මම බොරුවට මවාපාගෙන ජීවත් වෙන කෙනෙක් නෙවෙයි

රංගන ශිල්පිනී උදාරි පෙරේරා
මාර්තු 28, 2022

 

උදාරි පෙරේරා කිව්වම අද නොදන්න කෙනෙක් නැති තරම්. 'ප්‍රවේගය' සිනමා නිර්මාණයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් උදාරි කලා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන සුරූපී රංගන ශිල්පිනියක්. නිවේදන ශිල්පිනියක්. මෙවර තරුණී කවරය සැරසෙන්නේ ඇගේ රුවෙනි.

 

ඉතිං කොහොමද උදාරි?

"හොඳින් ඉන්නවා."

 

රංගනයට සම්බන්ධ වුණ සුළු නිර්මාණ කිහිපයකින් ඔබ රසික හදවත් දිනා ගන්න සමත් වෙනවා. එහෙම වෙන්න හේතුව කුමක්ද?

ප්‍රවේගය කියන්නේ ලංකා සිනමාවේ හැරවුම් ලක්ෂයක් වූ සිනමා පටයක්. එය මගේ පළමු රංගනය. ඒ වගේම එයට දැවැන්ත කලාකරුවන් පිරිසක් සහභාගී වුණා. තවමත් ප්‍රෙක්ෂයන් ප්‍රවේගයට කතාබහ කරනවා."රංගනයේ දී පමණක් නෙවෙයි මා එක්ක කතා කරන ඕනෙම කෙනකුට මාව මතක හිටින චරිතයක් වෙනවා. එයට හේතුව මනුසත්කමින් කතා කරන නිසා වෙන්න ඇති.

මම බොරුවට කෙනෙක් ඉස්සරහ මවාපාගෙන ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. බොරුවට කතා කරන කෙනෙකුත් නොවෙයි. මම බොහොම ආදරණීය කෙනෙක්. ඒ නිසාම ගොඩක් අය මට ආදරෙයි."

 

 

උදාරි මෙතෙක් පැමිණි සිනමා ගමනේ මං සලකුණු මොනවාද?

"මම සිනමා දිවිය ආරම්භ කළේ ප්‍රවේගය චිත්‍රපටයෙන්. ඊට පස්සේ යශෝදරා, නෙලා, සේයා, මිස් ජෙනිස්. යාත්‍රා වැනි චිත්‍රපටවලට දායක වුණා."

 

ඔබ නිර්මාණවලට සම්බන්ධ වීමේ අඩුවක් අපි දකිනවා. එයට හේතුව එයමද?

"එහෙම අඩුවක් නැහැ. කතා කරන ඒවට සම්බන්ධ වෙනවා. ඒ අතර මට නොගැළපෙන චරිත තිබුණොත් බාර ගන්නේ නැහැ."

නොගැළපෙන චරිත කියන්නේ මොනවගේ ඒවාද?

"මම බිරියක්. ඒ වගේම මවක්. ඒ විතරක් නෙවේ මට සහෝදරියක් ඉන්නවා. ඒ හැමෝටම මම ආදර්ශයක් විය යුතුයි. ඉතින් මම කැමැති නැහැ නිකම් කරන්නම් වාලේ නිර්මාණවල රඟපාලා ප්‍රතිරූපයට හානි කරගන්න. අනෙක මට එහෙම ජනප්‍රිය වීමේ ආශාවක් නැහැ."

රංගනය කියන තැනින් නොනැවතී ඔබ බොහෝ දේ සොයා යන්නියක් නේද?

"මම ගුවන් සේවිකාවක් විදිහට රැකියාවක් කරපු කෙනෙක්. ඊට පස්සේ අන්තර්ජාලය සම්බන්ධතා, දේශපාලනය යන විෂයයන් ඉගෙන ගත්තා. දැනට මනෝ විද්‍යාව පිළිබඳ උපාධිය හදාරණවා. මට පුතා ලැබෙන්න කලින් මම රූපලාවණ්‍යාගාරයකුත් පවත්වාගෙන ගියා. ඒ වගේම ආයුර්වේද රූපලාවණ්‍ය නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. පුතාගේ වැඩකටයුතුත් එක්ක ව්‍යාපාරය කරගෙන යන්න අපහසු වුවත් තවමත් මා එම ව්‍යාපාරයේ නියැළෙනවා"

 

ගුවන් සේවයෙන් ඉවත්වීම ගැන දුකක් නැතිද?

"අනේ නැහැ. අවුරුදු 06ක් විතර මම ගුවන් සේවිකාවක් විදිහට කටයුතු කළා. රටවල් ගණනාවකට මම ගිහින් තියෙනවා. ඒ ලබපු අත්දැකීම් මට අද වගේ මතකයි. දැන් ව්‍යාපාරයයි, රංගනයයි කරගෙන පුතා එක්ක සතුටින් ඉන්නවා."

 

ඔබ සම්මානලාභී රංගන ශිල්පිනියක්.

"සම්මානයක් හම්බවෙන්න කෙනෙක්ගේ දක්ෂතාව විතරක් නෙවෙයි, වාසනාවත් බලපානවා. මම ප්‍රවේගය චිත්‍රපටයේ රඟපාලා අවුරුද්දක්වත් ගියේ නැහැ මට ජනප්‍රියම නිළියගේ සම්මානය ලැබුණා. ඊට පසු සම්මානයක් ගන්න ලැබුණේ නැහැ. සම්මානයක් ගන්නෙ කියලා වැඩ කරන්නේත් නැහැ. සම්මානයක් ලැබෙනවා කියන එක හරි නිර්මාණාත්මකයි.

ඒ වගේම 2016 Mrs Univers කිරුළ දිනාගන්න ලැබුණා. මම හිතනවා හැමදෙයම වෙන්නේ තමන්ගේ දක්සතාවය සහ කැපවීම අනුවයි.

 

 

ඡායාරූප - ශාන් රූපස්සර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.