බොලිවුඩය බබළවන ලාංකේය තරුව ජැකීට මූල්‍ය වංචාවකට චෝදනා පත්‍රයක්..

අගෝස්තු 29, 2022

 

රැවටීම්වලට හසුවීමට දුප්පත් පොහොසත් බේදයක් හෝ උගත් නූගත් බේදයක් නැත. ජැක්ලීන් කොතරම් උගත්, ඉහළ සමාජ මට්ටමක සිටින තැනැත්තියක වුවත් ඇය ද රැවටීමකට හසුවී ඇත.

 

බොලිවුඩ් තරුවක් වීම ඉන්දියානු තරුණියන්ගේ සිහිනයකි. ලාංකේය තරුණියන්ට එය සිහිනයක් වීමටවත් ළං නොවන තරම් ය. එහෙත් ලාංකික තරුණියක් බොලිවුඩ් තරුවක් වීම අපේ රටට පවා ආඩම්බරයක් විය. ඇත්තෙන් ම ජැක්ලීන් ෆර්නැන්ඩස්ගේ පෙනුම අනෙක් බොලිවුඩ් නිළියන්ට වඩා වෙනස් වූවකි.

 

ඒ නිසාම ඇය බොලිවුඩ් තරු අතර කැපී පෙනුණා ය. මේ පෙනුම ඇයට හිමි වූයේ ඇගේ පියා එල්රෝයි ෆර්නැන්ඩස් ශ්‍රී ලාංකික බර්ගර් ජාතිකයකු වීම හා මව කිම් කැනඩා සම්භවයක් සහිත මැලේසියානු ජාතික කාන්තාවක් වීම නිසාය. නමුත් ඇය ඉපදී ඇත්තේ බහරේනයේ මැනමා හි දීය. වැඩිමල් සොයුරියක් හා වැඩිමල් සොහොයුරන් දෙදෙනකු සිටින පවුලේ බාලයා ජැක්ලීන් ය.

රූමතියක වූ ජැක්ලින් 2006 වසරේ දී ශ්‍රී ලංකා විශ්ව රූ රැජින තරගයට සහභාගී වූ අතර එහි ජයග්‍රාහිකාව වූවාය. පසුව අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැති විශ්ව රූ රැජින තරගයට ද සහභාගී විය. ඇය ජනසන්නිවේදන උපාධිධාරිණියකි. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් තම උසස් අධ්‍යාපනය සම්පූර්ණ කළ ඇය, පසුව ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවක නිවේදිකාවක් ලෙසින් හා වැඩසටහන් නිෂ්පාදකවරියක ලෙසින් කටයුතු කළාය.

ඒ අතර ඇය නිරූපිකාවක ලෙසින් ද කටයුතු කළාය. මෙසේ නිරූපිකාවක් ලෙස 2009 වසරේ දී ඉන්දියාවට ගිය විටෙක දී ඇයට අහම්බෙන් බොලිවුඩයට පා තැබීමේ වාසනාව හිමි විය. 'ඇලඩින්' චිත්‍රපටයෙන් බොලිවුඩයට පිවිසි ඇය, 'මර්ඩර් 2' චිත්‍රපටයෙන් නිළියක ලෙස තම දක්ෂතා පෙන්වීමට සමත් විය. 'හවුස් ෆුල්' චිත්‍රපටය නිසා තමාගේ වෘත්තීය ජීවිතයේ වැදගත් තැනකට පිවිසි ඇය මේ සඳහා අයිෆා සිනමා සම්මාන උළෙලේ දී හොඳම සහය නිළියට හිමි සම්මානය ද දිනා ගැනීමට සමත් විය. ඉන්පසුව රේස් 2, කික් වැනි චිත්‍රපටවලින් තමා බොලිවුඩයේ දිදුළන තාරකාවක් බව ලොවට කියා පෑවාය.

මේ වන විට ෙබාලිවුඩයේ වැඩිම මුදලක් අය කරන නිළියන්ගේ ලැයිස්තුවේ 13 වැනි ස්ථානයේ සිටින ජැක්ලින් තමා උපයන මුදල් ව්‍යාපාර සඳහා ආයෝජනය කළාය. ඉන් ඇය තමාගේ මූල්‍ය වත්කම් ප්‍රමාණය වර්ධනය කරගැනීමට සමත් විය. ඉන් එක් ආයෝජනයක් ඇය ලංකාවේ සිදු කළේ 'කෑම සූත්‍ර' නමින් අවන්හලක් කොළඹ දී විවෘත කරමිනි.

ක්‍රම ක්‍රමයෙන් බොලිවුඩයේ ඉදිරි ගමනක යෙදෙන ඇය ඉන්දියානු රසිකයන්ගේ පමණක් නොව, ලාංකික රසිකයන්ගේ ද හදවත දිනා ගැනීමට සමත් විය. බොලිවුඩයට පෙම් බඳින ලොව පුරා රසික හදවත්හි තමාට තැනක් හිමිකර ගැනීමට සමත් වූ මේ රූමතියට අද වන විට මුහුණ දෙන්නට සිදු වී ඇත්තේ මහත් වූ දුෂ්කරතාවකටයි.

රැවටීම්වලට හසුවීමට දුප්පත් පොහොසත් බේදයක් හෝ උගත් නූගත් බේදයක් නැත. ජැක්ලීන් කොතරම් උගත්, ඉහළ සමාජ මට්ටමක සිටින තැනැත්තියක වුවත් ඇය ද රැවටීමකට හසුවී ඇත. පසුගිය දා බොලිවුඩය කැළඹූ පුවතක් වූයේ සුකේෂ් චන්ද්‍රසේකර් නම් වංචාකරුවකුගේ ඉන්දීය රුපියල් කෝටි 215ක කප්පම් නඩුවට ජැක්ලින් ද විත්තිකාරියක වීම යි.

ඇය මෙයට පැටලෙන්නේ සුකේෂ් සමඟ පෙම් සබඳතාවක් ආරම්භ කිරීම නිසයි. සුකේෂ් වංචා බොහෝ ප්‍රමාණයක් සිදුකර ඇති පුද්ගලයකු වුවද ඔහු බොරු කියමින් ජැක්ලින්ගේ සිත දිනාගෙන ඇත. ඔහු වංචාවෙන් උපයා ගත් මුදලින් ඉතාමත් මිල අධික ලොව ඉහළ පෙළේ වෙළෙඳ නාමවලින් යුතු අත්බෑග්, පාවහන්, ඇඳුම් පැලඳුම්, සුවඳ විලවුන් පමණක් නොව, පර්සියානු බළලුන්, මිනි කූපර් මෝටර් රථයක්, දියමන්ති ආභරණ කට්ටලයක් ද ඇයට ත්‍යාග ලෙස ලබා දී ඇත. මේ ත්‍යාගවල සම්පූර්ණ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 10ක් පමණ වන බව ඇයට විරුද්ධව ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ සඳහන් ය.

මෙය තමාට ලැබෙන දෙයින් තෘප්තිමත් නොවී වැඩි වැඩියෙන් මුදල්, ෙසැප සම්පත් සොයා යන්නන්ට කදිම පාඩමකි. කොතරම් උගත් අයකු වුවත් ඇය තමාට ලැබෙන තෑගි භෝග හමුවේ බුද්ධිය මෙහෙයවා නැති බව අපට පෙනෙන්නකි. මිල අධික තෑගි භෝග නිසා තමාගේ ජීවිතය රැවටීම්වලට හසුවීමෙන් නීතිය ඉදිරියේ පවා වැරැදිකරුවන් විය හැකිය. එමනිසා අනවශ්‍ය ලෙස මුදල් පසුපස හඹා නොයාමටත්, මිල අධික තෑගි භෝග දුන් පමණින් තමා ඇසුරු කරන්නන් අනවශ්‍ය ලෙස විශ්වාස කිරීමත් නොකළ යුත්තකි.

ඇයට ඇති වූ අගෞරවය මිල මුදලින් හෝ නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට නො හැකිය. මේ සම්බන්ධයෙන් ඇය නීතිය හමුවේ වැරැදිකරුවකු වේදැයි අපට කිව නොහැකි වුවද මේ වන විටත් ඇයගේ කීර්ති නාමයට වූ හානිය නම් සුළුපටු නැත.

ලක් මවගේ නම බබලවන්නට ජාත්‍යන්තරයට යන හැම අයකුට ම තම පෞද්ගලික දිවියේ දී පවා වැරැදි නොකර සිටීමට සිදු වේ. නැතිනම් එය ඔහුට හෝ ඇයට පෞද්ගලිකව සිදුවන අගෞරවයක් පමණක් නොවේ. එය රටට ද අගෞරවයක් වන බැවිනි. කෙසේ වුවත් ඉදිරිපත් වී ඇති සියලු චෝදනාවලින් මතු දිනක ඇය නිදොස්කොට නිදහස් කරත්වා යන්න ලාංකේය අපේ පැතුමය.

මිලියන 62.9ක රසික පිරිසක් ෆලෝ කරන ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම වන්නේ jacquelinef143 යන්නයි. ඒ ගිණුම ෆලෝ කිරීමෙන් ඇගේ නවතම සිනමා පට සම්බන්ධ තොරතුරු මෙන්ම ඇගේ ඡායාරූප ද ඔබට නැරැඹිය හැකියි. මෙවර තරුණී කවරය හැඩවෙන්නේ ඇගේ රුවිනි.

 

තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි