සිරියාවතීගේ චරිතයට උපරිම සාධාරණයක් කළා කියා තෘප්තියක් දැනෙනවා

රයිගම් සම්මාන දිනූ 2021 වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය චම්පා ශ්‍රියානි
අප්‍රේල් 25, 2022

 

මෙවර රයිගම් ටෙලි සම්මාන උලෙ‍ෙළ් '2021 වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය' ලෙසින් සම්මානයට පාත්‍ර වන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ චම්පා ශ්‍රියානියි.

 

'හිරුට මුවාවෙන්'හි ප්‍රීතිමාලි, 'ගංගා හා නිශ්ශංක' හි ගංගා, 'බැද්දෙ ගෙදර' යසවතී සේම 'වනවදුලෙහි වසන්තය'හි මැණිකා ලෙසින් පුංචි තිරය ඔස්සේ වරින් වර ඇය අපේ ආලින්දයට ගොඩ වැදුණාය.

තවත් විටෙක වසර ගණනාවක් ඇය අප ඇස නොගැටී සිටින්නීය. එහෙත් වසර කිහිපයකට පසුව හෝ යළි රංගනයේ නියැළෙන්නේ ප්‍රේක්ෂක සිත්සතන් මත නොමැකෙන මතක සටහන් තබමිනි.‍

පසුගිය වසරේ 'සකර්ම' හි සිරියාවතී ලෙසින් අපට හමුවුණු ඕ ඒ වෙනුවෙන් වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය බවටද පත් වූවාය. තම දරු පවුල වෙනුවෙන් අප්‍රමාණව වෙහෙසෙන, පීඩාවට පත්වන ආදරණීය මවකගේ භූමිකාවට පණ පෙවූ නිසාම මේ දිනවල නොමඳ ගෞරවාදරයට පාත්‍ර ඇය තරුණී අප සමඟ සුහද පිළිසඳරකට මෙලෙස එක්වූවාය.

 

2021 වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය ඔබයි. ඒ පිළිබඳ මොනවද හිතෙන්නේ?

"ඇත්තටම පුදුමාකාර සතුටක් දැනෙනවා. මේ සම්මානය වාගේම ප්‍රේක්ෂකයෝ දක්වන ප්‍රතිචාර පිළිබඳ අප්‍රමාණව සතුටුයි. 'සකර්ම' කියන්නෙ මම උපරිමයෙන් කළ ටෙලිනාට්‍යයක්. සිරියාවතීගේ චරිතයට මම උපරිම සාධාරණයක් කළා කියලා හිතනවා. ඒ නිසා වෙන්නැති මේ චරිතය බොහෝ ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැලඳගත්තෙ."

 

සකර්ම නිර්මාණයේ කටයුතු කරද්දී හිතුවාද මේ වාගේ ප්‍රතිචාර ලැබේවි කියලා.

"මෙහෙමයි කලාකරුවෙක් විදිහට තමන් කොයිතරම් හොඳට නිර්මාණයක යෙදුණත් නැවත එය නරඹද්දි හිතෙනවා 'මීට වඩා ටිකක් හොඳට ඒක කරන්න තිබුණා' වාගේ හැඟීමක්. නමුත් මට සිරියාවතී ගැන එහෙම හිතුණේ නෑ. මම උපරිමය කළා කියලා තෘප්තියක් තමයි දැනුණේ. ඒ වාගේම මේ සම්මානය කරා මාව ඔසවා තැබුවේ මේ නිර්මාණයේ අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායම. ඔවුන්ගේ නිවැරැදි මෙහෙයවීම හරහා තමයි මෙය හිමිවුණේ. ඒ ගෞරවය අධ්‍යක්ෂකවරයා වෙත ලබා දිය යුතුමයි. අපි හැමෝම ඉතාම වගකීමෙන්, කැපවීමෙන් කටයුතු කළ නිසා හොඳ ප්‍රතිචාර ලැබේවි කියලා හිතුවා."

ඔබ මේ විදිහට සම්මානයට පාත්‍ර වුණේ වසර ගණනාවකට පසුවයි. ඒ වගේම ඔබ රංගන කාර්යයේ නියුතු වුණෙත් වසර කිහිපයකට පස්සෙයි.

"චම්පා ශ්‍රියානි කියන්නෙ කාලෙන් කාලයට ලොකු බ්‍රේක් එකක් තියන නිළියක්. ඇත්තටම කිව්වොත් මගේ ජිවිතේ දරුවෝ, පවුල වෙනුවෙන් වෙන් කරන කාලය තමයි වැදගත්. ඒ අතරතුරේ ලැබෙන කාලවේලාව සහ අනෙකුත් කරුණු කාරණා බලලා තමයි නිර්මාණයකට දායකත්වය ලබාදෙන්නෙ. ඉතින් ඒ නිසා වසර ගණනාවක් කිසිම ටෙලිනාට්‍යයකට දායකත්වය ලබා නොදුන් අවස්ථා තියෙනවා.

මගේ පළමු සම්මානය බැද්දෙගෙදර යසවතීට ලැබන්නෙ හොඳම සහාය නිළිය වෙනුවෙන්. ඒ 1995 වසරේදී. ඊට පසුව අඹු දරුවෝ, කටු ඉඹුල, උතුවන්කන්දේ සරදියෙල් වාගේ ටෙලිනාට්‍ය වෙනුවෙන් හොඳම නිළියට නිර්දේශ වුණා. ඒ විදිහට අවස්ථා 08කදී නිර්දේශ වෙලා මේ 09 වැනි වතාවට හොඳම නිළිය සම්මානය ලැබුණා."

ඔබ සම්මානයට පාත්‍ර වීම පිළිබඳත් සිතන්නෙ තරමක් වෙනස් ආකාරයටයි.

"ඇත්තටම ඔව්. මම සම්මාන දිහා බලන විදිහක් තියෙනවා. මොකද සම්මානයක් කියන දෙය දෝත දරාගන්න හැකියාව වගේම වාසනාවත් තියෙන්න ඕනේ කියලයි මම විශ්වාස කරන්නෙ. වසර පුරාම විකාශනය වන හොඳම ටෙලි නාට්‍යවලින් තමයි හොඳම කෙනා තෝරන්නෙ. ඉතින් ඒ නිර්දේශ අතරට එකතු වීමත් හරිම වැදගත්."

චම්පා ශ්‍රියානි කියන රංගන ශිල්පිනිය ජනප්‍රිය වුණේ හිරුට මුවාවෙන් ටෙලිනාට්‍යයෙන්. හැබැයි ඒ ඔබේ පළමු රංගනය නෙවෙයි.

"මම මුලින්ම කැමරාවක් ඉදිරිපිට රංගනයේ යෙදුණේ තිමති වීරරත්න මහත්තයා කරපු ඒකාංගික නාට්‍යයක. 'කඳුළක හසරැලි' කියන මේ නාට්‍යයේ රූපගත කිරීම් තිබුණේ අපේ පාසලේ. උසස් පෙළ විද්‍යා පන්තිවල හිටපු සිසුවියක් විදිහට මාත් ඒකට දායක වුණා. ඊට අමතරව තව දර්ශන කිහිපයකට මට සහභාගි වෙන්නත් ලැබුණා. සංගීතාගේ අම්මා දවසක් එයාලාගේ ගෙදර රූපගතකිරීමකදි මගේ රඟපෑම් බලාගෙන ඉඳලා 'මෙයා නම් මේ ක්ෂේත්‍රයේ තව දුර යාවි' කියපු හැටි මට තාම මතකයි.

මම රංගනයෙන් දායක වුණු පළමු ප්‍රාසංගික නාට්‍ය වුණේ 'හිමි අහිමි' ටෙලි නාට්‍ය. ඊට පස්සේ ගංගා සහ නිශ්ශංක කරන කාලේ එහි රූපගත කිරීම් බලන්න ආව හර්බට් රංජිත් මහතා මාව ඔහුගේ හිරුට මුවාවෙන් ටෙලි නාට්‍යයට තෝරා ගත්තා. ඒ ඉඳිආප්ප ගෙදර ප්‍රීතිමාලිගේ චරිතය තමයි වැඩිදෙනකු මාව දන්න හඳුනන චරිතය වුණේ."

හැබැයි මේ විදිහට රඟපාන්න යන්න තාත්තාගෙන් අවසර ලබාගන්න එක පහසු වුණේ නෑ.

"අපොයි ඔව්. ඒකට ලොකු සටනක් කරන්න වුණා. මගේ අම්මයි, තාත්තයි දෙන්නම දකුණු පළාතේ අය. ව්‍යාපාරිකයෙක් වුණු තාත්තාට ගල්කිස්සෙ කඩයක් තිබුණු නිසා අපි එහි පදිංචි වුණා. පවුලේ එකම ගැහැනු දැරිවිය මමයි. මට බාල නිවුන් සහෝදරයෝ දෙන්නා. ඉතින් පවුලේ එකම දුව රඟපානවාට තාත්තා කැමැති වුණේ නෑ. නගරයේ ජීවත් වුණාට ඔහු ගමේ ජීවිතයට දැඩිව ප්‍රිය කළ, ආදරය කළ කෙනෙක්. ඒ නිසා රඟපාන්න යන්න තාත්තාගේ අවසරය ගන්න එක හරි අසීරු කටයුත්තක් වුණා."

ඔබ ජනප්‍රියත්වයට පත්වෙනවාත් සමඟම විවාහ වෙනවා. ඊට පස්සෙ රඟපෑමෙන් ටික කාලයකට ඉවත් වෙනවා.

"මගේ සැමියා පර්සි මහේන්ද්‍ර හමුවෙන්නෙ දහම් පාසලේ යාළුවෙක් විදිහට. වසර අටක ප්‍රේම සම්බන්ධයකින් පසුව අපි විවාහ වුණේ 1990 අවුරුද්දෙ. විවාහ වෙලා මාස දෙකක් ගතවෙද්දි මට ලොකු දුව ලැබෙන්න ආවා. ඉතින් ඒ වෙනකොටත් මම ටෙලිනාට්‍යයක වැඩ කරමිනුයි හිටියේ. දුව ලැබුණාට පස්සෙ එයාට අවුරුදු හතරක් පහක් යනකම් මම රඟපෑමට සම්බන්ධ වුණෙත් නෑ. මට මතකයි කොළඹ අවට රූපගත කිරීම් තියෙන නාට්‍යයක වැඩ කළත් දුවව දාලා මුලින්ම කොළඹින් පිට ගියේ 'වන වදුලේ වසන්තය' රඟපෑම් වලට. ඊට පස්සෙ චූටි දුව ලැබුණා. ඉතින් වරින් වර ඉඩකඩ තියෙන විදිහට තමයි රංගනයට කාලය හොයාගත්තෙ."

ඔබේ ආදරණීය පවුල ගැනත් කියන්නකෝ.

"මගේ දහම් පාසල් ආදරය තාමත් මා සමඟයි. මගේ ලොකු දුව සඳලි ගීත්මා. රැකියාවක් කරනවා. එයා දැන් විවාහකයි. චූටි පුතෙකුගේ අම්මා කෙනෙක්. මගේ චූටි දූ සිවුමි දිනෙත්මා. මේ දිනවල විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සූදානමින් සිටිනවා. අපි හරිම ආදරණීය පවුලක්."

ඒ කියන්නෙ ඔබ දැන් ආත්තම්මා කෙනෙක්.

"අනේ ඔව්. දැන් මගේ මුළු ලෝකයම මේ පුංචි මුනුපුරා. මගේ කාලය වැඩිපුරම ගතවෙන්නෙ එයා එක්ක. මට ඉතින් කෙල්ලො දෙන්නෙක්නෙ ලැබුණේ. පුතෙක් නැති අඩුව පුරවන්නෙ දැන් චූටි පැටියා තමයි. අපි එයාව ආදරයෙන් බලාගන්නවා. ඊට අමතරව ගෙදර දොර වැඩ කටයුතු අතරතුරේ මමයි, පර්සියි අපේ ගෙවත්තෙ වගා කරනවා. පතෝල, තිබ්බටු, මෑ‍, තක්කාලි, දඹල, පලා වර්ග මේ හැමදේම වගා කරලා තියෙනවා. ඒ අපේ මුනුපුරා වෙනුවෙන්මයි.