දෙවැනි එළිසබෙත් රැජනගේ අප්‍රකට තොරතුරු..

සැප්තැම්බර් 19, 2022

සාම්ප්‍රදායිකත්වය ඉවත ලා අනාගතය සොයා යන බොහෝ දෙනකු පවසන්නේ අලුත් ලෝකයට අතීතය ගෙන යා යුතු නැති බවයි. එහෙත් ලෝකයේ බලවත් ම රාජ්‍යයන් අතුරින් එකක් වූ හිරු නොබසින අධිරාජ්‍යයේ සම්ප්‍රදාය ඔවුන්ට අභිමානයක් ලෙස සලකන්නකි. ඒ නිසාම රැජන හා රජ පවුලට ඔවුහු ඇලුම් කරති.

රජ පෙළපතේ වඩාත් සොඳුරු හා ජනතා ආකර්ෂණයක්, ආදරයක් දිනාගත් රැජන වන්නේ දෙවැනි එළිසබෙත් රැජනයි. එමෙන්ම වසර 70ක් වැනි දීර්ඝ කාලයක් එම තනතුරේ සිටි පුද්ගලයා වන්නේ ද ඇය යි.

හයවැනි ජෝර්ජ් රජුගේ දියණිය ලෙස 1926 වසරේ අප්‍රේල් මස උපත ලද ඇයට රජකම උරුම වන්නේ වයස 25 දී තරම් තරුණ වියේ දී ය. අප බොහෝ දෙනකු දෙවැනි එළිසබෙත් මහ රැජන ගැන දන්නා තොරතුරු බොහෝය. නමුත් බොහෝ දෙනකු දන්නා තොරතුරුවලට වඩා වැඩි දෙනෙක් නොදන්නා අප්‍රකට තොරතුරු කිහිපයක් මේ ලිපියෙන් අපි ඔබට ඉදිරිපත් කිරීමට අදහස් කළෙමු.

* විදෙස් ගමන් බලපත්‍රයක් නැතිව කළ සංචාර..

ඉතිහාසයේ වැඩියෙන් ම විදෙස් සංචාර සිදු කළ රාජ්‍ය නායිකාව වන්නේ දෙවැනි එළිසබෙත් රැජනයි. ඇයගේ පාලන සමයේ දී ඇය රටවල් 116කට සංචාරය කළ බව වාර්තා වේ. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ ඇගේ නමින් නිකුත් කරන ලද විදෙස් ගමන් බලපත්‍රයක් නොමැති වීමයි. එසේ වූයේ එවැන්නක අවශ්‍යතාවක් ඇයට නොතිබූ බැවිනි. එපමණක් නොව, ඇයට රියැදුරු බලපත්‍රයක අවශ්‍යතාවක් ද නොතිබිණි. නමුත් ඇය ඇගේ වතුවල රේන්ජ් රෝවර් රථය පදවාගෙන යාමට කැමැත්තක් දැක්වී ය.

* වෙනස් උපන්දින දෙකක් ඇය සතු වීම..

ඇය, 1926 අප්‍රේල් 21වැනි දින යෝර්ක්හි එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි ලෙස උපත ලැබුවාය. එසේ වුවද සෑම පොදු රාජ්‍ය මණ්ඩලීය රටක්ම සාම්ප්‍රදායිකව ඇගේ උපන්දිනය මැයි හෝ ජුනි මාසවල නම් කරන ලද දිනයක සැමරීම සිදු කරයි. එහෙත් රැජන තමාගේ සැබෑ උපන්දිනය තමාගේ පවුලේ හිතවතුන් සමඟ පුද්ගලිකව සැමරී ය.

* හමුදා සේවයේ ට්‍රක් රථ රියැදුරකු ලෙස සේවය කිරීම..

තම පියාගෙන් ඔහුගේ උරුමක්කාරයා ලෙස හමුදා සේවයට බැඳීමට ඉඩදෙන ලෙස ඉල්ලා එළිසබෙත් කුමරිය මාස ගණනක් බැගෑපත් වූවාය. අවසානයේ දී ඇගේ ඉල්ලීම ඉටු වී 18 හැවිරිදි එළිසබෙත් කුමරිය ලෝක යුද්ධ සමයේ දී කාන්තා සහායක භෞමික සේවයට සම්බන්ධ විය. දෙවැනි එළිසබෙත් වින්ඩ්සර් ලෙස හැඳින්වූ ඇය ආවරණ යුගලයක් පැලඳ කාර්මික සහ හමුදා ට්‍රක් රථ රියදුරකු ලෙස ලන්ඩනයේ පුහුණුව ලැබුවා ය.

හමුදා සේවයට රජ පවුලේ පිරිමින් සහභාගී වුවද රැජන හමුදාවට ඇතුළත් වූ එකම කාන්තා සාමාජිකාව විය. එපමණක් ද නොව, ඇය දෙවැනි ලෝක යුද්ධයේ දී හමුදා සේවයේ නියුතු වූ එකම ජීවමාන රාජ්‍ය නායකයා ද වේ.

* තම මංගල ඇඳුම සඳහා සලාක කූපන් මඟින් ගෙවීම් සිදු කිරීම..

එළිසබෙත් කුමරිය විවාහ වූයේ තම තෙවැනි ඥාති සොහොයුරා වූ (මස්සිනා) ග්‍රීසියේ හා ඩෙන්මාකයේ කුමාරයා වූ ෆිලිප් මවුන්ට්බැට්න් සමඟය. ඒ, 1947 වසරේ නොවැම්බර් 20 වැනි දිනයි.

එළිසබෙත් කුමරියගේ මංගල උත්සවය පවත්වනු ලැබුවේ දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමත් සමඟ ය. මේ කාලය ලෝකයම යම් ආර්ථික අර්බුදයකට මුහුණ දුන් කාලයකි. ඒ නිසා රැජන, තම මංගල ඇඳුම සඳහා ගෙවීම් සිදු කළේ තමාට ලැබුණු සලාක කූපන් පත් එකතු කිරීමෙනි. ඇත්දළ පැහැ (අයිවරි) සැටින් ගවුමක් සුදු පැහැ මුතු 10000 ක් අල්ලා අලංකාර කොට තිබිණි. එයට ඇය පැලඳුවේ සැටින් රෙද්දෙන් හැඩ කළ පාවහන් යුවළකි.

* තම සැමියාගේ නම භාවිතයට නොගැනීම..

එළිසබෙත් කුමරියගේ පියා පළමු ලෝක යුද සමයේ දී ඔවුනගේ පවුල් නාමය වින්ඩ්සර් ලෙස වෙනස් කරගන්නා ලදී. එමෙන්ම එළිසබෙත් කුමරියගේ සැමියා වන ෆිලිප් කුමාරයා තම පියාගෙන් ලැබුණු ජර්මානු පෙළපත් නාමය වන ස්ක්ලෙස්විග් -හෝල්ස්ටෙන් -සොන්ඩර්බර්ග් -ග්ලක්ස්බර්ග් යන නාමය වෙනුවට තම මුත්තණුවන්ගේ මවුන්ට්බැට්න් යන නාමය ඒ සඳහා භාවිත කළේය.

නමුත් එළිසබෙත් කුමරිය කිරුළ පැලැඳි පසුව ඇගේ මව හා එවකට බ්‍රිතාන්‍යයේ අගමැතිව සිටි වින්සන්ට් චර්චිල් රැජන තම සැමියාගේ මවුන්ට්බැට්න් නාමය භාවිත කිරීමෙන් වැළැක්වීමට හැකි සෑම දෙයක් ම කළේය.

එසේ වුවත් ඉන් වසර කිහිපයකට පසුව රැජන තමාගෙන් පසු දරුවන්ට එම පෙළපත් නාමය භාවිත කිරීමට අවසර ලබා දුන්නාය.

* 1976 වසරේ දී ඊමේල් පණිවුඩ යැවීම..

1976 මාර්තු මස 26 වැනි දින එළිසබෙත් මහ රැජන අන්තර්ජාල පහසුකම් ක්‍රියාත්මක කරමින් ඇගේ මුල්ම ඊමේල් පණිවුඩය යැවීය.

 

තොරතුරු අන්තර්ජාලයෙනි