ඉන්දීය පාර්ලිමේන්තුවට ගිය 'තුල්සි'ස්මිත්‍රි ඉරානි

අගෝස්තු 22, 2022

 

ඇය, 2019 වසරේ සිට ඉන්දීය එක්සත් කැබිනට් මණ්ඩලයේ ළමා සංවර්ධන අමාත්‍යංශ සහ සුළුතර කටයුතු අමාත්‍යංශ කැබිනට් ඇමැතිවරිය ලෙස කටයුතු කරන්නී ය. ඇය විශේෂ වන්නේ 2019 ඇමතිමණ්ඩලයේ සිටි ළාබාලතම ඇමතිවරිය වීම නිසයි.

 

ඇය සොඳුරු කාන්තාවකි. දක්ෂ නිළියකි. අප සියලුදෙනාම මේ මිහිමත නළු නිළියන් වෙන බව කියැවුණද ඇය වඩාත් හොඳින් තම භූමිකා සියල්ල රඟ දක්වන්නියකි. කාන්තාවකට දියණියක, පෙම්වතියක, බිරියක, මවක ලෙස වූ බොහෝ භූමිකාවන් රඟදක්වන්නට සිදු වේ. නමුත් මේ රුවැති ළඳ එයට අමතර තවත් භූමිකාවලට සාර්ථකව පණ පෙවූ කාන්තාවකි.

 

ස්මිත්‍රි සුබින් ඉරානි නම් වූ ඇය මේ වන විට ජනප්‍රිය දේශපාලනඥවරියකි. එහෙත් ඇගේ රුව ඔබට හුරුපුරුදු වනවාට සැක නැහැ. මන්ද, ස්මිත්‍රි රූපවාහිනී නිළියක් ලෙසින් කටයුතු කළ බැවිනි. එයට අමතරව ඇය නිෂ්පාදකවරියක ලෙසින් ද කටයුතු කළාය.

'මහගෙදර' අපේ රටේ ඉතාමත් ජනප්‍රිය වූ ඉන්දියානු ටෙලිනාට්‍ය මාලාවකි. එහි ප්‍රධාන චරිතය වූ 'තුල්සි' චරිතයට පණ පෙවූ ස්මිත්‍රි අපේ රටේ රසිකයන් අතර ද බෙහෙවින් ජනපි‍්‍රය විය. ඒ නිසාම ඇයගේ ජීවන තොරතුරු දැන ගැනීමට ඔබත් කැමැති ඇති.

ඇය, 2019 වසරේ සිට ඉන්දීය එක්සත් කැබිනට් මණ්ඩලයේ ළමා සංවර්ධන අමාත්‍යංශ සහ සුළුතර කටයුතු අමාත්‍යංශ කැබිනට් ඇමැතිවරිය ලෙස කටයුතු කරන්නී ය. ඇය විශේෂ වන්නේ 2019 ඇමතිමණ්ඩලයේ සිටි ළාබාලතම ඇමතිවරිය වීම නිසයි. එමෙන්ම ඇය පේෂකර්ම අමාත්‍යංශයේ ඇමතිවරිය ලෙසින් ද කටයුතු කරන්නී ය. ස්මිත්‍රිට හින්දි ඇතුළුව බෙංගාලි, මරාති, ගුජරාති සහ පන්ජාබ් යනාදී ඉන්දියානු භාෂා කිහිපයක් ම කතා කිරීමේ හැකියාව පවතී.

දේශපාලනයේ ජයග්‍රාහී ගමනක් යන ඇගේ, නිළියක ලෙස ගත කළ ජීවිතය ද සාර්ථක එකකි. රාමායන්, විරූධ් වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය ගණනාවක් ඇයගේ රංගනයෙන් ඔපවත් විය. ඉන්දියානු රූපවාහිනී ඇකඩමිය විසින් පවත්වන සම්මාන උළෙලේ දී අඛණ්ඩව වසර 7ක් 'වසරේ හොඳම නිළිය' ලෙස ඇය සම්මානයට පාත්‍ර විය.

එමෙන්ම 2001, 2002, 2003, 2004 සහ 2005 වසරවල දී හොඳම නිළිය ලෙස I.T.A සම්මානයෙන් ද පිදුම් ලැබීය. එපමණක් නොව, 2002 සහ 2003 වසරවල දී හොඳම නිළිය සඳහා ඉන්දියානු ටෙලි සම්මානය සහ 2003 දී හොඳම රූපවාහිනී පෞරුෂය ලෙසින් ද සම්මාන දිනා ගත්තා ය. 2010 දී I.T.A සන්ධිස්ථාන සම්මානය ද ස්මිත්‍රි විසින් ලබා ගත්තේ තවදුරටත් ඇගේ රංගනයේ විශිෂ්ටතාව ගැන කිසිදු අයකු තුළ සැකයක් නොතබමිනි.

1976 මාර්තු 23 වැනි දින ඉන්දියාවේ නවදිල්ලියේ දී උපන් ස්මිත්‍රි මල්හෝත්‍රාගේ පියා පන්ජාබ් හා මහාරාෂ්ට්‍ර හින්දු ජාතිකයකු වන ශ්‍රී අජේ කුමාර් මල්හෝත්‍රා ය. මව බෙංගාලි හින්දු ජාතික කාන්තාවක් වන ෂිබානි බග්චි ය. දියණියන් තිදෙනෙකු සිටින පවුලේ ඇය වැඩිමල් දියණියයි. ඔවුන් මධ්‍යම පාන්තික පවුලකි. නමුත් ස්මිත්‍රි තමාගේ දෛවය උරගා බැලුවේ වෙනස් වූ ක්ෂේත්‍ර දෙකකිනි. එම ක්ෂේත්‍ර දෙකෙහි දීම ඇය සාර්ථක කාන්තාවක් වූවාය.

නවදිල්ලියේ හෝලි චයිල්ඩ් ඔක්සිලියුම් පාසලෙන් ඉගෙනුම ලැබූ ස්මිත්‍රි නවදිල්ලි විශ්වවිද්‍යාලයේ සිසුවියකි. නමුත් ඇයට උපාධිය සම්පූර්ණ කිරීමට නොහැකි වූයෙන් උපාධිය ලබා ගැනීමට නොහැකි විය.

2001 දී සුබින් ඉරානි නම් ව්‍යාපාරිකයා හා විවාහ වූ ඇයට දරුවන් දෙදෙනෙකි. නිළියක ලෙස ගත කළ ජීවිතයට විරාමයක් තබා ඇය දේශපාලනයට පා තැබුවාය. ඒ සඳහා ඇය තෝරා ගත්තේ භාරතීය ජනතා පක්ෂයයි. භාරතීය ජනතා පක්ෂය තුළ ඇය කැපී පෙනෙන නායිකාවක් වූවාය.

ඇය පාර්ලිමෙන්තුවට පිවිසියේ 'ඇමේති' ඡන්ද කොට්ඨාසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ලෙසිනි. එයද සුළුපටු ජයග්‍රහණයක් නොවීය. මන්ද ඉන්දීය දේශපාලනයේ බලවත් ගාන්ධි පවුලේ රජීව් ගාන්ධිගේ පුත් රාහුල් ගාන්ධි පරාජය කරමින් ඇය ලද ජයග්‍රහණය නිසාය.

ඇයගේ තොරතුරු අපට වැදගත් වන්නේ කාන්තාවකට යාහැකි දුර ගැන කතා කිරීමේ දී ය. ඇතැම් විට අප තුළ ඇති දක්ෂතා කිහිපයක් තිබිය හැකිය. ඒවා උරගා බැලීම අප විසින් කළ යුත්තකි. අප තුළ ද ස්මිත්‍රි කෙනෙකු ජීවත් විය හැකිය. ඇතැම් විට අප නියැළෙන ක්ෂේත්‍රයට වඩා වෙනස් ම ක්ෂේත්‍රයක් තුළ අපගේ දක්ෂතා පෙන්වීමට හැකි වේවි. අවශ්‍ය වන්නේ අවංකව තමාගේ හැකියාවන් මඟින් දක්ෂතාව උරගා බැලීමයි.

 

අන්තර්ජාලය ඇසුරිණි