මව්බිම වෙනුවෙන් අවි දැරූ රූ රැජන

මාර්තු 21, 2022

 

ජාත්‍යාලය, මව්බිමට ඇති ආදරය ගැන කතා කරන පිරිස් එමටය. එහෙත් රට වෙනුවෙන් තම ජීවිතය කැප කිරීම සුළු පටු නැත. අප ද යුද බිය පිරි රටක ජීවත් වූවන් ලෙස යුද්ධයක දී සිදුවිය හැකි හානි පිළිබඳ අත්දැකීම් ඇත්තවුන්ය.

නමුත් මේ කාලයේ දී ලොවේම අවධානය දිනා ගැනීමට සමත් වූ තැනැත්තියකි ඇනස්ටාසියා ලීනා.

ලීනා රූ රැජනකි. මේ වනවිට ඇය සිටින්නේ රුසියාවට එරෙහිව සටන් වදිමින් යුද බිමේය. රුසියාව හා යුක්‍රේනය අතර සිදුවන යුද්ධයේදී බලවත් රටක් වූ රුසියාවට මුහුණදීමට යුක්‍රේනයේ පවතින යුද බලය, පිරිස් බලය අවම විය. තමාගේ රට වෙනුවෙන් සිවිල් වැසියන් ද අවි අතට ගත්තේ කිසිදු හමුදා පුහුණුවකින් තොරවය. ඇනස්ටාසියා වැදගත් වන්නේ තම රුව නිසා ලෝකය දිනමින් සිටි කාන්තාවක ලෙස අවි අත දරමින් යුක්‍රේන හමුදාවට සහය දක්වමින් යුද බිමට ගිය නිසාය.

රූපයට හානි වන නිසා බොහෝ දුෂ්කර කටයුතුවලින් ඉවත් වි සිටින රූ රැජණන්ට පමණක් නොව, සාමාන්‍ය කාන්තාවන්ට ද ඇනස්ටාසියා ආදර්ශ සපයන්නීය.

2015 වසරේ දී යුක්‍රේන රූ රැජණ ලෙස කිරුළු පලන් ඇය එම වසරේ දීම ලෝක රූ රැජණ ඇතුළු රූ රැජණ තරගාවලි කිහිපයකටම යුක්‍රේනය නියෝජනය කරමින් ඉදිරිපත් වූවාය.

ඇනස්ටාසියා නවීන පන්යේ ගිනි අවියක් අතැතිව ගන්නා ලද ඡායාරූප කිහිපයක් ම තම ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පලකර තිබුණි. ඒ සමඟින් ඇය පවසා තිබුණේ තම රටේ දේශ සීමාවන් උල්ලංඝනය කරන සියලු දෙනා ආක්‍රමණිකයන් බවයි. එසේ ඇතුළුවන සියලු දෙනා මරා දැමීමට යුක්‍රේන ජාතිකයන් කටයුතු කරන බවද ඇය එහි සඳහන් කොට තිබිණි.

සියුමැලි බවින් හා සුන්දර පෙනුමින් යුතු මේ රූප රාජණිය ඉන් නොනැවතී තමා ලබාගත් ජනප්‍රියත්වය හා ජනතා ආකර්ෂණය යොදා ගනිමින් ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හා යුක්‍රේන ජනතාව දිරිමත් කිරීමේ කටයුත්ත ද මනාව ඉටු කරන්නීය.

ඇය කළමනාකරණ උපාධිධාරිනියක් වන අතර නිරූපිකාවක් හා මහජන සම්බන්ධතා නිලධාරිනියක් ලෙසින් ද තුර්කියේ දී කටයුතු කර ඇත.

අඩි 5 අඟල් අටක් උසැති මේ රුවැත්තිය තවමත් අවුරුදු 24ක තරුණියකි. ඇය වයස අවුරුදු 13 සිටම නිරූපිකාවක් ලෙස කටයුතු කර ඇති අතර භාෂා පරිවර්තිකාවක ලෙස ද වසර ගණනාවක පළපුරුද්දක් ඇත්තියකි.

ලාලිත්‍ය මුසු වූ ගමනින් වේදිකා මත ඇවිද ගිය ඇනස්ටාසියා ලීනා සමස්ථ කාන්තා පරපුරට පවසනුයේ අවස්ථාවට අනුව ජීවත් විය යුතු බව නොවේද? මින් මතු ඇය ගිනි ගත් දේශයක ඇවිද යන්නේ යුද ගිනිදැල්වලින් තම රට ගලවා ගැනීමේ අරමුණෙනි, ‘ඔවු අපි ශක්තිමත්‘ ඇය හඬ නගා පවසන්නේ යුක්‍රේන ජනතාව ගැනද? සමස්ථ කාන්තාවන් ගැනද?