පපුව පුරා දැනෙන වැහි සුවඳ තමයි ඔබ

ජුනි 13, 2022

 

හිත රිදෙන

හිත බිඳෙන

මගෙ නපුරු

කතා මැද

සදහටම

ළඟ හිඳින

මගෙම සඳකඩපහණ

 

ලොවම මන්මත් කරන

සුවඳ මල් දුගඳ මැද

පපුව පුරා දැනෙන

වැහි සුවඳ තමයි ඔබ

 

වෛර්ණ කවි ලියන

කවිකාර බඹරු මැද

කවි තාල නොදන්න

මගෙම වැහි කවිය ඔබ

 

හිත රිදෙන

හිත බිඳෙන

මගෙ නපුරු

කතා මැද

සදහටම

ළඟ හිඳින

මගෙම සඳකඩපහණ

 

මේ දිනවල ඇසෙන අපූර්වවූත් සරලවූත් සුන්දර ගීතයකි.

 

වසර නමයක් මගේ නපුරුකම්

ඉවසූ ඔබ වෙනුවෙන්...

 

“මම අහස ලස්සනයි කියද්දි ඔයා කතා කරන්නෙ ග්‍රහලෝක ගැන. මම මුහුද ලස්සනයි කියද්දි ඔයා කියන්නෙ මුහුදු වතුරේ සංයුතිය ගැන.

ඇත්තටම අපි දෙන්නා ඉරයි හඳයි වගේ නො ගැළපෙනම දෙන්නෙක්. ඒත් ඉතින් හඳ කොහොමද ඉර නැතුව ඉන්නේ?

දෙන්නගෙම නො ගැළපීම් දරාගෙන අපි දෙන්නම හුඟාක් දුර ඇවිත්. අවුරුදු නවයක් ගෙවිලා. ජීවිතේ බැඳීම් අත් හරින්න, දාල යන්න ඔබටත් අනන්ත වාරයක් හිතිලා ඇති. දාල යන්නම හිතෙන කොටත් දාල නො යනකොට, දරාගන්නම බැරිවෙන වෙලාවටත් දරාගන්න කොට ආදරේ පර්වතයක් වෙනවා.

වැරැදිලාවත් වැස්සකටවත් කවියක් නො ලිව්වට, ජීවිතේට ආපු මහා අනෝරා වැහිවලින් මාව තෙමෙන්න නොදී බේරගත්තේ ඔයා... ඉතින් මේ මගේ වැහි කවිය.”

 

 

******************

මුහුණු පොතේ ලියවුණු ඉහත සඳහන් හෘදයාංගම සටහන ඇතැම් විට ඔබේ නෙත නො ගැටෙන්නට ඇති. ඒත් ඇය අකුරු ඇමුණු ඒ ‘වැහි කවිය’ එක්වරක් නොව දෙතුන් වතාවක්ම රසවිඳ ඇතුවාට සැකයක් නැහැ. ඉතින්... මේ දිනවල බොහෝදෙනකුගේ ඉමහත් ආදරයට පාත්‍ර මේ වැහි කවියේ අයිතිකාරිය එක්ක මොහොතක් දොඩමළු වන්නට අපට හිතුණා.

ඇය විශාරද අභිෂේකා විමලවීර. ප්‍රවීණ ගීත රචකයකු, චිත්‍රපට අධෂ්‍යක්ෂවරයකු සේම ගත් කතුවරයකු වූ සුනිල් විමලවීරයන් ගේත්, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී දමයන්ති විමලවීරගේත් ආදරණීය දියණිය වූ නිසාම අභිෂේකා කියන්නේ තරුණීට නුහුරු නුපුරුදු චරිතයක් නම් නොවේ.

පියාණන්ගේ කලා කුසලතාවයත්, මවගේ රූපලාවණ්‍ය දැනුමත් උපතින්ම දෝත දරාගත් අභිෂේකා ගායනයට, රංගනයට වාගේම ගීත රචනයටත් උපන් හපනියකි.

 

ඉතින් අභිෂේකා... ඔයාගේ අලුත්ම ගීතය වූ මේ ‘වැහි කවියේ, නිමිත්ත ගැන අපට කියන්නකෝ.

 

“ඇත්තටම මම මේක ලිව්වෙ මගේ ආදරණීය සැමියාට. අපි විවාහ වෙලා දැන් වසර නවයක්. ඉතින් පසුගිය වසර අට පුරාවටම විවාහ සංවත්සර වෙනුවෙන් මම විවිධ තිළිණ එයාට දීලා තියෙනවා. ඉතින් මේ නවවැනි විවාහ සංවත්සරයට මෙතෙක් නොදුන්න විදිහේ තෑග්ගක් දෙන්න මට හිතුණා. ඒක තමයි මේ වැහි කවිය”

 

ඇයි ගීතයක්ම දෙන්න හිතුවේ?

 

“මගේ දුව වෙනුවෙන් ‘සුරංගනා’ ගීතයත්, අම්මා වෙනුවෙන් ‘නේත්‍රා’ ගීතයත්, තාත්තා වෙනුවෙන් චන්ද්‍ර මණ්ඩලේ ගීතයත් මම ලියලා තියෙනවා. හස්බන්ඩ් වෙනුවෙනුත් එකක් ලියන්න ඕනේ කියන අදහස සෑහෙන කාලෙක ඉඳන් තිබුණා. ඉතින් මේ ඉටුවුණේ ඒ බලාපොරොත්තුවයි.”

 

ඔබ විසින් රචිත නිස්සාර සංසාර, මතක, චන්ද්‍ර මණ්ඩලේ, නේත්‍රා වාගේ ගීත තරමක් ගැඹුරුයි. යටි අරුත් සහිත ඒ පද රචනාවන් සරල නෑ. ඒත් වැහි කවිය කියන්නේ හරිම සරල වචනවලින් ප්‍රකාශ කරන ආදරයක්.

 

“ඉතින් මගේ මහත්තයත් හරිම සරල කෙනෙක්නේ. ඔය බරසාර වචන, යටි අරුත් එයාට තේරෙන්නේ නෑ. එයාට තේරෙන සරල භාෂාවෙන් ලියන්න එපැයි. ඒකයි මේ පද රචනාව හරිම සරල වුණේ. හැබැයි ඒ සරල බවට හැමෝම ආසා වුණා.”

 

පද රචනාව වගේම මේ වීඩියෝවත් සරලයි.

 

“ඇත්තටම ඔව්. මේකේ වීඩියෝ, තියෙන්නෙත් මේ සිංදුව රෙකෝඩ් කරන හැටි. පුෂ්පික නිර්මාල් තමයි ඒ රූප රචනාව කළේ. වැහි කවිය සංගීතවත් කළේ නදීක ජයවර්ධන.”

 

වැහි කවියට පස්සේ අපිට මොන වාගේ නිර්මාණයක් දකින්න ලැබෙයි ද?

 

“වැහි කවිය සරල වුණු නිසා ටිකක් ගැඹුරු නිර්මාණයක් ළඟදීම තිළිණ කරනවා. නිර්මාණ කිහිපයකම වැඩ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව “Voice Teen” වැඩ සටහන වාගේම මගේ ව්‍යාපාර කටයුතු සමඟ මේ දිනවල කාලය ගත වෙනවා.