මගේ ලොකුම බලාපොරොත්තුව රූපවාහිනී නිවේදිකාවක් වීමයි

දෙවැනි ඉනිමේ පවනි දිල්කි දිසානායක
දෙසැම්බර් 13, 2021

 

අද තරුණී කවරය සරසන්නේ පුංචි තිරයට අලුතින් එකතු  වුණු නවක රංග ශිල්පිනියක්. ඇය දිල්කි දිසානායක. දෙරණ නාළිකාවේ විකාශය වන දෙවැනි ඉනිම ටෙලි සිත්තමේ පවනිගේ චරිතයෙන් රංගනයට දායක වන දිල්කි කා අතරත් කතා බහට ලක්වන චරිතයක් වෙලා.

 

දෙරණ නාළිකාවේ පවනිගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

මට වැඩි ප්‍රතිචාර ලැබුණේ දෙවැනි ඉනිමේ රංගනයටයි. ගොඩ දෙනෙක් මාව අඳුර ගත්තේ ඒ චරිතය හරහා. ඉතිං ඒ චරිතය මට ලැබුණු හොඳ අවස්ථාවක්. ඊට පෙර ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන හදවතේ කතාව සමින්දිගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒක පාසල් යන යුවතියකගේ චරිතයක්. නැවත පාසල් යනවා වගේ හැඟීමක් දැනුණ චරිතයක්.

පාසල් කාලයෙත් කලාවට දක්ෂද?

මම පාසල් ගියේ බදුල්ල මහා විද්‍යාලයට. එය මිශ්‍ර පාසලක්. ඉතින් ඒ කාලේ හරිම විනෝදයි. සුන්දර මතකයන් ගොඩයි. ඒවා මෙහෙමයි කියලා කියන්න බැරි තරම්. නර්තනය කළේ පාසල් වේදිකාවෙ. මම කළේ නිවේදනය. නිවේදන කටයුතු වලට ගොඩක් නැඹුරු වෙලා හිටියා. රංගනයට තිබුණෙ ආසාවක්. පාසල් කාලෙදි මගේ ලොකුම බලාපොරොත්තුව වුණේ රූපවාහිනී නිවේදිකාවක් වීම. නමුත් මම මේ වෙද්දි රංගන ශිල්පිනියක් වෙලා ඉන්නවා. ඉදිරියේදි රූපවාහිනි නිවේදිකාවක් වෙලා මගේ හීනයට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රංගනයත් වැඩිදුර හදාරලා ඒ අංශයෙනුත් ඉදිරියටම ගිහින් සම්මානනීය රංගන ශිල්පිනියක් වීම තමයි දැන් අරමුණ.

කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්න පාර කැපෙන්නෙ කොහොමද?

මම ක්ෂේත්‍රයට මුලින්ම ආවේ සිරස නාළිකාවෙ විකාශය වු නීල පබළු නාට්‍යය හරහා. නමුත් මට හරියටම චරිතයක් නිරූපණය කරන්න ලැබුණෙ හිරු අවුරුදු කුමරිය තරගයෙන් පසුව.

ඒ කියන්නේ දිල්කි අවුරුදු කුමරියක්.

2019 වසරේ හිරු අවුරුදු කුමරිය තරගය හරහා අවසන් පස් දෙනා අතරට එන්න හැකිවුණා. ඉන් පසුව තමයි හිරු නාළිකාවෙ විකාශය වුණු පෝය ටෙලි නාට්‍යයකට මුලින්ම සම්බන්ධ වුණේ. එතැනින් පසුව දෙවැනි ඉනිම ටෙලි නාට්‍යය වෙනුවෙන් ආරාධනා ලැබුණා. අනතුරුව තමයි පාවෙනා වළාකුළේ ඒවිද අම්මා ටෙලි නාට්‍යයටත්. හදවතේ කතාවටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ.

අවුරුදු කුමරිය තරගයට දිල්කිව සම්බන්ධ කළේ කව්ද?

තරගයට අයදුම් කළේ නම් ගෙදර අය. මගෙත් ලොකු කැමැත්තක් තිබුණා. එවැනි තරගයකට සම්බන්ධ වෙන්න..

 

මේ ක්ෂේත්‍රයට එනවට දිල්කිගෙ ගෙදරින් අකැමැති වුණේ නැද්ද?

නැහැ. ගෙදර අය මගේ ගැන දන්නවා. මම කව්ද? කොහොම කෙනෙක් ද කියන දේ. මට යම් අරමුණක් තියෙනවා නම් කොයි තරම් ප්‍රශ්න ආවත් මම ඒ අරමුණට යනවා කියලා ගෙදර අය දන්නවා.

ඒ නිසා මගේ කිසිම දේකට ගෙදරින් බාධා කරන්නේ නැහැ. ආශිර්වාද කරනවා ඇරෙන්න.

දැන් නිරූපණ කටයුතුවලටත් සම්බන්ධ වෙනවා නේද?

ඔව් නිරූපණයටත් මං වෙලාව වෙන් කරගන්නවා. එහෙත් මගෙ වැඩි කැමැත්ත තියෙන්නේ රංගනයට. ඊට අමතරව මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. වෙඩින් ප්ලෑනර් කෙනෙක් විදිහට වැඩ කටයුතු කරගෙන යනවා.

ව්‍යාපාරයට මුල් තැන දීලා රංගනයෙන් ඈත් වෙයි ද?

රංගනය කියන්නේ මං හරිම ආසාවෙන් කරන දෙයක්. ඒ නිසා රංගනය අමතක කරන්නේ නැහැ. රංගන කටයුතුයි ව්‍යාපාර කටයුතුයි දෙකම හොඳින් කරගෙන යනවා.

මේ තැනට එන්න උදව් කරපු පිරිසක් ඇති?

ගොඩක්ම මේ තැනට එන්න උදව් කළේ මගේ ගෙදර අය. අම්මා, අප්පච්චි සහ අක්කා. ඒ වගේම මගේ බාප්පා සහ පුංචි විශේෂයෙන් මතක් කරන්න ඕනෑ. ඒ අය මූලිකවම මගේ ළඟින්ම හිටියා. ඊට අමතරව රංගනය තුළ මට ගොඩක්ම උදව් කළේ ශ්‍රියන්ත, නිරංග සහ චරිත් කියන අයියලා. ඒ අය මට රංගනය වෙනුවෙන් අවස්ථාවක් අරන් දීලා මේ තැනට එන්න උදව් කළා.ඒ වගේම චාමිකා මෙන්ඩිස් මහත්මිය සහ සාරංග මෙන්ඩිස් මහත්මයා විශේෂයෙන් මතක් කරන්න ඕනැ.