කාරයෝ වගේම මාලනුත් දැන් හිට් එකක් වෙලා.

ඕනෑම චරිතයක් හරියට කළොත් හිට් වෙනවා. ඉතිං කරන දේ හරියට කරන්න ඕනේ.

චිත්‍ර අඳින්න තරම්, කවි ලියන්න තරම්, ටී ෂර්ට් ප්‍රින්ට් කරන්න තරම් චරිතයක් හිතට වදිනවා කියන්නේ ඊට වඩා දෙයක් තියෙනවද. ඒ තරමට මට, සජිතට, සංගීත්ට, සොනාලිට වගේම නාඩගමේ සෙට් එකටම ප්‍රේක්ෂකයින් එක සමාන ජනප්‍රියත්වයක් ආදරයක් ලබා දී තිබෙනවා.

සමහරු හිතනවා සිරි රජ සිරි චිත්‍රපටයේ සිටි පුංචි කොල්ලද මේ ඉන්නේ කියලත්.

සෝමරත්න දිසානායක මහතා අධ්‍යක්ෂණ කරපු රේණුකා බාලසූරිය මහත්මිය නිෂ්පාදනය කළ සිරි රජ සිරි චිත්‍රපටය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයි. සිරිමල්ගේ චරිතය ගැන අදටත් ප්‍රේක්ෂකයින් කතාබහ කරන තරමට ඒ චරිතයට බොහෝ දෙනෙක් ආදරය කරනවා. මට ඒ රඟපෑම වෙනුවෙන් 2009 වසරේ චීනයේ පැවැති 10 වැනි අන්තර්ජාතික ළමා චිත්‍රපට උළෙලේ ලෝකයේ හොඳම ළමා නළුවාට හිමි සම්මානය පවා ලබාගන්නට හැකි වුණා.

කෝකිල ක්ෂේත්‍රයට පා තබන්නේ ළමා නළුවෙක් විදිහට.

මීට අවුරුදු 17 කට පමණ පෙර ළමා නළුවෙක් විදිහට තමයි මම ක්ෂේත්‍රයට එන්නේ. සංගීතයට තමයි මට වැඩි ලැදියාවක් තිබුණේ. මම භාත්ඛණ්ඩ විශාරද උපාධිය හදාරමින් ඉද්දී ඒ කාලේ් ස්වර්ණවාහිණියේ විකාශය වුණු ළමා සංගීත වැඩසටහනක් වූ හපන් පැදුරට මටත් සම්බන්ධ වෙන්න හැකිවුණා. මගේ නාට්‍ය ගුරුතුමී කෝකිලා ප්‍රසංගිකා ගුරුතුමියගේ මඟපෙන්වීම යටතේ ඊට සම්බන්ධ වුණේ. ඒ අතරතුර මම සමස්ථ ලංකා ගායන තරග, දහම් පාසලේ සහ මගේ පාසල වන පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ කථික තරග ඒ හැම දේටම සම්බන්ධ වෙලා ජයග්‍රහණ පවා ලැබුවා.

ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ වුණේ...

මුල්ම රංගනය නම් පාසල් වේදිකාවේ. ඉන්පසුව බන්දුල කුරුවිට ආරච්චි මහත්මයා මාව තෝරාගන්නවා වේදිකා නාට්‍යයකට. ඉන්පසුව ප්‍රසිද්ධ වේදිකාවට පාතබන්නේ ප්‍රවීණ රංගන ශිල්පි ජයලත් මනෝරත්නයන්ගේ තලමල පිපිලා වේදිකා නාට්‍යයේ හේතුගේ චරිතයට. අවුරුදු තුනහමාරක් පමණ ඒ චරිතය මම වේදිකාවේ රඟදැක්වූවා. එතුමාගේ ම ‘මකරා’ වේදිකා නාට්‍යයටත් මම සම්බන්ධ වෙලා හිටියා.

රංගනයට අමතරව කෝකිල හොඳ හඬ කැවීම් ශිල්පියෙක්...

මම හඬ කැවීම් කරගෙන යන්නෙත්. පුංචි කාලේ ඉඳන්මයි. මුලින්ම මාව ඒ වෙනුවෙන් සම්බන්ධ කරගත්තේ සිරස ආයතනයේ තුසිත කරවිට මහත්තයා. ඒ ඕතචජඬ ඉබචතඪද ඉංග්‍රීසි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට හඬ කවන්න. ඒ හරහා අද වෙද්දී නිර්මාණ බොහොමයකට හඬ කවලා තියෙනවා. මේ ආදරයයි, හිමන්තරා, රාවණා, කෙම්මුර අඩවිය ඒ අතරින් කිහිපයක්. මේ වෙද්දී මගේ රූපයටත් වඩා කටහඬින් ප්‍රේක්ෂකයෝ මාව හඳුනනවා.

කෝකිල ළඟදී විවාහ වුණා නේද?

පසුගිය ජනවාරි මාසයේදී විවාහ වුණා. ඇය හිමාලි ප්‍රනාන්දු. හිමාලි නීතිඥවරියක් වීමට ඉගෙන ගන්නවා. ඒ වගේම මගේ ආච්චිවයි, සීයවයි මල්ලිවයි මතක් කරන්න ඕනේ. ආච්චි, සීයයි නිසයි අද මම මේ තැන ඉන්නේ. සීයා අවුරුදු ගණනකට පෙර මිය ගියා. ඒ දෙන්නා තමයි මගේ හැම දේටම හිටියේ.

ඉදිරි සැලසුම් ගැන කතා කළොත්...

නාඩගම්කාරයෝ ටෙලියට අමතරව මේ දිනවල දනුෂ්ක රත්නායකගේ දාම් ටෙලියේ භක්ති කියන චරිතයට දායක වෙනවා. ඒ වගේම සිඳූ ටෙලියේ රූකඩ නටවන්නකුගේ චරිතයකටත් ආරාධනා ලැබිලා තියෙනවා.

මම මෙතෙක් කරපු හැම චරිතයක්ම එකිනෙකට වෙනස්. ඉතිං මං හරි ආසයි ඒ වගේ චරිතාංග නළුවෙක් වෙන්න. එතකොට ඉගෙන ගන්න තියෙන දේ බොහොමයි.