සමහර වෙලාවට මේ දේවල් මට හිතාගන්නවත් බැහැ

ඩුබායි සංචාරයට පෙර යොහානි තරුණී පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාව
දෙසැම්බර් 6, 2021

 

යොහානි ද සිල්වා ප්‍රති නිර්මාණය කළ ‘මැණිකේ මගේ හිතේ ගීතය‘ මේ වනවිට ලෝකය පුරාම වේගයෙන් ජනප්‍රිය වී හමාරයි.

 

අමිතාබ් බච්චන්, මධුරි ඩික්සිත්, සල්මන් ඛාන්, සහ ප්‍රියංකා චොප්රා වැනි බොලිවුඩ් තාරකාවන්ගේ පවා පැසසුමට ලක් වූ මේ ගීතය මේ වනවිට සිංහල, දෙමළ, හින්දු, ඉංග්‍රීසි ඇතුළු ලොවපුරා භාෂා ගණනාවකින් ගායනා කර තිබේ. මේ ගීතය ඉන්දියාවේ කොතරම් ජනප්‍රිය වූවාද යන්නට හොඳම උදාහරණය යොහානිගේ ඉන්දීය සංචාරයයි. එහිදී ඉතාමත් සාර්ථක ප්‍රසංග දෙකක් පැවැත්වූ ඇය මැණිකේ ගීතයේ සිංහල වචන ඉන්දියාවේ ජනයාගේ මුවග රැව්දෙන වචන බවට පත් කරවීමට සමත්වුවාය.

 

මැණිකේ මගේ හිතේ ගීතයේ මේ ගෝලීය ව්‍යාප්තිය ජාතියක ආත්මීය බව ජාත්‍යන්තර ප්‍රජාව වෙත හෙළිදරව් වීමේන් ශ්‍රී ලාංකාව වෙතට සැමගේම අවධානය යොමු වීම ද විශේෂත්වයකි. මෙහි වඩාත්ම අගය කළ යුතු දේ වන්නේ මේ හපන්කම කරන්නේ සංගීතයේ පරතෙරට ගිය කෙනකු නොව ඉතාමත් හුරු බුහුටි කෙළිලොල් දඟකාර යෞවනියක විසින් වීමයි. ලෝකයේම අවධානය දිනා ගත් මේ හුරු බුහුටි යුවතිය මේ වනවිට ඩුබායි සංචාරයක නිරත වෙනවා. මේ ඒ පිළිබඳව මුල්වරට තරුණී පුවත්පත සමඟ සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවයි.

* ක්‍රිකට් වලින් ලංකාව ලෝකයේ ප්‍රසිද්ධ වුණාට පසුව අපේ රට ලෝකයට ගෙන ගිය තරුව ඔබ. ඒ ගැන මොකද හිතෙන්නේ..?

‘‘ලොකු සතුටක් දැනෙනවා. මම මියුසික් පටන් ගත්තේ 2016 අවුරුද්දේ විතර. ඒ කාලයත් එක්ක, අද ඉන්න මමත් එක්ක වෙනසක් වෙලා තියෙනවා. හැබැයි ගන්නා තීරණවලනම් ලොකු වෙනසක් වෙලා නැහැ. අද මට ලැබෙන අවස්ථා ගැන මට ගොඩක් සතුටුයි. සමහර වෙලාවට මේ දේවල් හිතාගන්නවත් බැහැ. ඉතාම කෙටි කාලයකින්  බොහෝ දේවල් සිදු වුණා. ඒ දේවල් ගැන සතුටුයි. ඉදිරියේදී තව බොහෝ දේ කරන්න ප්ලෑන් කරලත් තියෙනවා.‘‘

 

ඔබ ජාත්‍යන්තරය තුළ මේ තරම් ප්‍රසිද්ධියට ලක් වීමේ ආරම්භය සනිටුහන් වෙන්නේ ‘ මැණිකේ ‘ ගීතය ඉන්දියාවේ ජනප්‍රිය වූ පසුවයි. ඒ ගැන කතා කළොත්...?

‘‘ඔව්. ‘මැණිකේ මගේ හිතේ ‘ ගීතයට පෙර මම cover song කිහිපයක්ම කරලයි තිබුණේ. ඉතින් ‘මැණිකේ මගේ හිතේ ‘ ගීතයත් ඒ විදිහට කරපු cover song එකක්. හැබැයි මේ ගීතය මාව මේ තරම් දුරක් ගෙනියාවියැයි මමවත් හිතුවේ නැහැ.‘‘

 

බොහෝ දෙනා මේ cover song එක ගැන කතා කළේ අමිතාභ් බච්චන් එයාගේ intergram එකේ දැම්මාට පසුවයි.

‘‘එදා  වෙනත් මියුසික් වීඩියෝවක් කරලා මහන්සියටම රෑ මම නිදා ගත්තා. මේක අමිතාභ් බච්චන් එයාගේ intergram එකේ දාලා තියෙනවා දැකපු අපේ team එක මට කෝල් කරලත් තිබුණා. ඒත් ආන්සර් කරලත් මෙයාලා කියපු දේ මට එච්චර හිතට වැදුණේ නැහැ. පහුවදා උදේ මම ම ඒක දැකලා මම කෝල් කරල team එකට කියද්දීත් එයාලා සතුට සමරලත් ඉවරයි. ඒ නිසා ඒ සතුට මම තනියම සැමරුවා. ‘මැණිකේ මගේ හිතේ ‘ cover song එක ගැන බොහෝ දෙනා කතා වුණේ ඒ හරහායි.

සංගීත නිර්මාතෘ චමත්ටත් , මුල් ගායනය සහ මගෙත් එක්ක රැප් එක ගයනා කල සතීෂාන්ටත් , මුල් ගීතයේ රැප් එක ගායනා කරපු සහ පද රචනා කළ දුලාන්ටත්, සින්දුව නැවත නිර්මාණය කිරීමට සහ බෙදා හරින්න අවසරය දුන් හසිත්ටත්, මගේ පිටුපසින් සෑම මොහොතේම ඉන්න දිලංජන් ඇතුළු පෙටා ඉෆෙක්ට් (Pettah Effect) කණ්ඩායමටත් මෙහි ගෞරවය හිමි වෙන්න ඕනේ.‘‘  

ඉන්දියාවේ සංදර්ශන වලට සහභාගී වීමෙන් ඔබට ජැකලයින් ෆර්ඩිනැන්ඩස් මුණ ගැහුණා. ඇගෙන් ලැබුණ සහයෝගය පිළිබඳව කියන්න.

 

‘‘ඇත්තටම කිව්වොත් එයාව මුණගැසෙන්නට ලැබීමත් මට ලොකු සතුටක්. තාමත් ඒක හිතාගන්නවත් බැහැ. එයා හරිම හොඳ කෙනෙක්. මට ගොඩක් උදව් කළා. මේ ක්ෂේත්‍රය ගැන මට බොහෝ දේවල් කියලා දුන්නා. එයා ඉන්දියාවට ආපු අවදියේ මූණ දීපු අභියෝග, ඒවාට මුහුණ දීපු හැටි, මේ වෙද්දි එයා ඉන්දියාවේ ගෙවන ජීවිතය වගේ බොහෝ දේවල් මට කියලා දුන්නා. හරිම විනෝදකාමී හරිම හොඳ කෙනෙක්. අපිට ඉන්දියාවේ සංගීත ක්ෂේත්‍රය අලුත් නිසා ඒ උපදෙස් හරියට වටිනවා. ඒ මුණ ගැසීමත් අමතක වෙන්නේ නැහැ.‘‘

 

ඉන්දියාවේ ජනප්‍රිය නළු සල්මන් ඛාන්ගේ වැඩසටහනකට සහභාගි වී ඔහුත් සමග ‘මැණිකේ‘ ගීතය ගායනා කරන්නට ලැබුණා. ඒ අවස්ථාව ගැන කතා කළොත්..?

‘‘ඔව්. මට සල්මන් ඛාන් මෙහෙයවන ‘big boss‘ වැඩසටහනට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. සල්මන් ඛාන් කියන්නේ හරිම නිහතමානී, මිත්‍රශීලී කෙනෙක්. මාත් එක්ක හරිම සුහදශීලීව කතා කළා. මුලින්ම මාත් එක්ක හින්දි භාෂාවෙන් කතා කරද්දී මම ඒක නොතේරෙන බව කියද්දී ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් මාත් එක්ක කතා කළා. ‘මැණිකේ මගේ හිතේ‘ ගීතයේ කොටසක් මාත් එක්ක ගායනා කරන්නත් කැමැති වුණා. ගීතයේ සමහර තැන් ඔහුට කියන්න අමාරුවෙද්දී ඔහුම හිනා වුණා. මට මතකයි ගීතයේ ‘සිහිවේවි‘ කියද්දී සල්මන් ඛාන් කිව්වේ ‘ශ්‍රී දේවි‘ කියලයි. මාත් එක්ක හින්දි ගීතයක කොටසකුත් එදා ඒ වැඩසටහනේදී ඔහු ගායනා කළා. ඔහු ඇත්තටම හරි අපූරු කලාකරුවෙක්.

 

 

ඉන්දියාවේ සංචාරයේදී ඔබට මුණගැසුණු එරට ජනප්‍රිය තරු කවුද? ඒ අයගෙන් ලැබුණු ප්‍රතිචාර මොනවාද?

 

‘‘ඒ සංචාරයේදී අපිට අමිතාභ් බච්චන්, සල්මන් ඛාන්, රන්වීර් සිං, වගේ කලාකරුවන් මුණ ගැහුණා. ඒ වගේම ඉන්දියාවේ ඉතා ජනප්‍රිය T-series නාලිකාව සමඟත් සම්බන්ධ වෙන්න අපිට අවස්ථාව ලැබුණා මේ මම ඉන්දියාවට ගියපු මුල්ම ගමනයි. ඒක ඉතා සාර්ථක ගමනක් වුණා. ප්‍රසංග වගේම බොහෝ අත්දැකීම් ලබන්න අපිට අවස්ථාව ලැබුණා. ඒ කාලය පුරාවට අපි නිදා ගත්තේ හරිම අඩුවෙන්. ඉන්දියාව කියන්නේ සංගීතය ඉතා විශාල පරාසයක විහිදෙන රටක්. ඒ රටේ පුදුම තරගකාරිත්වයක් තිබුණේ. මුලින් ඒ පරිසරයට හැඩ ගැහෙන්න අපිට ටිකක් අමාරු වුණා. හැබැයි ඉක්මනින් අපි ඒකට හුරු වුණා. T-series එකේ Bhushan Kumar  අපිට මුණ ගැහුණා. ඔවුන් එක්ක වැඩ කරන්න ලැබීමත් හොඳ අවස්ථාවක්.‘‘

 

ගායිකාවක ලෙස හින්දි සිනමාවට සම්බන්ධ  වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ..?

ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒකත් ‘මැණිකේ මගේ හිතේ ‘ගීතයටම නිර්මාණය වුණු හින්දි ගීතයයි. ඉදිරියේදී තිරගත වෙන්න තියෙන "Thank God " චිත්‍රපටයට තමයි ඒ ගීතය පටිගත කළේ. ඒ ගීතය  දෙවතාවක්ම රෙකෝඩ් කළා. හැබැයි ඒ දෙවතාවම ෆේල්. ඒකට හේතුව වුණේ වචන උච්චාරණයයි. තාම මට හින්දි වචන නිවැරැදිව උච්චාරණය කරන්න අමාරුයි. ගීතයේ සිංහල කොටසකුත් තියෙනවා. ඒකත් මම ගායනා කරලා තියෙන්නේ හින්දි වචන උච්චාරණයටයි. ඉතින් ඒ පොඩි පොඩි වැරැදි හදාගෙන තුන්වැනි පාරට රෙකෝඩ් කරන්න ජනවාරි මාසයේදී ඉන්දියාවට යන්න තියෙනවා. ඒ පාරත් හරියාවිද කියලා කියන්න දන්නේ නැහැ. බලමු...‘‘

ඉදිරියේදී එළිදක්වන ඔබේ නිර්මාණ ගැන විස්තර කරන්න..?

‘‘මගේ අලුත්ම ගීතය ‘moving on ‘නොවැම්බර් 12 වෙනිදා එළි දැක්වූවා. ඒක පද රචනා කළේ දිලංජන් සෙනවිරත්න. මියුසික් කළේ පසන් ලියනගේ. ඒක ඉංග්‍රීසි ගීතයක්. නමුත් කුඩා සිංහල කොටසකුත් තියෙනවා. ඒ ගීතය නිර්මාණය කිරීමේදි Brian Malouf නම් නිර්මාණකරුවත් අපිත් එක්ක එකතු වුණා. Brian මැඩෝනා, මයිකල් ජැක්සන් වැනි කලාකරුවන් එක්ක වැඩ කරලා හොඳ පළපුරුද්දක් ඇති දක්ෂ නිර්මාණකරුවෙක්. ඊට අමතරව තවත් ගීත කීපයක්ම නිර්මාණය වෙමින් පවතිනවා. ලබන වසරේ ඇල්බම් එක එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.

යුවතියක් ලෙස ඔබ විලාසිතා ගැන දක්වන අදහස

‘‘ ඒ කාලේ ඉඳන්ම මම වෙනස්ම විලාසිතා කරන්න කැමැති කෙනෙක්. මගේ ඇඳුම්, මගේ විලාසිතා  නිර්මාණ කරන්න නිර්මාණකරුවන් දෙන්නෙක් ඉන්නවා. ඉන්දියාවේත් ඒ වෙනුවෙන් වෙන් වුණු කෙනෙක් ඉන්නවා. මුලින් මම කැමැති විලාසිතා ගැන එයාලට කියලා එයාලගේ අදහසුත් එකතු කරගෙන තමයි මගේ විලාසිතා හැදෙන්නේ. කොහොමත් මම විලාසිතා වලට කැමැති කෙනෙක්.

අද මේ ඉන්න තැනට එන්න ඔබ කාපු කට්ට ගැන කියන්න..?

‘‘ඒකට ලොකු මහන්සියක් වුණා. ඕස්ට්‍රේලියාවේ උපාධිය අරගෙන එහේ පුරවැසිභාවය ලබාගන්න අවස්ථාව තියෙද්දිත් ඒ හැමදේම අතහැරලා මම ලංකාවට ආවා. මට තාම මතකයි මම ලංකාවට ඇවිත් මුදල් හොයා ගන්න සතියකට දවස් තුනක් pub වල රෑ සිංදු කිව්වා. එක දවසකට මට රුපියල් පන්දාහක් ලැබුණා. මාස හයක් විතර මම එහෙම මහන්සි වෙලා වැඩ කළා. මේ කාලය පුරාම මම ගැන කතා gossip හැදුණා. අදටත් ඒවාවල අඩුවක් නැහැ. හිත් රිදුණු, හිත් රිදෙන තැන් ගොඩක් තියෙනවා. ඒත් ඒ හැමදේටම මූණ දෙමින් මම මගේ ගමන යනවා. 

 

ලැබෙන ජනප්‍රියත්වයත් සමඟ ඔබේ මවගේ පියාගේ ප්‍රතිචාර කෙබඳුද..?

 

‘‘අම්මටයි තාත්තටයි ගොඩාක් සතුටුයි. මම ඔස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාවට මියුසික් කරන්න එනවා කියද්දී මුලදී ඒ දෙන්නා අකැමැති වුණා. හැබැයි දැන් එහෙම නැහැ. මම ගැන හැම update එකක්ම දෙන්නේ ඒ දෙන්නයි. පහුගිය දවස් ටිකේම අම්මා තාත්තා එක්ක රෑ කෑමකට එළියට යන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. ඒ ගැන නම් දුකයි.‘‘

 

මේ ජනප්‍රියත්වයත් සමඟ යොහානි ඉදිරිය සැලසුම් කරලා තියෙන්නේ කොහොමද..?

නොවැම්බර් මස 24 වැනිදා අපි ඩුබායිවලට යනවා. එහිදී අපි ‘moving on " ප්‍රසංගයක් පවත්වනවා. හින්දි ගීතය වෙනුවෙන්  ජනවාරි මාසයේදී ඉන්දියාවට යන්න තියෙනවා. ආයෙමත් ලබන වසරේ යුරෝපා සංචාරයක් කිරීමට නියමිතයි. ඒ වගේම ලබන වසරේ ජූලි මස 30 වැනිදා ඇල්බම් එකත් සමඟ කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී ප්‍රසංගයක් පවත්වන්නත් සූදානම් වෙනවා. ඒ ප්‍රසංගයට ඉන්දියාවෙන්ද කලාකරුවන් කීපදෙනෙක්ම ගෙන්වනවා. ඒ නිසා මේ ගොඩාක් මහන්සි වෙලා වැඩ කරන්න සිදුවන කාලයක්.

 

ඡායාරූප - ශාන් රූපස්සර