ජනප්‍රියත්වය රැක ගන්න බොරු අටෝප කරලා නැහැ

සශිකා නිසංසලා
අප්‍රේල් 11, 2022

 

 

නොකඩවා වසර හයක්ම Slim Nielsen Peoples Awards ජනප්‍රිය ගායිකාවට හිමි ජනතා සම්මානය දිනාගත් ඇය පසුගියදා හත්වැනි වරටත් එම සම්මානයෙන් පිදුම් ලැබුවා.

සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට විවිධාකාර ගායක, ගායිකාවෝ පිවිසෙති. ඇතැමුන් එන වේගයෙන්ම ක්ෂේත්‍රයෙන් බැස යන අතර තවත් පිරිසක් හැමදාමත් ජනප්‍රියත්වය එකලෙස තබා ගනිමින් කලාවේ නියැළෙති. එහෙත් ඕනෑම ක්ෂේත්‍රයක් තුළ නොකඩවා වසර ගණනාවක් තම ජනප්‍රියත්වය එකලෙස පවත්වාගෙන යාම නම් එතරම් පහසු දෙයක් නොවෙයි.

 

මේ කියන්න යන්නේ ජනතා ආදරය එක ලෙස ලබන එවන් ගායිකාවක් ගැනයි. ඇය සශිකා නිසංසලා. නම ඇසූ පමණින්ම ඇගේ ගීත ඔබේ මතකයට නැඟේවි. නොකඩවා වසර හයක්ම Slim Nielsen Peoples Awards ජනප්‍රිය ගායිකාවට හිමි ජනතා සම්මානය දිනාගත් ඇය පසුගියදා හත්වැනි වරටත් එම සම්මානයෙන් පිදුම් ලැබුවා. මේ ඇය සමඟින් කළ සොඳුරු කතා බහයි.

 

හත්වැනි වරටත් ඔබ ජනතාවගේ ගායිකාව වුණා.

ඇත්තටම ඒ ගැන කියන්න වචන නැහැ. ඒ තරම් සතුටුයි. ජනප්‍රිය ගායිකාවට හිමිවන Peoples Award ලබපු මේ හත්වැනි අවස්ථාවයි. 2016 වසරේ සිට නොකඩවා එම සම්මානය මා හට ලැබීමෙන් ජනතාවගේ ආදරය ගැන හොඳින් පැහැදිලි වෙනවා. මොකද මේ සම්මානය ලැබෙන්නේ සමීක්ෂණයක් කරලනේ. රසිකයන්ගේ ඇත්තම ආදරයට තමයි මේ සම්මානය ලැබෙන්නේ. ඒ වගේම මෙම සම්මාන උලෙළට ප්‍රථම වරට හඳුන්වාදුන් තාරුණ්‍යයේ ගායිකාවට හිමි සම්මානය ද මට හිමි වුණා. මේ වෙනකොට සම්මාන 22ක් පමණ මට ලැබිලා තියෙනවා. මේ තැනට එන්න ලොකු පිරිසක් මට උදව් කළා. මගේ රසිකයන්, සංගීතය පැත්තෙන් බොහෝ දෙනා ගුරුවරියන්, මාධ්‍ය ආයතනවලින්, මගේ පවුලේ අය මේ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා.

 

ලංකාවේ බොහෝ දෙනා සශිකාට මෙතරම් ආදරය කරන්නේ ඇයි?

ඒකට හේතු කිහිපයක්ම තියෙන්න පුළුවන්. මම මේ දක්වා කරපු නිර්මාණවලට වයස් භේදයකින් තොරව හැමෝම ආදරය කරනවා. ඒ වගේම ගොඩක් අය මගේ හඬට ආදරය කරනවා.

මම ඉන්න විදිහට, අඳින පළඳින විදිහටත් බොහෝ අය කැමැතියි. රසිකයන්ව මඟ තොටේදි හමු වුණත් මම සුහදව කතා බහ කරන කෙනෙක්. මම ජනප්‍රියත්වය රැක ගන්න බොරු ආටෝප කරලා නැහැ. සරලව සාමාන්‍ය විදිහට ජීවිතය ගෙවීමත්, ඔවුන්ගේ ආදරය ලැබීමට හේතුවක් වෙන්න ඇති.

 

රියැලිටි වැඩසටහන්වල විනිසුරුවරියක් විදිහටත් ඔබ කාර්යබහුලව හිටියා.

මම රියැලිටි වැඩසටහන් ගණනාවකම විනිසුරුවරියක් විදිහට හිටියා. මුලින්ම ඩ්‍රීම් ස්ටාර්වල හිටියා. ඊට පස්සේ 60 ප්ලස්වලත් හිටියා. ලිට්ල් ස්ටාර් සහ The Voice වගේ වැඩසටහන්වලත් හිටියා. මම හිතනවා ඒවට සම්බන්ධ වීමෙන්, මම ඉගෙනගත් දෙයින් ප්‍රයෝජනයක් ගන්න හැකිවුණා කියලා. මම කැලණිය විශ්ව විද්‍යාලයේ සංගීතය පිළිබඳ විශේෂවේදී උපාධියක් කරපු කෙනෙක්. මම මාස්ටර් එක විදිහට කළේ නාට්‍ය හා රංග කලාව. මගේ පාසල සහ විශ්ව විද්‍යාලයෙන් ලබාගත් දැනුම නවකයන්ට මේ හරහා ලබා දෙන්න ලොකු උත්සාහයක් ගත්තා. ඒ උත්සාහය සාර්ථකයි කියා හිතනවා.

 

ඉතාම කුඩා අවධියේදී ඔබ සංගීත කණ්ඩායමක ගීත ගයනවා?

මගේ ගම දැරණියගල. පුංචි කාලේ ජීවත් වුණේ එහේ. ඒක හරිම සුන්දර පළාතක්. මගේ තාත්තගේ පරම්පරාවෙන් තමයි සංගීතය පැවත එන්නේ. ඒත් ඒ කාලේ හැටියට ඉදිරියට එන්න තත්ත්වයක් තිබණේ නැහැ. තාත්තගේ සහෝදරයෝ, ගමේ යාළුවෝ එකතු වෙලා කරපු සංගීත කණ්ඩායමක් තිබුණා. චූටි කාලේ මමත් ඒකේ සින්දු කිව්වා. තාත්තා තමයි සිංදු කියලා දුන්නේ. අපේ ගෙදර පොඩි ඕගන් එකක් තිබුණා. ඒ කුඩා ඕගනය මගේ සංගීත හැකියාවට පණ පෙව්වා.

 

ජීවත් වූ සුන්දර ගම අතහැරලා නගරයට එද්දී දුක හිතුණේ නැතිද?

මට ගායන හැකියාව පිහිටලා තියෙනවා කියලා තාත්තාට දැනුණට පස්සේ තමයි හැමදේම වෙනස් වුණේ.

අපේ ගම ගොඩක් පිටිසරයි. අපිට කරන්ට් එක තිබුණේ නැහැ. ඒත් ඒක හේතුවක් කරගත්තේ නැහැ. තාත්තා මට රේඩියෝ එකේ සින්දු අහන්න ඉඩ හදලා දුන්නා. ගමේ පහසුකම් අඩු වුවත් මගේ හැකියාව දියුණු කරගන්න තාත්තා හැමදේම කළා.

 

ඔබ ඉතා කුඩා අවධියේ රාගධාරි සංගීතය හදාරන්න යොමු වෙනවා...

9 - 10 වසර ඉගෙන ගනිද්දී සංගීත විශාරද විභාගය සමත්වෙලා හිටියේ. මගේ ගෙදරට අල්ලපු වැටේ තමයි අවිස්සාවේල්ලේ පන්සිළු කලායතනය තිබුණේ. ඉතින් මට වෙන අයට වඩා පහසුවෙන් සංගීතය ඉගෙන ගන්න හැකි වුණා. විශාරද ආනන්ද රාජපක්ෂ ගුරුතුමා තමයි මට ඉන්දියානු රාගධාරි සංගීතය උගන්වපු මුල් ගුරුතුමා.

 

උසස් පෙළ විභාගය අත ළඟ තියාගෙනයි ඔබ 'තුරුණු ශක්ති' ආධුනික ගීත තරගයට ඉදිරිපත් වෙන්නේ?

ඒ 1999 වසරේ මම උසස් පෙළ විභාගයට සූදානමින් සිටියේ. ඇත්තටම ඒක මට විශාල අභියෝගයක් වුණා. මොකද තාත්තා මගෙන් ඉල්ලීමක් කරලා තිබුණා කොහොම හරි පළමු වතාවෙම විශ්වවිද්‍යාලයට යන්න ඕනෙ කියලා. සංගීත ක්ෂේත්‍රයේ ඉදිරි ගමනක් යන්න නම් උසස් අධ්‍යාපනය පැත්තෙන් බැලන්ස් කරගෙන යන්න ඕනෙ කියන එක තාත්තා කිව්වා.

ඒක මගේ හිතේ තදින් වැඩ කළා. අපේ පවුලේ ආර්ථික පසුබිම යහපත් තත්ත්වයක තිබුණේ නැහැ. තාත්තා රජයේ සේවකයෙක් විදිහට ගෙදරදොර වියදම්, මල්ලිගේ, මගේ අධ්‍යාපන වියදම්, ඒ සියල්ල කරගත්තේ ඉතා අපහසුවෙන්. අම්මාගේ, තාත්තාගේ හිත්වල ශක්තියෙන් ඒ දේවල් කෙරුණා කියලයි මට හිතෙන්නේ.

උසස් පෙළ හදාරන විටත් මම සංගීත විශාරද විභාගය සමත්වෙලා තිබුණ නිසා උසස් පෙළ අධ්‍යයන වැඩවලට ඒක ලොකු පහසුවක් වුණා. ඒ වෙද්දි අනුලා විද්‍යාලයේ සංගීත විෂය භාරව සිටියේ දීපිකා ප්‍රියදර්ශනී මිස්. උසස් පෙළ හොඳ ප්‍රතිඵල ගන්න ඇය උදව් කළා.

මම තුරුණු ශක්ති ජයග්‍රහණය කරනවාත් එක්කම කැසට්වලට, ප්‍රසංගවලට ආරාධනා එන්න ගත්තා. මම ඒ සියල්ල පසෙකින් තැබුවා.

උපරිම ශක්තිය අරන් ඉතාමත් කෙටි කාලයක් අරන් පාඩම් වැඩ අතපසු නොකරම උසස් පෙළ කඩඉම ජයගත්තා. පළමු වතාවෙම A සාමාර්ථ තුනක් අරන් කැලණිය විශ්ව විද්‍යාලයට පිවිසුණා.

 

සාර්ථක ගමනක් යද්දි කට්ටක් කන්නම වෙනවා නේද? ඒ කට්ට අද ඔබට දැනෙන්නේ කොහොමද?

මම ක්ෂේත්‍රයට එද්දි විශාල දුක්කම්කටොළුවලට මුහුණ දුන්නා. ආසාවට සින්දු කියන්න ගිහින් මමයි තාත්තයි බස් හෝල්ට්වල නිදි මරලා තියෙනවා. වැස්සේ තෙමි තෙමී බයිසිකලේ ගිහින් තියෙනවා ෂෝවල සින්දු කියන්න. ආමරුවෙන් තැනකට ආවම ඒකේ අගය වැඩියි. මහන්සිවෙලා තමන්ගේ ගමන හදාගන්න කැපවුණොත් ඕනෑම ක්ෂේත්‍රයක සාර්ථක වෙන්න පුළුවන්.

 

බොහෝ කාන්තාවන් විවාහ වුණාට පස්සේ තමන්ගේ රූපය ගැන දක්වන සැලකිල්ල අඩු කරනවා. නමුත් ඔබ අදත් එදා වගේමයි. මොකක්ද රහස?

ඒක මගෙන් බොහෝ දෙනා අහන ප්‍රශ්නයක්. රූපය වෙනුවෙන් මම ලොකු කැපකිරීමක් කරන්නේ නැහැ. ඒක මගෙ ලැබීමක් වෙන්න ඇති. මට සිහින් සිරුරක් තියෙන්නේ. ගොඩක් කාන්තාවන් විවාහ වුණාම මහත් වෙනවා. ඒක ස්වභාවධර්මයෙන් මට ලැබුණු වාසනාවක් වෙන්න ඇති. මම ලොකුවට කෑම පාලනය කරන කෙනෙක් නෙවෙයි. ශරීරයට අවශ්‍ය පමණට ආහාර ලබා ගන්නවා. මම හිතනවා තමන්ගේ වයස ගැන හිතන්නේ නැතුව හිතේ සැහැල්ලුවෙන් සතුටින් හිරියොත් ලස්සනට ඉන්න පුළුවන් කියලා. මගේ ජීවිතය සමබරයි.

 

ඔබ සංගීත ජීවිතයේ බොහොම කාර්යබහුල වුණත්. පවුල මඟහැර ගත්න කෙනෙක් නෙමෙයි නේද?

පසුගිය වසර දෙක තුළ ලොකු කාර්යයබහුලත්වයක් තිබුණේ නැහැ. කෝවිඩ් තත්ත්වයත් එක්ක හැමෝටම නිවෙස්වලට වෙලාම ඉන්න වුණු කාලයක්නේ ඒක. නමුත් දැන් පෙර පරිදිම ප්‍රසංග පවත්වන්න අවස්ථාව ලැබිලා තියෙනවා. රෙකෝඩිං, රූපවාහිනී වැඩසටහන් සහ ප්‍රසංගයන් එක්ක තරමක් කාර්යබහුල වෙන්න සිදුවෙනවා. මම දරුවෝ දෙන්නෙක්ගේ මවක්. මට ගායිකාවක් විදිහට සැහැල්ලුවෙන් මගේ වැඩ කරගන්න මව්පියන් වගේම මගේ ආදරණීය සැමියාගෙන් ලොකු සහයක් ලැබෙනවා. ඔහු මං වෙනුවෙන් බොහෝ දේවල් කැප කළා. මම අද සාර්ථක වෙලා ඉන්නවා නම් ඒ මගේ පවුල නිසා. මට පවුල ගොඩක් වටිනවා. මගේ දරුවෝ වුණත් මගේ කාර්යබහුලත්වය තේරුම් අරන් සිටීම මට ගොඩක් වටිනවා. නමුත් ඉඩ ලැබෙන සෑම මොහොතකම මවක්, බිරියක් ලෙස මගේ වගකීම් ඉටුකරන්න උත්සාහ ගන්නවා.

 

සංගීත ක්ෂේත්‍රය පැත්තෙන් ඉදිරි වැඩකටයුතු මොනවාද?

චන්ද්‍රා පායන්න ගීතය කරලා අවුරුද්දකටත් ළඟයි. තවමත් ඒ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේ වෙනස් ගීතයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඉතිං මේ දවස්වලට ඒ වෙනුවෙන් සූදානම් වෙනවා. දැනට මම නිර්මාණ 350ක් පමණ කර තිබෙනවා. ඒ සෑම ගීතයකටම රසිකයන්ගේ ආදරය නොමඳව ලැබී තිබෙනවා.