විශිෂ්ට ශ්‍රී ලාංකික සිනමා කෘති සඳහා ලෝක වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීම කාලීන අවශ්‍යතාවක්

ශ්‍රී ලාංකේය සිනමා අභිමානය සැන්ටා බාබරා සිනමා උළෙල
දෙසැම්බර් 6, 2021

 අන්තර්ජාතික ශ්‍රී ලාංකික සිනමා උලෙළ සාමූහිකයේ නිර්මාතෘවරිය අරුණි බොතේජු

ශ්‍රී ලාංකේය සිනමාවට ලෝක වෙළෙඳපොළක් නිර්මාණය කරගැනීමේ අරමුණින් සහ ලාංකේය සිනමාව ජාත්‍යන්තරයට ගෙන යෑම සඳහා 2022 වර්ෂයේදී පැවැත්වීමිට නියමිත අන්තර්ජාතික ශ්‍රී ලාංකේය සිනමා උලෙළ හඳුන්වාදීමේ අවස්ථාවක් පසුගියදා 

අමෙරිකාවේ සැන්ටාබාබාරාවේදී සිදුවිය.

 

එම සිනමා උලෙළ ආරම්භක නිර්මාතෘවරිය කාන්තාවක් වීම විශේෂත්වයකි. ඇය නමින් අරුණි බොතේජු. ලංකාවේ ඉපදී, හැඳී වැඩී වර්තමානයේ අමෙරිකාවේ දිවි ගෙවන ඇය වෘත්තියෙන් කැලිෆෝනියාවේ බෑන්ක් ඔෆ් ද වෙස්ට් හි සහකාර උප සභාපතිනිය ලෙසින් කටයුතු කරන කුඩා ව්‍යාපාර බැංකු නිලධාරිනියක වන්නීය. සිංහල සිනමාව වෙනුවෙන් යමක් කළ යුතුයි කියන සිතුවිල්ලෙන් ඇය ඇරැඹි මේ සිනමා උළෙලේ ආරම්භය පසුගිය දා සාර්ථකව සිදු විය. තරුණී වෙනුවෙන් වට්ස් අප් ඔස්සේ සිදු කළ මේ කතා බහ සිංහල සිනමාවට ආදරය කරන අරුණි බොතේජු සමඟයි.

*2022 අන්තර්ජාතික ශ්‍රී ලාංකේය සිනමා උළෙල හඳුන්වා දීමේ අවස්ථාව පසුගියදා සාර්ථකව පැවැත්වූවා. අපි එතැනින්ම කතා බහ ආරම්භ කරමු.

ඇත්තෙන්ම ආරම්භක උළෙලේ තිබූ සාර්ථකත්ව නිසා මේ අන්තර්ජාතික ශ්‍රී ලාංකේය සිනමා උලෙළත් ඉතාම හොඳින් පවත්වන්න ලැබෙයි කියා ලොකු විශ්වාසයක් තිබෙනවා. එය පැවැත්වුණේ අමෙරිකාවේ සැන්ටාබාබරා වේදී. විශාල පිරිසක් ඒ අවස්ථාවට පැමිණ සිටියා.

අන්තර්ජාතික ශ්‍රී ලාංකික සිනමා උලෙළ සාමූහිකයේ නිර්මාතෘවරිය ලෙස මා කටයුතු කරනවා. සහභාගි වූ සම්භාවනීය පිරිස අතර, සැන්ටා බාබරා නගරාධිපතිනිය වන කැතී මුරිල්ලෝ, ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල් ආචාර්ය ලලිත් චන්ද්‍රදාස, ඩිරෙක්ට් රිලීෆ් ආයතනයේ අධ්‍යක්ෂ ඩීන් ඇක්සෙල්රොඩ්, ඩිරෙක්ට් රිලීෆ් ආයතනයේ හදිසි කටයුතු නිලධාරී ක්‍රිස් ඇලිවේ, එක්සත් ජාතීන් ගේ සංවිධානයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නන්දි ජසෙන්තුලියන, ශ්‍රී ලංකා අමෙරිකා සංවිධානයේ සභාපති සමන්ත කුරේරා, අන්තර්ජාතික ශ්‍රී ලංකා පදනමේ අධ්‍යක්ෂ ව්‍යාපෘති සහ ප්‍රචාරණ කේෂිනී විජේගුණවර්ධන, ශ්‍රී ලංකා තරුණ සංවිධානයේ අරුණි ගනේවත්ත, සැන්ටා බාබරා හිස්පැනික් මණ්ඩලයේ මිගුවල් අවිල්ලා වැනි පිරිසක් සහභාගි වුණා.

*ඇයි මෙවන් සම්මාන උළෙලක් කරන්න හිතුණේ?

ඒ අදහස ආවේ කෝවිඩ් කාලයේ ගෙදර ඉන්නකොට. ඒ කාලේ ගොඩක් චිත්‍රපටි බැලුවා. එතකොට මට තේරුණ දෙයක් තමයි අමෙරිකාවේදී බොලිවුඩ් හොලිවුඩ් වැනි අන්තර්ජාතික චිත්‍රපටි නැරඹීමේ අවස්ථාව තිබුණත් ලංකාවේ සිනමාවට එහෙම වෙළෙඳපොළක් නැති බව. අමෙරිකාවේ කෙනකුට සිංහල චිත්‍රපටියක් බලන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතිං මං මගේ නංගිත් එක්ක නිකමට මේ ගැන කතා කළා. ලංකාවේ සිනමාව අමෙරිකාවටත් ගේන්න පුළුවන්නම් හොඳයි කියලා. ඒ විදිහට තමයි ඒ අදහස හිතට ආවේ.

*මේවන් සිනමා උළෙලක් කිරීමෙන් බලාපොරොත්තුවන අරමුණ කුමක් ද?

කෙනකුට හිතෙන්න පුළුවන් මෙහිදී සිදුවන්නේ ලංකාවේ සිනමා පට කිහිපයක් අමෙරිකාවේදී පෙන්වීම පමණයි කියා. නමුත් ඊට එහා ගිය ගැඹුරක් එහි තිබෙනවා.

විශිෂ්ට සම්මානයන්ට පාත්‍රවෙමින් තිබෙන ශ්‍රී ලාංකික සිනමා කෘති සඳහා ලෝක වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීම කාලීන අවශ්‍යතාවක් වී තිබෙනවා. ඒ අවශ්‍යතාවට මේ හරහා ළඟා වෙනවා. පනහේ දශකයේ සිට ලෝක අවධානයට ලක් වූ සිංහල සිනමාව 2000 වර්ෂය වන විට ලෝක සිනමා උළෙලවලදී විවිධාකරයෙන් සම්මානයට පාත්‍ර වූවත් අන්තර්ජාතික වශයෙන් වාණිජ පරිසරයක් බිහි වුණේ නැහැ. එයින් සිදු වූයේ අන්තර්ජාතික මට්ටමෙන් දේශීය සිනමා කෘති, සිනමාකරුවන් සහ සිනමා ශිල්පීන් සැඟවී යාමයි. කලාපීය සහ ලෝක මට්ටමින් විශිෂ්ටත්වයට පත්ව තිබෙන ශ්‍රී ලාංකික සිනමාව පිළිබඳව නැවත කියවීමක් අවශ්‍ය වන්නේ ඒ නිසායි. ලංකාවේ සිනමාව අමෙරිකාව වෙත ගෙන ඒමෙහි අරමුණ අමෙරිකාවට පමණක් නොව ලෝකයට ගෙනයෑමයි.

*මෙය පහසු කටයුත්තක් කියා ඔබ සිතනවා ද?

මෙය මං තනියම හිතපු දෙයක්. නමුත් දැන් මා වටා කණ්ඩායමක් සිටිනවා. බොහෝ දෙනා මට උදව් කරනවා. ප්‍රදීපා ධර්මදාස මගේ හොඳ මිතුරියක්. ඇය මට නිතරම කතා කරනවා. අපි 2016 වසරේදී ටී. එම්. ජයරත්න මහතා එක්ක ප්‍රසංගයකුත් කළා.

මේ සිනමා උළෙල පටන් ගද්දී මං දැනං හිටියේ නැහැ ලංකාවේ සිනමා උළෙලක් වෙනත් රටක පවත්වන ප්‍රථම අවස්ථාව මෙය බව. ඉතිං මට වැටහෙනවා මෙය දැවැන්ත කර්තව්‍යයක් බව. මේක තනි පුද්ගලයකුගේ වැඩක් නොවෙයි. කණ්ඩායමක් එකතු වෙලා කරන වැඩක්.

*ඔබ වෘත්තියෙන් බැංකු නිලධාරිනියක්.

කැලිෆෝනියාවේ බෑන්ක් ඔෆ් ද වෙස්ට් නම් කුඩා ව්‍යාපාර බැංකුවේ සහකාර උප සභාපතිනිය ලෙසින් මා කටයුතු කරනවා.

වෘත්තීය ජීවිතයේදී මට සහයෝගය දුන් බොහෝ අය සමඟ වැඩ කිරීමට ලැබීම මට මහත් ආශීර්වාදයක් වුණා. මම මගේ උපදේශකයන් ගෙන් සහ මගේ සේවාදායකයා ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. මම සෑම විටම එම අවස්ථාව හෝ අවදානම ගැනීමට කැමැති වූයේ වඩා හොඳ පුද්ගලයෙකු බවට පත් කර ගැනීමට සහ මා දියුණු කර ගැනීමටයි. මගේ මේ වෘත්තියත් එක්ක සිනමාවට සම්බන්ධ අධ්‍යක්ෂකවරු, කලාකරුවන් හමුවන්න අවස්ථාව ලැබෙනවා.

එයත් හේතුවක් වුණා සිනමා උළෙලේ වැඩකටයුතු සාර්ථක කරගන්න.

කෝවිඩ් එක්ක බොහෝ කාන්තාවන්ගේ රැකියා නැතිව ගියා. ඉතිං ඒ අයට ස්වයං රැකියා කරන්න මඟ පෙන්වීමකුත් මා කරනවා. ලංකාව තුළත් එවන් දෙයක් කරන්න බලාපොරොත්තුවක් තිබුණා. විවිධ අංශවලින් උපදේශකවරුන් ඒ සඳහා ලංකාවට එවන්න සූදානම් වන විටම වගේ තමයි කෝවිඩ් තත්ත්වය ලංකාවේත් වර්ධනය වුණේ. ඒ නිසා ඒ කටයුත්ත තරමක් කල් දාන්න සිදු වෙලා තියෙනවා. තමන්ගේ උත්සහයෙන් නැඟී සිටින්න වෙර දරන කාන්තාවන්ට මඟ පෙන්වන්න තමයි මගේ අනෙක් අරමුණ.

* ඔබ කලාවටත් දක්ෂයි...

මා මුලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ 07 බෞද්ධ කාන්තා ජාත්‍යන්තර විද්‍යාලයෙන්. ඉන්පසු සැන්ටා බාබරා සිටි විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවා. ෆීනික්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත් පසු

 ව්‍යාපාර පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සඳහා වැඩ කළා. බැංකු ජීවිතය ආරම්භ කළේ 1999 දී‍ අමෙරිකා බැංකුවේ අර්ධ කාලීන ටෙලර්වරියක ලෙසින්.

මගේ මව්පියන් අමෙරිකාවේ පදිංචියට ආවේ 1996දී. මායි නංගිලා දෙන්නයි ඒ අයත් එක්කම ආවා. දැන් අපි අමෙරිකාවට ඇවිත් අවුරුදු 25ක් පමණ වෙනවා.

පාසල් යන කාලයේ සිටම නර්තනයට සහ නාට්‍යකරණයට ඇල්මක් තිබුණා. සාම්ප්‍රදායික නර්තනය තිලකා විජයසිංහ මහත්මිය ගෙන් ද, භරත නර්තන කලාව පද්මිණී දහනායක මහත්මිය ගෙන් ද, කථක් නර්තන සම්ප්‍රදාය සව්සිරිපාය කලායතනයෙන් ද 90 දශකයේදී හැදෑරුවා. කථක් වැඩිදුර හැදැරීම පිණිස ශාන්ති නිකේතනයට ශිෂ්‍යත්වයක් ද දිනා ගන්නට මට හැකිවුණා. ඒ විතරක් නෙමෙයි සෝමලතා සුබසිංහ මහත්මිය ගේ නාට්‍ය කණ්ඩායමට ද සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා.

* මේ සියලු වැඩ කටයුතු කරන්න ඔබට කාලය ලැබෙන්නේ කොහොම ද?

 

මේ ප්‍රශ්නය මගෙන් හැමෝම අහනවා. මට තියෙන්නත් පැය 24යි. මං ඒ පැය 24න් උපරිම ප්‍රයෝජන ගන්නවා. නමුත් මා ඒ එක් එක් කටයුත්ත මේ වේලාවේ කළ යුතුයි කියා වෙන් කරගන්නේ නැහැ. කොහොම හරි ඊට වෙලාව හදා ගන්නවා.

මං දරුවන් දෙදෙනකුගේ මවක්. බැංකු නිලධාරිණියක්, ස්වයං රැකියා කරන අයට මඟ පෙන්වනියක්, කමිටු කිහිපයකම සාමාජික ක්‍රියාකාරිනියක්. ඒ අතරතුර ලාංකේය සිනමාවේ අනාගතය වෙනුවෙන් දෙයක් කිරීමට කැමැත්තෙන් ඉන්න කෙනෙක්. දිනෙක ලංකාවටත් ඇවිත් ලංකාවේ කාන්තාවන්ට සහ සිනමාවට යමක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.