90 දශකයේ යෞවනියන් අතර ජනප්‍රිය වූ සෝමා ටී. පෙරේරා

අද ආදරණීය මිත්තණියක් 'විසංඛාර' සමඟින් ඈ ඔබ හමුවටත් ආවා.....
අගෝස්තු 8, 2022

 

කුමරි, අරලිය වැනි අනූව දශකයේ අතිශයින්ම ජනප්‍රිය වූ යොවුන් පුවත්පත් හරහා අපට ආදරණීය ලේඛිකාවක් හමු විය. ඈ ගෙතූ සොඳුරු ආදර කතා යොවුන් පරපුරේ නොමඳ ආකර්ෂණය දිනා ගත්තේය. ඒ කතා ආදරයෙන් වැලඳගත් එකල සුවහසක් යෞවනියන් අද මව්වරුන්ය.

 

ඉඳින් තරුණී කියවන ඔබට ඔබේ යොවුන් වියේ දී හෝ තරුණ වියේ දී නිසැකවම ඈ හමුවන්නට ඇත. කලකට ඉහත දී ‘විසංකාර' සමඟින් තරුණී පාඨක ඔබ හමුවට ද ආ, ඈ අපේ ආදරණීය සෝමා ඇන්ටීය. නැත්නම් ඔබ හොඳින්ම හඳුනන සෝමා ටී. පෙරේරා ය.

ප්‍රවීණ ලේඛිකාවක, මාධ්‍යවේදිනියක වූ ඈ අතින් ලියැවුණු ඇගේම ජීවිත කතාවට සමානකම් දක්වන ‘සුදු හාමිනේ', හේමන්ත, මාජිගේ ආදරය රැගත් ‘නොපිරූ පිරුම්', ‘සිතූ සිත්තම්', ‘ඉර හඳ යට හමුවී', ආදී සොඳුරු ආදර කතා අපමණය. ඉන්පසු මෑත කාලයේ දී මහා ගත්කරු ලියෝ ටෝලස්ටෝයි ගේ ‘ඇනා කැරණිනා', අර්නස්ට් හෙමින්වේ ගේ ‘මහල්ලා සහ මුහුද', චාලට් බ්‍රොන්ටෙ ගේ ‘ජේන් අයර්', මාක් ට්වේන් ගේ ‘The Prince and the Pauper (කුමරුවා සහ දුගියා) ආදී කෘති ගණනාවක් ද ඈ අතින් අනුවර්තන සාහිත්‍යට එක්විය.

සිය ආදරණීය සැමියා, දූ දරුවන් සහ මුනුපුරු, මිනිපිරියන් පිරිවරාගෙන අද ජීවිතයේ සැඳෑසමය හරි අපූරුවට රසවිඳිනා ඇය ලේඛන කලාවට නම් තවමත් සක්‍රීයයි. මේ දිනවල තරමක් අසනීපයෙන් පසුවන බවට ලැබුණු ආරංචියක් නිසාම පුංචි කතාබහකට ඇයව එකතු කර ගන්නට අප සිතුවා.

 

ඉතින් කොහොමද?

"හොඳින් ඉන්නවා කියන්න නම් බෑ. මේ දවස්වල තරමක් අසනීපයෙන් ඉන්නෙ. දන්නෙ නැද්ද ඉතින් පුංචි පුංචි අසනීප මතුවෙන කාලෙනේ මේ."

 

ඒ කියන්නෙ මේ දවස්වල ලේඛන කලාවෙන් තරමක් ඈත් වෙලාද?

"අනේ නෑ. මොන අමාරුව තිබුණත් ලියවිල්ල නවත්වන්න බෑ. මේ දවස්වල මම " ගිනි පාවඩ" කියලා පොතක් ලියාගෙන යනවා. ඊට අමතරව එකල පොතක් විදිහට එළිදක්වන්න බැරි වූ " නොපිරූ පෙරුම්" ආයෙමත් අලුතෙන් නවකතාවක් ලෙස ලියා අවසන් කළා. තාම මුද්‍රණය කළේ නම් නෑ."

 

සෝමා ටී. පෙරේරා කියන්නෙ නවකතා බොහොමයක අයිතිකාරියක්. ඉතින් ඒ අතීතය පොඩ්ඩක් මතක් කරමු.

"මම පාසල් කාලේ ඉඳන්ම විවිධ දේ ලියන්න කැමැති කෙනෙක්. හැබැයි විවාහ වෙනකම් නම් ඒ පැත්තට යොමු වුණේ නෑ. මගේ මහත්තයාගේ නිවෙස තිබුණේ විශාල වත්තක් මැද. ඔහු පවුලේ එකම දරුවා. ඉතින් පාළුව, කාන්සිය දුරු කරගන්න මම ලියන්න පෙළඹුණා. ඊටත් පස්සෙ තමයි පත්තරවලට සම්බන්ධ වුණේ. මේ වෙනකොට පොත් සියයකට ආසන්න ප්‍රමාණයක් ලියලා තියෙනවා."

 

වඩාත් ජනප්‍රිය වුණු පොත් ගැන මතක් කරනවා නම්....

"මගේ පොත් අතරින් " රෑ තාරකාවි" හරිම ජනප්‍රිය වුණා. ඊට අමතරව "ඉර හඳ යට හමු වී" , "ගුරු ගෙදර දෝණි", “වසුන්දරා" වාගේ නවකතාත් පාඨකයෝ පුදුමාකාර විදිහට ආදරයෙන් වැලඳගත්තා. "

 

පසුගිය වසරේ ඔබ සම්මානයට පාත්‍ර වුණා.

"ඔව්. පසුගිය වසරේ පැවැති කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙලේ දී ජීවිතයේ එක්වරක් පිදෙන සම්මානයක් හිමි කරගන්නට මම වාසනාවන්ත වුණා".

 

අපි ඔබේ පෞද්ගලික තොරතුරු ගැනත් කතා කරමු.

"මගේ මහත්තයා N.A.S. පෙරේරා. ඔහු සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තමයි සේවය කළේ. දැන් විශ්‍රාම සුවයෙන් කල් ගෙවනවා. මගේ ලේඛන කලාවට පුදුමාකාර විදිහට උදව් කරනවා. විශේෂයෙන්ම පරිවර්තන කෘති සඳහා ඔහුගෙන් ලැබෙන සහයෝගය අපමණයි."

 

එතකොට ඔබේ දියණිය සහ පුතා

"මගේ පුතා නිශාන්ත. දියණිය ගයානි. ඒ දෙන්නම ලේඛන කලාවට යොමු වුණේ නෑ. පුතා සෞඛ්‍ය සේවයේ. එයාගේ බිරියත් හෙද නිලධාරියක්. එයාලට පුතාල දෙන්නෙක් සහ දියණියක් සිටිනවා. මගේ දුව ගයානි රූපලාවණ්‍ය ශිල්පිනියක්. ඇය විවාහ වුණේ ව්‍යාපාරිකයකු සමඟ. ඔවුන්ටත් දියණියක් ඉන්නවා. ඉතින් දැන් අපි දෙන්නා සීයා සහ ආච්චිලා වෙලා දරු මුනුපුරන්ගේ ආදරය මැද ජීවත් වෙනවා."

තවත් චිරාත් කාලයක් නිරෝගීව හිඳිමින් ලාංකේය සාහිත්‍ය සඳහා පොත් ලියමින් අමිල මෙහෙවරක් කරන්නට ඇයට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු. ආදරණීය සෝමා ඇන්ටි, ඔබටත් අංකල්ටත් දීර්ඝායු!