සත්‍ය අත්දැකීම් ඇසුරෙන් අනුල ද සිල්වා ලියූ කොරෝනා වාට්ටුව

මීට බොහෝ කලකට පෙර මාව සුනාමියට හසුවුණා
අප්‍රේල් 25, 2022

 

ඒ තුන්වැනි කොරෝනා රැල්ල ශීඝ්‍රයන් පැතිර ගිය කාල වකවානුවයි. දිනය මතක නැත. එදින වේලාසනින් නින්දට ගියෙමි. දුරකථන ඇමතුම් කිහිපයක්ම පැමිණ තිබූ බව දුටුවේ පසුදා උදයේය. ඒ අතර තිබූ එක් අංකයකින් දෙතුන් වරක්ම ඇමතුම් ගෙන තිබුණි. ඇමතුම ගෙන තිබුණේ නැසීගිය මාධ්‍යවේදී චන්ද්‍රසිරි දොඩංගොඩ මහතාගේ බිරිය වන සුනිලා විජේසිංහ ය.

 

ඇමතුම දුටු හැටියේම ඇයට පෙරලා ඇමතුමක් ගත්තෙමි.

“අනුලක්කා අසනීප වෙලා. අනුලක්කාට කොරෝනා වයිරසය බෝවෙලා. එයාව යවන්න තැනක් හොයනවා... පව් අනුලක්කා.... “ සුනිලක්කාගෙ දුක්බර හඬ හිතට ගෙන ආවේ දුකකි. එතැන් සිට අපි එහෙට මෙහෙට කතා කළෙමු. එහෙත් හැම රෝහලකම තිබුණේ තදබදයකි. එදින රාත්‍රියේ අනුල මිස්ගෙ පුතා වු තරින්ද ඇමතුවෙමු.

“ අම්මා අසනීපයි ... මමත් රෝහලක් හොයනවා අම්මා යවන්න... දැන් මම අම්මා ළඟට ගිහින් ආවේ... අම්මා ඉන්නේ මගෙ ගෙදර. එයා කන්නෙත් නැහැ... ඔහුගේ හඬ ඇසුණේ බිඳීගිය ස්වරයකිනි.“

තරින්දගේ කතාවත් සමඟ සිතට උපන්නේ අනිසි බියකි.

අනුල ඇය කවුද ?

ඔබ දැන් සිතනවා ඇති එහෙම. ඇය පත්තර මහගෙදර එනම් ලේක්හවුසියේ මිහිර ළමා පුවත්පතේ කර්තෘ පදවිය මෙන්ම තරුණී පුවත්පතේ ද කර්තෘ පදවිය ද දැරු ජ්‍යෙෂ්ඨ පුවත්පත්කලාවේදීනි අනුල ද සිල්වාය. පුවත්පත් රැකියාවෙන් විශ්‍රාම ගිය ද ඇය කිසි විටෙකත් ලේඛනයෙන් විශ්‍රාම නොගත්තාය. අසුහැවිරිදි වියේ පසුවන ඇයටෙ රටේ වැඩියෙන්ම කොරෝනා රෝගීන් වැඩි වූ අවධියක කොහෙන් හෝ වයිරසය ශරීර ගතවී රෝගී වුවාය. මේ සිද්ධිය සිදු වී දැන් මාස කිහිපයක් ගතවී ඇත. දැන් ඇය ඉතාම නීරෝගී තත්ත්වයෙන් පසු වීම සතුටකි.

“ මට කොරෝනා වයිරසය වැලඳුණේ බොහෝම නරක කාලෙක. ඒ කියන්නේ එය රටේ බොහෝම නරක විදිහට පැතිරි ගිය කාලයක. ඒ දවස්වල එක දවසක් තුළ රෝගීන් පන්දහස් ගණනක් වාර්තා වූ යුගයක්. මම රෝගී වුණේ අගෝස්තු මාසේ මුල්ම සතියේ. ඒ කියන්නේ අගෝස්තු පළමුවැනිදා වගේ. ඒ දිනවල මම හිටියේ පුතාගෙ නිවෙසේ. ඇත්තම කිව්වොත් රෝගය මොකක්ද කියලා මුලින්ම වැටහුණේ නැ. මට ප්‍රෙෂර් වැඩි වුණා. පුතා මාව බෙහෙත් ගන්න එක්ක ගෙන ගියා. මගේ පිට කොන්ද පැත්ත හොඳටම රිඳුණා. කොහොම හරි PCR පරීක්ෂණයක් කළා. එවිට තමයි දැන ගත්තේ මට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව. පුතා එතැන් සිට මාව යවන්න රෝහලක් හෙව්වා. ඇතැම් තැන්වල වයස අවුරුදු හැටට වැඩි අය නතර කරගන්නේ නැහැ කියලා. නමුත් ඒ වන විට මට කල්පනාව නැහැ. ඔය කිසිම දෙයක් මට මතක නැහැ. පුතාගේ යාළු PHI මහත්තයෙක් ඉන්නවා ළහිරු කියලා. ඔහු තමයි අවසානයේ් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නතර වෙන්න අවස්ථාව හදලා දුන්නේ මට මතකයි පුතා ඇවිත් මට කියනවා “අම්මා පීසීආර් එක පොසිට්ව් “ කියලා. මට ඒක ඇහුණෙත් නැහැ වගේ. පුතා ඇඳුම් බෑග් හදලා “අම්මා ඔයා රෝහලට යන්න ඕ‍ෙන“ කියලා කිව්වා. වෙලාවක් මතක නැහැ ඇම්බියුලන්ස් එකක් ආවා. ලේලි ගේට්ටුව ඇරලා තිබුණා. මම ඇම්බියුලන්ස් එකට නැගලා වාඩි වුණා. මාව රෝහලින් බැස්සුවා. මම මීටර් සියයක් විතර යන්න ඇති. මට සිහිකල්පනාව ආවා. මට ඇඳක් ලැබුණා. මම ඇඳේ වාඩි වුණා. දවස් ගාණක් එතැන හිටියා. උදේට දවල්ට රෑට කෑම ලැබුණා. බිත්තරයක් මාළු කෑල්ලක් සමඟ හොඳ කෑම වේලක්. එත් මට කන්න බැහැ. මෙලෝ රහක් නෑ. අනික මම මාළු කන්නෙත් නැහැ බිත්තර කන්නෙත් නැහැ. රෝහල පාළුවට ගිහිල්ලා. දොස්තර කෙනෙක් පේන මානෙක නැහැ. මම මගේ වෛද්‍ය වාර්තා සටහන් පොතත් අරගෙන යනවා. නර්ස්ලා පමණයි ඉන්නේ. හවසට කොත්තමල්ලි බොන්න දෙනවා. බත් කටවල් දෙකකට වඩා කන්න බැහැ. මට මහා අසරණකමක් දැනුණා. මට ඇඬුණා. රෝහලේ ගෙවුණ හැම මොහොතකම මට ඇඬුණා. මම පුතාට කතා කර කිව්වා මාව මෙතැනින් වෙන කොහෙට හරි ගෙනි යන්න කියලා. ජීවිතේ පාළුව අසරණකම තදින්ම දැනුණ කාලයක් ඒක. එක හෙදියක් පමණක් මගෙන් ඇහුවා පොත් ලියනවා නේද කියලා. එච්චරයි. මම මා ගැන කියන්න ගියේ නෑ. රෝගින් මා අඳුන ගත්තෙත් නැහැ. කාලය ගෙවෙනවා. අවසානයේ මං තීරණය කළා ‘වෙජිටේරියන් ‘ බල්ලට දාලා බිත්තරයයි මාළුයි කනවා කියලා. අප්පිරියාවෙන් බිත්තරයයි මාළු කැල්ලයි කෑවා. දවස් දහයක් ගිය තැන දි ටිකට් කැපුවා. උදේ දහයට රෝහලින් ආව මම ගෙදර ආවේ දවල් දොළහත් පහුවෙලා. පුතා ගේ අස්කරලා මගෙ රෙදි හෝදලා දීලා මට කන්නත් දීලා ගියා. ආයෙත් එයා පහුවදා ආවා.“

ඇය සිය කතාව පවසන්නේ බිඳුණු හඬිනි.

‘‘මට හිතෙනවා මෙහෙම. මට අනිත්‍ය අවබෝධ වුණා කියලා. මීට බොහෝ කලකට පෙර මාව සුනාමියට හසුවුණා. ගෙදර යට වුණා. ඉන් පසුව මම කොරෝනා වයිරසයට ගොදුරු වුණා. මම මගේ ජීවිතේ ගැන හිතුවා. සතියක් යන තුරු පුදුම වෙහෙසකාරි බවක් තිබුණේ. අසල් වැසියන්ටත් කොරෝනා හැදිලා. මිනිස්සු බලන්නේ නැහැ අහක බලාගෙන යනවා. කාලය ගෙවිලා ගියා. මාසක් ගියාට පස්සේ මම එන්නත ගත්තා. මං තවමත් මැරෙන්නේ නැතිව ඉන්නවා. මේ ඉන්න කාලේ මට හිතුණා දෙයියනේ කොරෝනා වාට්ටුව ගැන ලියන්න ඕ‍ෙන කියලා. මම උදේට නැගිටලා ලිව්වා... හැමදාම ලිව්වා... ගුණසේන සමාගම ඒ පොත මුද්‍රණය කරලා පසුගියදාක එය එළිදැක්වූවා. කොරෝනා වාට්ටුවේ හැම දෙයක්ම කළේ රෝගීන්. රෝද පුටු තල්ලු කරන්නේ, තමන් අසල ඉන්න කෙනාට උපස්ථාන කරන්නේ ඒ ඔක්කෝම කරන්නේ රෝගීන්. මම එතැනදි පත්තරකාරියක් වත්, ලේඛිකාවක් වත් නොවෙයි. මමත් කොරෝනා රෝගීයෙක්. මං මා ගැන කිව්වෙත් නැහැ. කවුරුවත් මාව අඳුන ගත්තෙත් නැහැ. මමත් තවත් කොරෝනා රෝගියෙක් පමණයි එතැනදි.

 

අවසානයේ මට තේරුම් ගියේ මෙපමණයි. හැමදාම පන්සල් ගියත්, බණ ඇහුවත් තේරුම් නොගත්ත සත්‍යයක් ඒ කාලේ මම තේරුම් ගත්තා. මට දැන් අවුරුදු අසූවයි. මගෙ පුතා මා වෙනුවෙන් අනුරාධපුර ජයසිරි මහ බෝධියට භාර වෙලා තිබුණා. මම මෙතෙක් නොකියූ කතාවක් තියෙනවා. මගේ මවත් මා උපදින්න පෙර ජයසිරි මා බෝධීයට භාර වී තියෙනවා. මගෙ පුතා තරින්දගේ පැතුම ඉටුවුණා. මගේ ලේළිය හැමදාම මට මගේම දියණියක්. මගෙ දියණිය පදිංචිව සිටින්නේ විදේශයක. ඇය හැමදාම පුතාට සහ ලේළියට කතා කර මගේ තොරතුර විමසා තිබුණා. මේ හැමගේම ආශීර්වාද, මගේ මිතුරියන් සුනිලා විජේසිංහ ඇතුළු සියලු දෙනා මා වෙනුවෙන් සෙත් පතා තිබුණා. ආශිර්වාද කර තිබුණා. ඒ වගේම මුහුණු පොතේ සිය ගණනක් මට සෙත් පතා තිබුණා. මම මේ හැමෝටම ආදරයි.

අනුල ද සිල්වා ලේඛිකාව පවසන්නේ බොහෝ ආදරණීයවය.

 

කොරෝනා රෝගියකු ලෙස සත්‍ය අත්දැකීම් ඇසුරෙන් ඇය ලියා ඇති කෙරෝනා වාට්ටුව පොත කියවා බලන්නැයි මම ඔබටත් ආරාධනා කරමි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.