ලේඛිකා අමන්දා ජයතිස්සට ජාත්‍යන්තර සම්මානයක්

ජුනි 13, 2022

 

 

ශ්‍රී ලාංකික ලේඛිකාවක වන අමන්දා ජයතිස්ස අන්තර්ජාතික සම්මානයක් දිනාගැනීමට සමත් වී තිබේ. ඒ ඇය විසින් රචිත “My Sweet Girl" නමැති කෘතිය වෙනුවෙනි. අමෙරිකාවේ නිව්යෝක් හි පැවැති 2022 අන්තර්ජාතික ත්‍රාසජනක ග්‍රන්ථ රචකයන්ගේ සම්මාන උළෙලේ දී පළමු හොඳම නවකතාවට (The Best First Novel)  හිමි සම්මානය මෙලෙස ඇය දිනාගෙන තිබේ. සම්මනය ලබාගන්නා අවස්ථාවේ දී අදහස් දක්වමින් ඇය සඳහන් කර ඇත්තේ තමන්ගේ සුන්දර මව් බිම මේ දිනවල ඉතා අසීරු කාලයක සිටින බවත් එවැනි රටකින් කෘතියක් තෝරාගැනීම තමන් ට ලෝකයක් ලැබුණා හා සමාන බවයි. ඇය කැලිෆෝනියාවේ මිල්ස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා එක්සත් රාජධානියේ ජීවත් වූ තරුණියකි.

අන්තර්ජාලයෙනි

 

 

ආචාර්ය ගයනි සෙනෙවිරත්න ට Helen Hay Whitney Fellowship හිමි වෙයි

 

 

සත්ත්ව විද්‍යාව සහ අණුක ජීව විද්‍යාව යන ක්ෂේත්‍රවල දස්කම් දක්වා ඇති ශ්‍රී ලංකාවේ උපත ලද තරුණ විද්‍යාඥවරියක වන ආචාර්ය ගයනි සෙනෙවිරත්න මානව අසාමාන්‍යතාවයකට පිළිතුරක් සෙවීම සඳහා කළ නවතම පර්යේෂණය අමෙරිකාවේ අවධානයට ලක්ව ඇත. ඇය මහනුවර හීරාස්සාගල උපත ලබා ඇති අතර මහනුවර මහමායා බාලිකාවේ ආදි සිසුවියක් මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරිනියකි.

 

ඇගේ ආචාර්ය උපාධිය මඟින් ගෙම්බන්ගේ සිරුර තුළ වර්ධනය වන ජානයක් සොයා ගන්නා ලද අතර එය උපතට පෙර මිනිස් ළදරුවන්ගේ අක්ෂීය තීරුවේ දැකිය හැකි අසාමාන්‍යතාවයකට පිළිතුරු දීමට භාවිත කළ හැකියි. මේ කාර්යය එක්සත් ජනපදයේ අවධානයට ලක් වූ අතර Proceedings of the National Sciencesනම් ඉහළ පෙළේ සඟරාවක ප්‍රකාශයට පත් විය.

ඇයගේ පර්යේෂණ සඳහා ශ්‍රී ලංකා පර්යේෂණ ආයතනයෙන් ජනාධිපති සම්මාන දෙකක් සහ හොඳම විද්‍යා පර්යේෂණයට හිමි සම්මානයක් ඇයට හිමි වී ඇත.

සත්ත්ව විද්‍යාව සහ අණුක ජීව විද්‍යාව පිළිබඳ විශේෂීකරණය වූ පළමු පන්තියේ උපාධියක් සමඟින් උපාධිය ලැබීමෙන් පසු, ඇය ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල අතරින් 10 වැනි ස්ථානයට පත්ව ඇති චිකාගෝ විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමට ශිෂ්‍යත්වයක් ලබා ගත්තාය.

 

වසර 4 ½ කින් සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කර හාවඩ් විශ්ව විද්‍යාලයට බැඳුණේ මිනිසුන්ගේ ශ්‍රෝණි පටිය වර්ධනය වන ආකාරය සහ ඒ ආශ්‍රිත රෝග පිළිබඳ අවබෝධ කර ගැනීම සඳහා ය. ඇයගේ අධ්‍යාපනික දිවියේ විශිෂ්ටත්වය නිසා ලොව පිළිගත් නොබෙල් ත්‍යාගලාභීන් කිහිප දෙනකුට පිරිනැමෙන කීර්තිමත් සම්මානයක් වන Helen Hay Whitney සාමාජිකත්වය ඇයට හිමි විය. විද්‍යාව හදාරන ගැහැනු ළමයින්ට ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට උදව් කරමින් ලංකාවට පැමිණ යම් දිනක රටට සේවය කිරීම ඇගේ අරමුණයි. ගයානිගේ වෘත්තීය ජීවිතයේ ලොකුම ආශාව වන්නේ ඇයගේම රසායනාගාරයක් පවත්වාගෙන යාම, සෑම කෙනකුම පිළිගන්නා පරිසරයක් ගොඩනැගීම, කාන්තාවන් සහ සුළු ජාතීන් සවිබල ගැන්වීම සහ අති නවීන තාක්ෂණික ක්‍රම භාවිත කරමින් පෘෂ්ඨවංශික පරිණාමයේ විද්‍යාත්මක පර්යේෂණ ප්‍රශ්න විසඳීමයි.

ගයානි සෙනෙවිරත්නගේ පියා උපුල් සෙනෙවිරත්න සුරාබදු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයෙක් වන අතර ඇගේ මව භාග්‍යා සෙනෙවිරත්න ජල පිරිපහදු ආයතනය වන ‘CETEC’ හි පර්යේෂණ සහකාරවරියකි. ඇයගේ සොහොයුරා අශාන් සෙනෙවිරත්න ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ටෙස්ට්‍රා සමාගමේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන අතර ගයනිගේ සොහොයුරිය වන සලානි සෙනෙවිරත්න මේ වන විට ඇමරිකාවේ මැසචුසෙට්ස් හි ඇම්හර්ස්ට් විශ්වවිද්‍යාලයේ සිය ප්‍රථම උපාධිය හදාරමින් සිටියි.

 

අන්තර්ජාලයෙනි