මේ තරම් ඉක්මනට House Full බෝඩ් එක එල්ලන්න වෙයි කියලා හිතුවේ නැහැ

ජනවාරි 24, 2022

‘ජංගි හොරා‘ වෙනුවෙන් රෑ 9.30 දර්ශනයත් පටන් අරන්

විවිධ මානසික රෝග ඇති අය සම්බන්ධයෙන් අපි හැසිරෙන අන්දම හරිද කියලා තමාගෙන්ම අහන්න වේවි

ජංගි හොරා චිත්‍රපටයේ නිෂ්පාදිකා රේණුකා බාලසූරිය

කෝවිඩ් වසංගතය හමුවේ මිනිසුන්ගේ සියලුම දෛනික කර්තව්‍යයන් පවා බිඳවැටෙද්දී රසවින්දනය වෙනුවෙන් දොරගුළු විවර වුණේ නිතර අත රැඳෙන ස්මාර්ට් දුරකථනයෙන් පමණි. සිනමා ලෝලීන් සිනමාහල්වලින් එහෙම පිටින්ම ඈත්වූ සෙයකි.

එහෙත් මේ දිනවල EAP මණ්ඩලයේ සිනමාශාලා ඇතුළු තවත් සිනමාශාලා කිහිපයකම තිරගතවන ‘ජංගි හොරා‘ චිත්‍රපටය සිනමාහල්වලින් මෑත්වූ ප්‍රේක්ෂකයන් ඒ කරා එක්රොක් වූවා පමණක් නොව House Full බෝඩ් එක ද දක්නට ලැබුණේ යළි පිබිදීමක් ලබමිනි.

පළමු දිනයේදීම ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත වුණු මේ චිත්‍රපටයත් සමඟින් සිංහල සිනමා කර්මාන්තයේ කොළ එළියක් දල්වා ඇති බව කිව හැකියි. ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ මේ චිත්‍රපටය වටා ප්‍රේක්ෂකයින් මෙසේ එක් රොක් වූයේ ‘ජංගි හොරා‘ (Under Pants Thief) කියන නම නිසාද? එහෙමත් නැත්නම් හැමදාමත් දරුවන් වෙනුවෙන් චිත්‍රපට බිහි කළ අධ්‍යක්ෂවරයෙක් ‘වැඩිහිටියන්ට පමණයි‘ ලේබලය යටතේ චිත්‍රපටයක් කළ නිසාද?

සංස්කෘතියෙන් සිරගත කරන සමාජයෙන් ගැරහුම් ලබන නීතියෙන් දඬුවම් විඳින මනුස්සකම රැගත් ජංගි හොරා චිත්‍රපටයේ මිනිස්කම වෙනුවෙන් දියණියක් පිදූ මානුෂීය පරිත්‍යාගය පිළිබඳ කියවේ. මේ චිත්‍රපටයත් ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ ප්‍රිය බිරිය රේණුකා බාලසූරියගේ නිෂ්පාදන කර්තව්‍යයක්. ‘ජංගි හොරා‘ පිළිබඳ කතාබහකට අපි එක්කර ගත්තේ ඈව.

කෝවිඩ් වසංගතයෙන් පසු සිනමාශාලා ඉතිරී ගිය පළමු සිංහල චිත්‍රපටය ජංගි හොරා. මේ ඔබලා අපේක්ෂා කළ තත්ත්වයක්ද?

කෝවිඩ්වලින් පස්සේ සිනමාහල්වල හිටියේ ප්‍රේක්ෂකයෝ දෙන්නයි, තුන්දෙනයි. House Full බෝඩ් එක දාලා පෙන්වන තත්ත්වයක් මේ තරම් ඉක්මනට උදාවේවි කියලා අපි බලාපොරොත්තු වුණේ නැහැ.

මිනිස්සු රසවින්දනයෙන් ඈත්වෙලා නැහැ කියන දේ හුවා දක්වන්න හොඳම සාක්ෂියක් මේ චිත්‍රපටය.

‘ජංගි හොරා‘ වෙනුවෙන් රාත්‍රී 9.30 දර්ශන වාරයක් ඇරඹිලා. මං හිතන්නේ තාරුණ්‍යයේ සිටින පරම්පරාවට නම් මේ අලුත්ම අත්දැකීමක්.

මං නිවැරැදි නම්... 1989 වගේ කාලයෙන් පස්සේ රාත්‍රී 9.30 දර්ශන වාරයක් බොහෝ සිනමාහල්වල ඇරැඹීම සඳහා සිංහල චිත්‍රපටයක් එක් කළ අවස්ථාවක් මේ. චිත්‍රපටය තිරගත වුණු මුල්ම දින කිහිපයේදී ඇති වූ ඉල්ලුමත් සමඟ EAP මණ්ඩලයේ සිනමාහල්වල දර්ශනවාර පහක් පැවැත්වෙනවා. 9.30 දර්ශනවාරය ඉතාමත් සාර්ථකව පැවැත්වෙනවා.

සිනමා කර්මාන්තයක් ලෙස බලද්දි මෙය හොඳම ප්‍රවණතාවක්. මිනිස්සු එළිවුණු වේලේ ඉඳන් දවසේ වැඩකටයුතුත් එක්ක පොරබදලා, ඉස්පාසුවක් තිබුණොත් සවස් කාලයේ, රාත්‍රී කාලයේ නිවිහැනහිල්ලේ චිත්‍රපටයක් බලන්න සිනමාහලකට එනවා.

අපි සරෝජා හැදුවේ සිනමාහල්වලින් මිනිස්සු ඈත්ම වෙලා හිටපු කාලෙක. ‘ජංගි හොරා‘ එන්නේ මිනිස්සු කෝවිඩ් නිසා සිනමාහල්වලින් ඈත් වු කාලෙක. මෙය සිංහල සිනමාව නැවත ඉපදීමක් වැනියි. මේ සුබ ලකුණ පසුපසින් අනෙක් චිත්‍රපටවලටත් එන්න පුළුවන්.

අපේ සිනමාහල් පද්ධතිය දිගින් දිගටම ප්‍රේක්ෂක ආකර්ශණය රඳවා තබා ගැනීමට ප්‍රමාණවත්ද?

කෝවිඩ් සමඟින් සාමාන්‍ය මට්ටමේ තිබුණු සිනමාශාලාවල පහසුකම් පවා දැන් බිඳ වැටිලා. අපට හොඳ සිනමාහල් පද්ධතියක් අත්‍යවශ්‍යයි. ප්‍රේක්ෂකයන්ට දැනෙන චිත්‍රපට මොනතරම් එළි දැක්වුවත් පලක් වෙන්නේ නැහැ. කඩිනමින් කළ යුත්තේ ඒ දෙය.

Multiple Concept එකට අනුව ඇති සිනමාශාලා කිහිපයක් අපට තිබෙනවා. විනෝදවෙලා, කාලාබීලා එන්න සිනමාලෝලීන් කැමැතියි. මකුණෝ කන සිනමාහලකට ගිහින් චිත්‍රපට බලන්න ප්‍රේක්ෂකයෝ දැන් කීයටවත් එන්නේ නැහැ.