‘මේ සම්මානය මට ලැබුණේ මගේ යෙහෙළිය නිසා’

වැඩිම චරිත ගණනක නවකතාවක් ලියූ අපේ කාංචනා
පෙබරවාරි 28, 2022

 

ප්‍රශස්ත නවක දායකත්වය වෙනුවෙන් ‘ගු හා සටන‘ 2021 ගොඩගේ නවකතා සම්මානය දිනයි

 

මම දවසේ දවසක් දැක්කා අපේ ගෙදර රෙදි වැලේ දිමියෝ රංචුවක් පෝලිමේ කලබලෙන් එහෙට මෙහෙට යනවා.

අහසත් රතු පාටයි... තැඹිලි පාට වගේ.. ඉර බැහැගෙන යන වෙලාවක්. මම ඒ දර්ශනයේ පිංතූරයක් ගත්තේ පහළ angle එකකින්. ඒක long shot එකක්. ඒ පිංතූරේ පෙනුණේ දිමියන්ගේ මහ යුද්ධයක් මැද්දේ තුවාල වුණු දිමියෙක් උස්සාගෙන යනවා වගේ. ඒ ගෙනයන දිමියාගේ අඬුබඬු කැඩිලා. මට හිතුණේ මේක මහ යුද්ධයකින් තුවාල වුණු සෙබළෙක්ව තව සෙබළෙක් උස්සාගෙන යනවා වගේ අදහසක්. හවස මගේ යාළුවකුට මේ කතාව නිකමට කිව්වා.

එයාගේ නම හිමාලි. මම සම්පූර්ණ විස්තරේම යාළුවට කිව්වාම පස්සේ එයා කිව්වා යුද්ධයක් වෙනවා නම් නිකම් ඉන්න බෑනේ බං... ඕකට කතාවක් ලියන්න කියලා. මේක අපි අතර ඇතිවුණු පුංචි සංවාදයක්.“

“දවස් කිහිපයකට පස්සේ යාළුවා මගෙන් ඇහැව්වා ඔයා අර කතාව ලියනවා නේද කියලා. මට මේක හිතේ තිබුණේ නැහැ ලියන්න. ඒත් යාළුවා හැමදාම අහනවා... වද කරන නිසා මුලින්ම පොඩි කතාවක් ලියන්න පටන් ගත්තේ.“

කාංචනා අමිලානිගේ ‘ගුහා සටන‘ මයික්‍රො ලෙන්ස්ගත ක්ෂුද්‍ර යුද්ධය. නව කතාවට වස්තුබීජය බිහි වන්නේ එලෙසිනි. මෙලෙසින් ඇති වූ ‘ගුහා සටන‘ මෙවර ගොඩගේ සම්මානයෙන් පිදුම් ලබන්නේ වසරේ ප්‍රශස්ථ නවක නිර්මාණය වෙනුවෙනි.

කාංචනාගේ ලේඛන හැකියාව ගැන සටහනක් තබන්නට බොහෝ දේ තිබේ. එසේම ඇයගේ නිර්මාණශීලීත්වය තුළ දක්වන දක්ෂතා යොවුන් ලේඛක ලේඛිකාවන්ට පන්නරයක් පමණක් නොව ගුරුවරියක් තරමට පරිපූර්ණත්වයක් උසුලයි. ඒ නිසාම ඇය ලැබූ ජයග්‍රහණය අපේ පත්තර මහ ගෙදරට ද අභිමානයකි. මාධ්‍යවේදිනියක ලෙසින් නව තාක්ෂණය හා මුසුව ඇය ලේඛන කලාව තුළ දක්වන පෙළහර සමස්ථ ලේඛක පරපුරටම විශාල උද්දීපනයකි. කුඩා සිදුවීමක් තුළින් අලුත්ම නිර්මාණයක් කළ ඒ කතාවේ දිග හැරුම පෙළ ගැසුණු අයුරු ඇය තවත් හොඳින් විස්තර කළේ කතාවේ රසය තව තවත් අපට සමීප කරමිනි.

“මම යාළුවාගේ පෙරුත්තයට පළමුවැනි කෑල්ල ලිව්වා. එයා කිව්වා වැඩේ හොඳයි දිගටම ලියන්න කියලා. කෑලි පහක් විතර ලිව්වා. ලියලා අපි මොකක්ද කරන්නේ කියලා කල්පනා කළා. මුලින්ම ඒ කොටස් පහ Medium එකේ පළ කළා. ඒක blog එකට වඩා පහසුයි. එහි පළ කරන එක පහසුයි. පළමුවැනි කොටස ඒකේ දැම්මා. කතාවට නමක් තිබුණෙත් නැහැ. අපිත් Lockdown නිසා ගුහාගත වෙලා වගේ හිටිය නිසා කතාවට ‘ගුහා සටන‘ කියලා නම තිබ්බා. ඒක facebook එකේ, Twitter එකේ publish කළා. ටිකක් හිතුවාට වඩා නැගලා ගියා. වැඩේ සාර්ථකයි. යාළුවෝ අහන්න ගත්තා. මොකක්ද මේ අලුත් කතාවක්ද...? යුද්ධයක්ද. මොකක්ද දිගටම ලියන කතාවක්ද කියලා. හැබැයි ඒ වෙනකොට නිශ්චිත අදහසක් තිබුණේ නැහැ.

ඊට පස්සේ මට ලියන්නේ නැතිව ඉන්න බැරිව ගියා. යාළුවෝ අහනවා හෙට මොකද වෙන්නේ කියලා. මේ කතාව ලියන්න පටන් ගත්තේ 2020 අප්‍රේල් 15. මේ කතාව ලියලා ඉවර කළේ 2020 ජූලි 24. ඒ කියන්නේ මාස 3ක් මම දෛනිකව ලිව්වා. අන්තිම දවස් ටිකේ මට පත්තරේ වැඩට එන්න වුණා.

හවසට Train එකේ යන ගමන් තමයි ලියන්නේ. කොටස් 20ක් විතර එහෙම ලිව්වා. මේ කතාවේ මුලින්ම හිටියා චරිත 114ක්. ඔක්කොම දිමියෝ... මේකට මට උදව්වට කණ්ඩයාමක්ම හිටියා. යුද්ධය ගැන දැනගත්තේ පොත් කියවලා. හුඟක් යුද්ධය ගැන Film බැලුවා.

යුද්ධයේ කාලය ගැන අදහස මට වෙනස් කරන්න ඕනේ වුණා. යුද්ධය සර්වකාලිනයි. ඒ වගේම දේශපාලනිකයි. මේකට යොදාගත් චරිතවල විවිධ නම් තියෙන්නේ. මේ කතාවේ යුද්ධයේ කාල දෙකක් නිරූපණය වෙනවා. එක තලයක ගමක් තියෙනවා. ඒ ගමේ මිනිස්සු තමයි අතුරුදන් වෙන්නේ. ඒ අය වැටිලා තියෙන්නේ යුද්ධයට. මේක දිමියන්ගේ කතාවකට ගළපාගෙන තමයි කතාව ගලා ගෙන යන්නේ. මේක ගහක් උඩ වෙන සිදුවීමක්.

මේ කතාව ලිවීමට ඇයගේ නිදහස කංචනා මැනවින් භාවිත කර ඇත්තේ හරි අපූරුවටය. එහි භාෂාව සරලය. ඇයට අවශ්‍ය වූයේ තමුන්ගේ නිර්මාණාත්මක කතාව සරලව පාඨකයා වෙත සමීප කරන්නය.

එය ඉතාම සාර්ථක ලෙසින් මුල සිට අවසානය දක්වාම ගලාගෙන යන්නේ විස්මයාර්ථය, කුතුහලය, උත්ප්‍රාසය හා උපහාසය ද මුසුවය.

ඒ සඳහා ඇය නවීන තාක්ෂණය ද මැනවින් යොදා ගැනීම විශේෂත්වයකි. කංචනා මුලින්ම ලේක්හවුස් ආයතනයට එක්වන්නේ නිදහස් මාධ්‍යවේදිනයක ලෙසිනි. තොරතුරු තාක්ෂණය පිළිබඳ ගුරුවරියක ලෙසින් පුහුණුව ලබා ගුරු වෘත්තියට සමුදෙමින් ඇය ‘දිනමිණ‘ පුවත්පතේ විශේෂාංග කර්තෘ මණ්ඩලයට එක් වන්නේ පත්තර කලාවට ඇය දැක්වූ ආසාව නිසාමය. ‘පලස‘ විශේෂාංගය හරහා පරිසර ලිපි රාශියක් ඉතාම ආකර්ෂණීය හා නිර්මාණාත්මක ලෙසින් ඉදිරිපත් කළ ඇය තමුන්ටම අනන්‍ය වූ ලිවීමේ කලාව නිර්මාණය කර ගත්තේ වසර ගණනක් තුළ ලැබූ පරිචය තුළිනි.

ඇය මාධ්‍යවේදිනියක ලෙසින් ලැබූ පරිණතබව තනතුරුවලට කොටු වෙමින් නිදහස අහිමිකර ගැනීමට වඩා නිහතමානී ලෙසින් ජීවිතය විඳගත්තේ මහත් සතුටිනි. ‘ගම්මිරිස් කුරුල්ලා‘ කාංචනා ලියූ පළමු කෙටි කතා සංග්‍රහයයි. ‘ප්‍රේමයේ කාර්තු‘ හා ‘බූමරංගය ඔබේ ඇස් දෙක‘ ඇයගේ කාව්‍ය සංග්‍රහයන් දෙකයි. මේ නිර්මාණයන්ට පසුව ඇයගේ ‘ගුහා සටන‘ නව කතාවක් ලෙසින් මෙරව වඩාත් ජනප්‍රියව ඇත්තේ නව යොවුන් තරුණ පරපුර අතරය.

චරිත 114 වූ කතාවේ විශාල චරිත සංඛ්‍යාවක් පොතක් ලෙස පළකරන විට අඩු කිරීමට ඇයට සිදුවූයේ විශාල පරිශ්‍රමයකිනි. එහි ප්‍රතිඵල ලබමින් ‘ගුහා සටන‘ විශාල පොත් සංඛ්‍යාවක් මේ වන විටත් විකිණී හමාරය.

සයුර ප්‍රකාශන ආයතනයෙන් එළි දකින මෙහි ප්‍රකාශනය නිලන්ත ගමගේ විසින්ද භාෂා සංස්කරණයට ජගත් ප්‍රියදසුන් ද සහයෝග දක්වා තිබේ.

කාංචනා තම නිර්මාණ ඔස්සේ එළිදැක්වන්නේ තමුන්ගේ හදවත තුළ වූ සැබෑම හැඟුම් සමුදායකි. එය පාඨකයන් වැළඳ ගන්නේ කොයි ආකාරයෙන්ද යන්න ඇයට ගැටලුවක් නොවේ. ඒ නිසාම ඇයගේ නිදහස් ආරක ලිවීමේ කලාවෙන් සාර්ථක නිර්මාණයක් බිහිවීමය. ඇය ඒ බව අපට පැවසුවේ අනාගතයේදී මෙයට වඩා සාර්ථක නිර්මාණයක් ඇයගේ පන්හිඳෙන් එළිදකින බවට ඉඟියක් පළ කරමිනි.