උතුම් වෙසක් සමයේ මේ රුදුරු උවදුරෙන් අපේ රට ආරක්ෂා වේවා !

මැයි 31, 2021

 

ප්‍රවීණ රංගන ශිල්පී විශ්ව කොඩිකාර

 

යුග යුග සිත් සතන් රංගනයෙන් මුසපත් කරවන තිරයේ ආදරණීයයා විශ්ව කොඩිකාර පුංචි පැටවු තුරුලු කර ගෙන වෙසක් සමරන්න සූදානම් වෙනවා කියලා ආරංචි යි.

ආ.... ඔව්... ඔව්...මේ සැරේ ගෙදර වෙසක් නෙ.

ඒ කියන්නෙ,

කොරෝනා නිසා වෙසක් සැමරුම නි‍ෙවසට සීමා කළා. ගිය අවුරුදුවල නම් අපි නොවරදවාම දළදා හාමුදුරුවන් වැඳ පුදා ගත්තා. ඕනෑම කටයුත්තක් ආරම්භයට පෙර දළදා වහන්සේ වැඳපුදා ආශිර්වාද ලබා ගැනීම අපේ පවුලේ සිරිතක්. ඊට අමතර ව අපි අලුත් අවුරුද්දටත් වෙසක් පොහොයටත් දළදා වහන්සේ වැඳීම අනිවාර්යයෙන් ම සිදු කරනවා. මේ අවුරුද්දෙ අපට ඒ අවස්ථාව අහිමි වුණා. නුවර යන්න තබා පාරටවත් යන්න බැරි තරම් තත්ත්වයක්නෙ උදාවෙලා තියෙන්නෙ.

එතකොට වෙසක් සමරන්නෙ කොහොම ද?

කූඩු ගෙනැල්ලා තියෙන්නෙ. දැන් කොළ අලවනවා. සරසලා ලස්සන කරන්නත් ඕනා. වෙන අවුරුදුවල නම් වෙසක්වලට බබාල ව ගමට අරන් ගියා. දළදා වැන්දෙව්වා. තොරණ් බලන්න, කූඩු බලන්න එක්ක ගියා. මේ සැරේ ඒ මොකක්වත් කර ගන්න බෑනෙ. ඒ නිසා මමයි එරන්දියි එකතුවෙලා වෙනදාට වඩා ටිකක් වැඩිපුර වෙසක් සැරසිලි කරනවා. දරුවො කාලයක් ම ගෙදරට ම ඉන්න නිසා එයාලටත් පුංචි වෙනසක් ඕන නෙ.

අර පුංචි දගකාරයො දෙන්නගෙනුත් උදව් ලැබෙනවා ඇති නේද?

ඔව්. ඔව්. දෙන්න ම හරි චණ්ඩියි. ලබන ජුනි 30වැනි දා ට කාවින්ද්‍යා ගංගාධරී මගේ දඟකාරිට අවුරුදු 6ක් වෙනවා. අගෝස්තු 13වැනි දා ට පුතා ඔනෙත් දනාල් ට අවුරුදු 5 ලබනවා. ඉතිං මේ දවස්වල දවස ගෙවන්නෙ මේ චණ්ඩි දෙන්නත් එක්ක තමයි.

ළඟ ළඟම තවත් උපන්දිනයක් එනවා නේද?

ම්....

ඇයි සැප්තැම්බර් 14

ආ මගේ උපන්දිනය.

විශ්වගේ උපන්දිනය අපට අමතක කරන්න බැහැ. ඒ විශ්ව සාදයක් වෙනුවට දානයක් දීම සෑම උපන්දිනයක ම තේමාව කර ගැනීම නිසයි. ඒ දානය සිය ඉඩම් කඩම් දන් දීම තරම් අති උතුම් වූ අවස්ථාවද උතුම් සංඝ රත්නය උදෙසා අක්කර ගණනින් දන් දුන් අවස්ථාවල ද මතක සටහන් අප සතු ය.

හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්

දනට පිනට දුන්නෙ මං හිතේ මනාපෙන්....

විශාරද එඩ්වඩ් ජයකොඩි ගායනා කරන්නා සේම විශ්ව දනට පිනට ඉතා ම ලැදිය. චිත්‍රපට නිෂ්පාදක පද්මසිරි කොඩිකාර සහ ජානකී කොඩිකාර යුවළගේ ආදරණීය පුතු වන විශ්ව කොඩිකාර ජීවිත යථාර්ථය වටහා ගත් අරුත් සුන් දෑ ජීවිතයෙන් බොහෝ සේ දුරස් කරන තරුණයෙකි.

විශ්ව මේ දවස්වල සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම එහෙම කොහොමද?

සෞඛ්‍ය පුරුදු නම් 100%ක් ම අනුගමනය කරනවා. ඇහැට නොපෙනෙන වෛරසයක් ලෝකයක් සිය අණසකට ගත්ත අපූරුව පේනවනෙ. ඒ නිසා හැමදේට ම වඩා අපි අපේ ආරක්ෂාව සලසා ගැනීම වැදගත්. පුංචි පැටවුනුත් ඉන්න නිසා අපි ගොඩාක් පරිස්සම්. අවශ්‍යම අවස්ථාවක් නොවෙන්න අපි කවුරුවත් ගෙදරින් එළියට යන්නෙ නෑ. අපි දෙන්නගෙම ජීවිතය දැන් අපේ පැටවු ඒ නිසා අපි නිතරම එයාලගෙ සෞඛ්‍ය ගැන හිතනවා. ගෙදර හිටියත් වාෂ්ප අල්ලලා. ප්‍රතිශක්තිය වර්ධනය කරන ඖෂධ පානය කරල බොහොම පරිස්සමින් තමයි ඉන්නෙ. අපේ පුංචි ම පුංචි නොසැලකිල්ලකින් මහා විනාශයක් වෙන්න පුළුවන්. ඒ නිසා උතුම් බුද්ධ වචනයට අනුව සෑම මොහොතක ම සිහිය පිහිටුවගෙන සිටීම වැදගත් වෙනවා.

ඒ වගේ ම මේ උතුම් වෙසක් සමයේ මේ රුදුරු උවදුරෙන් අපේ රට ලෝකය ආරක්ෂා වේවා. සෑම රෝගී ජීවිතයක් ම නිදුක් නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරමු කියලා මම යෝජනා කරන්නත් කැමැති යි. මේ වගේ වෙලාවක අපි හැමෝට ම එවන් ආශිර්වාදයක් කළ හැකි නම් ඒක හුගාක් වටිනවා.