වෙනදාටත් වඩා මෙවර වෙසක් ලස්සන ‍ෙව්වි

ප්‍රවීණ ගායන ශිල්පී ශශිකා නිසංසලා
මැයි 31, 2021

 

නිදහස සීමා වී මනු සතා සිය නිවෙස් තුළ ට ගුලි වෙමින් සිටන මොහොතක පරිසරය මේ කිසිවක් පිළිබඳව වගේ වගක් නැතිව වෙසක් මල් පූදමින් බුදු පුදට සැරසෙමින් සිටී. එහෙත් පූදින මේ කැකුළු මල් දෝතට ගෙන බුදු පා සිඹින්නට මෙවර ද අපට අවසර නැත්තේ ය. ඒ නිසා අප සියල්ලන්ටම වෙසක් සැමරුම නිවෙසට සීමා කරන්නට සිදු ව ඇත. තැන තැන ඉදිවුණු තොරණ, වෙසක් දන්සල්, අලංකාරවත් පහන් කූඩු සංදර්ශන දකින්නට අවසර නැතත් පුංචි දරු පැටවු තුරුලු කොට ගෙන නිවෙසේ සිට වෙසක් සමරන්නට අපේ හද බැඳි තරු සූදානම් වන අයුරුයි මේ.

 

 

වෙනදා වගේ ම මේ සැරෙත් අපි වෙසක් කූඩු හදනවා. පහන් පත්තු කරනවා. වෙසක් කියන්නෙ බෞද්ධ අපේ උතුම් ම ආගමික උත්සවය. ඉතිං අපේ බොදු පිළිවෙත් සහ ඒ හා බැඳුණු සංස්කෘතිය පිළිබඳව දරුවන්ට අවබෝධයක් ලබා දිය යුතුයි.

ඒ නිසා වෙනදා වගේ තොරණ බලන්න කූඩු බලන්න යන්න බැරි වුණත් ගෙදර දී වෙසක් සමරන්න අපි සූදානම් වෙනවා. දරුවන්ට වෙසක් කූඩු හදන්න වෙසක් සැරසිලි කරන්න අපි කියල දෙනවා. දැන් පුතාල දෙන්න ටිකක් ලොකු නිසාත් වෙසක් උත්සව කිහිපයක ම අද්දැකීම් එයාලට තිබෙන නිසාත් තනියම වෙසක් කූඩු හදන්න ඒවා සරසන්න එයාලට පුළුවන්. ඒ වුණාට අපි කට්ටියම එකතුවෙලා තමයි වෙසක් කූඩු හදන්නෙ.

*තනි අතකට වඩා අත් කිහිපයක එකතු ව සවිමත් වගේ ම අත් කිහිපයක එකතුවකින් කෙරෙන නිර්මාණයත් මනරම් නේද ශශිකා?

අනිවාර්යෙන්ම. පුතාල දෙන්නයි, අපි දෙන්නයි, අපේ අම්මයි තාත්තායි, මගේ සහෝදරයා යි සේරම එකට එකතුවෙලා ඉන්නවා වෙසක් සමරන්න. ඉතිං වෙනදාටත් වඩා මෙවර වෙසක් ලස්සන වෙයි. අලංකාරවත් වෙයි. මේ සැරේ හැම ගෙදරක ම වගේ සියලු ම සාමාජිකයින් එකට එකතුවෙලා ඉන්නවනෙ, ඉතිං ඒ හැමෝටමත් ලස්සනට වෙසක් සමරන්න පුළුවන්.

 

මේ සැරේ වෙසක් සැමරුම වගේ ම සෞඛ්‍ය නීති රීති මාලාවකුත් අනුගමනය කරන්න වෙලා තියෙනවා නේද?

ඔව්. ඒකනම් 100%ක් ම අනුගමනය කළ යුතු නීති මාලාවක්, සතුටත් විනෝදයත් පසුපස ගිහින් ජීවිත අවදානමක් ගන්න ඕන නැහැනෙ. ඒ නිසා අපි හැමෝම ආරක්ෂිත ව සිටීම වඩා වැදගත් නේද? විශේෂයෙන් ම දරුවන් සහ මව්පියන් අපි රැකගන්න ඕනා.

*ශශිකාගෙ නිවෙසෙත් ඉන්නවානෙ පුංචි දගකාරයො දෙන්නෙක්. ඒ අය මේ අලුත් සෞඛ්‍ය නීති රීති අනුගමනය කරනවාද?

ලොකු පුතා මිහින් හෙලංක ට දැන් වයස අවුරුදු 11 යි. පොඩ්ඩ හිරුන් දෙවංගත, එයාට දැන් අවුරුදු 7යි. ටිකක් තේරෙන වයස නිසා අපි දෙන්නට ම කියල දීල තියෙනවා මේ රෝගයේ තියෙන බරපතල කමත් රෝගයෙන් ආරක්ෂා වෙන්න නම් කරන් ඕන දේවලුත් මේවා ය කියලා. ඒ නිසා දෙන්න ම උණු වතුර බොනවා. කොහේවත් ම යන්නෙ නෑ. ගෙදරම උන්නත් නිතර අත පය සබන් දාල හොඳින් හෝදගෙන පිරිසුදු ව ඉන්නවා. වාෂ්ප අල්ලනවා. අපි ගෙදර හැම කෙනෙක් ම සෞඛ්‍ය උපදෙස් ඒ විදිහට ම අනුගමනය කරනවා.

*වෙසක් කැකුළු මල් අතු අග පිපුණාට මේ අපට වෙසක් සැමරුමට කාලය නොවෙයි. ශශිකා, අපේ රටේ ජනතාවට මොනවද කියන්න තියෙන්නෙ.

වෙසක් කියන්නෙ ඇත්තට ම සතුට සොයා යන උත්සව අවස්ථාවක් නෙමෙයි. උතුම් බුද්ධ වචනයට අනුකූල ව හැසිරිය යුතු ආගමික උත්සවයක්. ඉතිං ඒ බවත් මෙනෙහි කරමින් සිය නිවැසියන් සමඟ පමණක් වෙසක් සැමරීමට වගබලා ගන්න. මිනිස් ජීවිතයක වටිනාකම අමිල යි. අපි හැමෝ ම අපේ ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන ඉන්නවා නම් අපිට පුළුවන් අනෙක් ජීවිතවලටත් වටිනාකමක් දෙන්න. තවත් ජීවිතයක් ආරක්ෂා කරන්න. එහෙම වුණොත් ඔබට මට විතරක් නෙමෙයි මේ මුළු රටට ම උතුම් බුදු වදනට අනුව නිරෝගී සුවය ඉක්මනින් ම උදාකර ගත හැකියි.

 

අපි හැමෝ ම අපේ ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන ඉන්නවා නම් අපිට පුළුවන් අනෙක් ජීවිතවලටත් වටිනාකමක් දෙන්න. තවත් ජීවිතයක් ආරක්ෂා කරන්න.