අකැමැත්තෙන් වුණත් ආරක්ෂාව වෙනුවෙන් අපිට ගෙදරට ම වෙලා ඉන්න වෙලා

අමිලා නදීශානී
ජුනි 23, 2021

කවරයේ කතාව

ඇයගේ රුව නොදැක හඬ ඇසූ පමණින් හඬට ආදරය කරන පිරිස බොහෝය. රියැලිටි වේදිකාවෙන් ප්‍රේක්ෂකයාගේ හදට නොමැකෙන හඬක් එක් කරමින් ගී ලොවට පා තැබූ ඇය ගායිකාවක් සේම රංගන ශිල්පිනියක් ලෙසද ප්‍රේක්ෂකාගාරයේ ආදරය දිනා ගත් කලාකාරිණියකි.

එපමණක් නොව දක්ෂ, ව්‍යාපාරික කාන්තාවක්ද වන ඇය ලේඛන කලාවට ද පිවිසියා ය. සිරස සුපර් ස්ටාර් සීසන් 2 තම හැරවුම් ලක්ෂ්‍ය කරගත් ඇය පසුගියදා කෝරෝනා වසංගත තත්ත්වය ගැන කියැවෙන ගීතයකට ද දායක වී තිබුණා. මේ ඔබ ආදරය කරන ගායන ශිල්පිනී අමිලා නදීශානී.

*පසුගියදා ඔබ දායක වූ ගීතයක් එළිදක්වා තිබුණා...

ඔව් එය මුදිත ජයකොඩිගේ ගීතයක්.. මාත් එයට ගායනයෙන් සම්බන්ධ වුණා. මේ කාලයේ හැමෝම වගේ කෝවිඩ් වසංගතයට මුහුණ දෙමින් ඉන්නේ.. ‘මුළු මිහිතලයම කම්පා වීලා‘ ගීතය කළේ කෝවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම ගැන ආදර්ශයක් ලබා දෙන්න. කොවිඩ් තත්ත්වය ඇති වෙන්න යම් ආකාරයකින් සොබාදහමත් බලපෑවා. මිනිසුන් සොබාදහමට කළ දේවල් නිසා මිනිසුන්ට ඒවා විවිධාකරයෙන් ප්‍රතිවිපාක ලැබිලා තියෙනවා. ඉතිං මේ ගීතයෙන් කියන්නේ සොබාදහමත් රැකගෙන මේ කෝවිඩ් වලින් ගැලවී යළි නැගිටිමු කියන පණිවිඩයයි.

එයට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

මේ දවස්වල හැමෝම කතා කරන්නේ කෝවිඩ් ගැන. ඉතිං ඒ ගීතය කාලයට උචිත තේමාවක් නිසා වඩාත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ඔබ ප්‍රසංග වේදිකාවේ කැපී පෙනුණ තාරකාවක්.. මේ කෝවිඩ් තත්ත්වයත් එක්ක ප්‍රසංග වේදිකාවට ඇති වූ බලපෑම කෙසේ ද?

මා වැඩිම ගීත ප්‍රමාණයක් ගායනා කළේ ප්‍රසංග වේදිකාවේ. ඉතිං මං ප්‍රසංග වේදිකාවට ගොඩක් ප්‍රිය කරන කෙනෙක්. කෝවිඩ් තත්ත්වය එන්න කලින් ඉඳන්ම ඒ ක්ෂේත්‍රය කඩා වැටීමට ලක් වුණා. පාස්කු ප්‍රහාරයෙන් තමයි ඒ බලපෑම පටන් ගත්තේ. ඊට පස්සේ කෝවිඩ් ආවා. ඒ ගැටලු නිසා ප්‍රසංග වේදිකාව පමණක් ජීවිතය කරගත් කලාකරුවන්ගේ ආර්ථිකය පමණක් නෙවෙයි මානසික මට්ටමත් කඩා වැටිලා. වෙනත් ක්ෂේත්‍රවලත් මං ඉන්න නිසා මට එය ලොකු ගැටලුවක් වුණේ නැහැ. මං ව්‍යාපාරිකාවක් විදිහටත් කටයුතු කරනවා. ඉතිං අපි හැම දේකටම ඔරොත්තු දෙන විදිහට හැදිලා හිටියොත් මුහුණ දෙන්න පහසුයි. රංගන ශිල්පීන්ට මෙය ලොකුවට බලපාන්නේ නැත්තේ සීමිත පිරිසක් සහභාගි කරගෙන හරි ඒ රූගත කිරීම් කළ හැකි නිසයි. නමුත් ප්‍රසංග වේදිකාව කියන්නේ එහෙම නෙවෙයි.. ඒක විශාල පිරිසක් සහභාගි කරවගෙන කරන දෙයක්. මට හිතෙන විදිහට තව අවුරුදු දෙකක්වත් මේ තත්ත්වය පවතීවි.

අමිලා ලංකාවේ ප්‍ර්‍රසංග වලට වඩා විදේශීය ප්‍ර්‍රසංග වලට දායක වෙන්න කැමැතියි කියන්නේ ඇත්තද?

 

විශේෂ කැමැත්තක් නැහැ. නමුත් පිටරට ප්‍රසංගවලට මට ආරාධනා ලැබෙනවා වැඩියි. ඒකට හේතුව මොකක්ද කියන්න මම දන්නේ නැහැ. රටවල් 25ක පමණ ප්‍රසංග වලට මං සහභාගි වෙලා තියෙනවා. ඒත් මේ කෝවිඩ් නිසා දැන් ඒ ආරධනා ලැබෙන්නෙත් නැහැ.

කලාවත් එක්ක ව්‍යාපාර කටයුතුවලට කාලයක් තිබෙනවා ද?

කාන්තාවක් වුණාම හැම දේකටම කාලය හොයා ගන්න දක්ෂ වෙන්න ඕනේ. මං කරගෙන යන්නේ සාරි ව්‍යාපාරයක්. ඉතිං ඉන්දියාවේ කෝවිඩ් තත්ත්ව උග්‍රම අතට හැරී ඇති නිසා සාරි ගෙන්වා ගැනීම් පවා නිසියාකාරව කර ගන්න අපහසුයි. මේ දවස්වල ව්‍යාපාරය තුළ ද ලොකු දෙයක් වෙන්නේ නැහැ. නමුත් අපි මේ තත්ත්වයට ඉවසීමෙන් මුහුණ දෙනවා.

* පසු කාලයේදී ඔබ ලේඛනයටත් පිවිසියා..

මා 'රළ කරළිය' කියලා කෘතියක් පසුගිය කාලයේ එළිදැක් වූවා. ඒ අවුරුදු කිහිපයකට ඉහතදී. දැන් පළමු මුද්‍රණයේ පිටපත් සියල්ලම විකිණී ඉවරයි.

මේක කාන්තාවක් වටා ගෙතුණු කතාවක්. මේ චරිතයේ සමහර චිත්තරූප මගේ ඔළුවෙ තිබුණා.

මම දැකපු අහපු දේවල් හිතේ චිත්‍රයක් වගේ ඇඳුණා. නවකතාවකට ගොනු කළේ ඒ දේවල්. මම පහු කරපු මගේ ජීවිත කාලය තුළ මට මුණ ගැහුණු ඇතැම් මිනිසුන් තුළින් බොහෝ දේවල් මම ඉගෙන ගත්තා.

විශේෂයෙන් කාන්තාවකට මේ සමාජයේ තනියම ජීවත් වෙන්න බැහැ.

ආසියාතික පරිසරය ගත්තම අපේ සමාජය පිරිහිලා. සමාජයේ හැම දුකක්ම උහුලන ඒත් ගැහැනියගේ කඳුළු නොදකින පිරිමි ඉන්න සමාජයක් ගැන තමයි මට ලියන්න ඕන වුණේ.

ඇයට මේ සමාජයේ අවශ්‍ය තැන ලබාදිය යුතුයි කියන පෞද්ගලික අරමුණක් සමග තමයි ‘රළ කරළිය' ලියැවුණේ.

කවි පොතකුත් ලියන්න හිතාගෙන ඉන්නවා. මේ ගෙදරට වෙලා ඉන්න කාලය ඒ වගේ දේකටවත් ප්‍රයෝජනයට ගන්න එක හොඳයි.

* එය ඔබේ පළමු නවකතාවද?

නැහැ. මීට පෙර මම නවකතා, කෙටි කතා ලියලා තියෙනවා. ඒත් ඒවා මුද්‍රණය කරන්න ලැබුණේ නැහැ. රළ කරළිය කියන්නේ මුද්‍රණ ද්වාරයෙන් එළිදුටු මගේ පළමු නවකතාව. හිතේ කැකෑරෙන සිතුවිලි අදහස් එළියට දාන්න මම මාවතක් සෙව්වා. ඒ වගේම නවකතාවක් ගොතන්න ආසාවක් තිබුණා. නැතුව මට ලේඛිකාවක් වෙන්න ඕන කියලා බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මම ලේඛිකාවක් කියලා තීරණය කරන්න ඕන පාඨකයා.

* ඔබ ගායිකාවක් වුණා. නිළියක් වුණා. ව්‍යාපාරිකාවක් වුණා. දැන් ලේඛිකාවක් වෙලා. ඔබ වඩාත්ම කැමැති මොන ක්ෂේත‍්‍රයටද?

ගායනය හැකියාව තමයි මාව මෙතැනට ගෙනාවේ. ගායනය තරම් සතුටක් ලබා දෙන දෙයක් මට තවත් නැහැ. දැනට මගෙම නිර්මාණ 20ක් පමණ කරලා තියෙනවා. තව ගීත තුනක් එන්නත් තියෙනවා. මගේ රසිකයන්ට හොඳම දේ දෙන්න තමයි මං නිතරම උත්සහ කරන්නේ.

* ඔබ ක්ෂේත‍්‍රයට එන්නේ සුපර් ස්ටාර් හරහා. අද රියැලිටි කලාව රැල්ලක් වෙලා. මේ වැඩසටහන් ගැන මොකද හිතෙන්නේ?

මං ගායිකාවක් වුණේ සිරස සුපර් ස්ටාර් සීසන් 2 හරහා. එදා මං සුපර් ස්ටාර් තරගයට සහභාගි වුණේ නැත්තම් අද මං තවමත් ගායිකාවක් වෙන්න උත්සහ කරමින් ඉන්න කෙනෙක්. එදා තරම් අද සුපර් ස්ටාර් ජ‍නප්‍රිය නැහැ කියලා දැනෙනවා. එදා ‍ෙප්‍රක්ෂකයා මේ වැඩසටහන ගොඩක් ආදරයෙන් වැලඳ ගත්තා. ඒකට හේතුව අද එවැනි රියැලිටි වැඩසටන් විශාල ප්‍රමාණයක් තිබීමයි. එකම කාලෙක රියැලිටි වැඩසටහන් විශාල ප්‍රමාණයකින් ජයග්‍රාහකයින් වැඩි පිරිසක් බිහිවන නිසා ජනප්‍රියත්වය බෙදීයාමක් සිදුවනවා. ඒ විතරක් නෙවෙයි දැන් තරගකරුවන් ගීත කියන්නේ එකම ආකාරයකට. වෙනසක් නැහැ එකිනෙකාට. බලන අයට මේ දේවල් එපා වෙනවා.

* ඔබ කලාකාරිණියක් වගේම ආදරණීය බිරියක්, සෙනෙහෙබර මවක්.. ඉතිං ඔබේ සොඳුරු කැදැල්ලේ තොරතුරු ගැන කතා කළොත්..

මගේ සැමියා කරුණාවන්ත කෙනෙක්. ඔහු සමන්ත ගමගේ. මගේ හැම දේකටම සෙවණැල්ල වගේ ඉන්නවා. ඔහුත් කලාවට සම්බන්ධ කෙනෙක් නිසා ඔහු සමඟ වැඩකරන එක හරි පහසුයි. මේ දවස්වල ඔහුත් ගෙදරට වෙලා ඔහුගේම වැඩකටයුතු කිහිපයක් කරගෙන යනවා. ඔහුගේ යූ ටියුබ් චැනල් වල ඒ කටයුතුවලට මගෙත් සහයෝගය ලබා ගන්නවා.. මිනිසුන්ට දැනුමක් ලබා දෙන නිසා ඒ යූ ටියුබ් චැනල් මේ වෙද්දිත් ඉතා ජනප්‍රියයි. පුතා ලිතුම් චානක්‍ය. ඔහු උසස් පෙළ අවසන් කරලා දැන් පාඨමාලාවක් හදාරනවා. දුව ලිතුම්‍යා සිතුම්දි. ඇයට තවම අවුරුදු නවයයි. පාසල් යන්නත් මේ කාලේ බැරි නිසා නිවෙසට වෙලා ඇය ඔන්ලයින් පංතිවලට සහභාගී වෙනවා. ඇත්තම කෝවිඩ් එන්න කලින් මං ඉතාම කාර්යබහුල ගෘහණියක්. නමුත් කෝවිඩ් තත්ත්වයත් එක්ක මට නිදහසක් ලැබිලා තියෙනවා.. ඒ නිදහස අපේ පවුලේ හැමෝම සතුටින් භුක්ති විඳිනවා.

ලෝක වසංගත තත්ත්වය එක්ක මෙවරත් පොසොන් උත්සව සමරන්න වෙලා තියෙන්නේ නිවෙසේ සිට..

පොසොන් සමය ගැන ඔබේ මතකය අවදි කළොත්...

මෙවර අවුරුදු චාරිත්‍ර කරන්න වුණේ ගෙදර ඉඳලා. වෙසක් පොසොන් වෙද්දි යථා තත්ත්වයට පත් වෙයි කියලා පොඩි බලාපොරොත්තුවක් තිබුණා.. එත් එහෙම වුණේ නහැ. මං හරි ආසයි ඉස්සර වගේ මගේ සැමියයි දරුවනුයි එක්ක පොසොන් පෝයට පන්සල් යන්න.. වන්දනාවේ යන්න. පොසොන් කාලෙට ඒ දැනෙන සිසිලස විඳින්න. ඉතිං ඒ හැමදේම කෝවිඩ් වලට යටත් වෙලා. හැම වෙසක් පොසොන් කාලෙකටම මං භක්ති ගී ප්‍රසංගවලට සහභාගී වුණා. අැත්තටම පොසොන් වෙනුවෙන් පේ වෙලා හිටියේ.. මං ආසාවෙන් බලන් ඉන්න මාසයක්. ඒත් දැන් ඒ හැමදේම කෝවිඩ් වලට යටත් වෙලා. අකැමැත්තෙන් වුණත් අපිට ගෙදරටම වෙලා ඉන්න වෙලා. ඒත් ඒ අපේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ ගැන හිතලා මේ වෙලාවේ සෞඛ්‍ය නිතීවලට යටත්ව ඉන්න එක තමයි සුදුසුම දේ. මේ ව්‍යසනය ඉක්මනින් අවසන් වෙනකන් කලාකරුවන් පමණක් නෙවෙයි ලෝ වැසි සියලු දෙනාම බලා සිටිනවා.

* ඉදිරි කලාකටයුතු ගැන තිබෙන්නේ මොනවගේ සැලසුමක් ද?

කෝවිඩ් අවසන් වෙනකම් ඉදිරි සැලසුම් ගැන හිතන්න අමාරුයි. නමුත් ගෙදර වෙලා ඉන්න කාලයේ ප්‍රයෝජනවත් දෙයක් කරන්න ඕනේ. රූප රචනා තවමත් නොකළ මගේ ගීත කිහිපයක් තියෙනවා. ඒවාට රූප රචනා කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. කවි පොතේ වැඩ ටිකත් කරගෙන යනවා. ඉතිං කෝවිඩ් අවසන් වූ දිනෙක හැමදේම යළිත් හොඳින් සිදුවේවි.

 

 

 

 

ඡායාරූපය -ශාන් රූපස්සර