දැනුමේ නිම් වළලු පුළුල් කරගන්න ඔබත් කියැවීමට හුරුවන්න

සුළඟේ සෙවණැල්ල සහ බාණ කුසුම්
ජුනි 27, 2022

 

 

“ කියවීම මිනිසා සම්පූර්ණ කරවයි.” මේ කියමන අපේ නෙත ගැටෙන්නේ, එහෙමත් නැතිනම් අපිට ඇහෙන්නේ කුඩා අවධියේ පටන්මයි. ඒත් කුඩා දරුවකු, ශිෂ්‍යයකු විදිහට පොත පත ඇසුරු කරන බොහෝදෙනකු තාරුණ්‍යයට අවතීර්ණ වීමත් සමඟම එය තරමක් දුරට අතපසු කරදමති. නැතිනම් එය අමතක කරති.

නමුත් ජීවිතයේ ළමා, තරුණ, වැඩිහිටි මේ කුමන අවධියකදී වුවද පොත පත ඇසුරේ ගත කළ හැකි නම් එයින් හිමිවන ප්‍රතිලාභ අපමණය.

ඔබේ කියවීම ඒත් විෂයයකට පමණක් සීමා නොකරන්න. විවිධ මාතෘකා ඔස්සේ් විවිධ පොත්, පත්තර , සඟරා කියවන්නට පුරුදු වන්න. එමඟින් ඔබේ දැනුම් පරාසය පුළුල් වන අතර මනසට ඉමහත් සැහැල්ලුවක්, විනෝදයක් හිමි වේවි.

ඒ වගේම අතේ මිටේ මිල මුදලත් ගැවසෙන අවස්ථාවක හොඳ පොතක් දෙකක් මිලදී ගන්නට අමතක කරන්න එපා.

මේ දිනවල පවතින ආර්ථික අර්බුදය හමුවේ ඇතැම්විට පොතක් මිලදී ගැනීම කෙනකුට අපහසු විය හැකියි. එබැවින් ඔබට පහසු මහජන පුස්තකාලයකට සම්බන්ධ වුවහොත් මේ පොත් නොමිලයේ භාවිත කළ හැකියි.

ඒ විදිහට කියවිය යුතු පොතක් දෙකක් මෙලෙස ඔබට හඳුනා දෙන්නම්.

 

සුළඟේ සෙවණැල්ල

ප්‍රවීණ ගත් කතුවරයකු වූ ගාමිණී වියන්ගොඩ විසින් පරිවර්තනය කළ “ සුළඟේ සෙවණැල්ල” මේ දිනවල වෙළෙඳපොළට එකතු වූ අලුත් පොතක් ලෙස හඳුන්වා දිය හැකියි.

“ මවගේ අකල් මරණයෙන් කම්පනයට පත් වන දනියෙල් නමැති දරුවාට සිය පියාගෙන් තෑග්ගක් ලෙස හිමි වුණු ගුප්ත නවකතාවක් කියවන්නට ලැබේ. අනතුරුව එහි කතුවරයා සොයා යන්නට පෙළඹෙන දනියෙල්ට හමුවන්නේ බාර්සිලෝනා නුවර වැළලී ගිය අබිරහසකි. එම අබිරහස තුළින් ඝාතනය සහ උන්මාදය සමඟ මුසු වූ අසම්මත ආදරයක මහා කතාවක් දිග හැරේ. ඒ කතාවයි සුළඟේ සෙවණැල්ල.

ස්පාඤ්ඤ ජාතික නවකතාකරුවකු වන කාර්ලෝස් රුයිස් සෆෝන් විසින් රචිත “ ඊඩඥ ඉඩචඤධඹ ධට බඩඥ ඹඪදඤ” යනු සම්මාන රාශියක් දිනූ කෘතියකි. එය මේ වනවිට භාෂා 30කට පරිවර්තනය වී ඇති අතර රටවල් 40ක පමණ පාඨක හිත් දිනාගත් කෘතියකි.

 

බාණ කුසුම්

අපූරු නවකතා කිහිපයක්ම අපට තිළිණ කළ නවකතා රචිකාවක වන කත්‍යානා අමරසිංහ විසින් රචිත “ බාණ කුසුම්” නවකතාව ද ඔබ කියවිය යුතු තවත් රසවත් නවකතාවකි. 2021 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන අවසන් වටයට නිර්දේශිත මේ කෘතිය ස්වර්ණ පුස්තක සම්මාන අවසන් ග්‍රන්ථ පහට ද ඇතුළත් විය.

නිබ්බුතාගේ සිට තාන්‍යා දක්වා පරම්පරා හතරක් පුරා දිවෙන මේ නවකතාවේ අතීත කතාවක් සේම වර්තමාන කතාවක් ද වේ. අතීත කතාවේ නිබ්බුතා මුහුණ දෙන ලිංගික ගැටලුවටම වර්තමාන කතාවේ ඇයගේ මිණිපිරිය තාන්‍යාට මුහුණ දීමට සිදු වේ. හැබැයි මේ දෙදෙනාටම ගනුදෙනු කරන්න සිදුවන්නෙ විවිධ මතිමතාන්තර දරන යුගයන් දෙකක ජන සමාජයන් සමඟයි.

රසවත් බස් වහරකින් පාඨක සිත් ඇද බැඳ ගන්නට සමත් ආකාරයට ලියවුණු මේ බාණ කුසුම් කෘතියත් ඔබ කියැවිය යුතුම පොතකි.