මුද්දර නැන්දාගෙන් අලුත් ළමා කතන්දර පොතක්

පාට පාට චිත්‍ර සමඟ එන 'පුංචි ගැහැනු ළමයා'
සැප්තැම්බර් 26, 2022

 

ළමයින්ගේ ලෝකයේ පාට පාට නැන්දා, සමනල නැන්දා, කිටී නැන්දා මෙන්ම මුද්දර නැන්දා ඇයයි. ඇය නමින් සමන්ති මිරියගල්ල.

මුද්දර නැන්දා මාධ්‍යවේදිනියක්, චිත්‍ර ශිල්පිනියක්, නිවේදිකාවක් වගේම 2021 වනිතාභිමාන ජාතික සාහිත්‍ය සම්මානය ලද දක්ෂ ලේඛිකාවක්. ඒ විතරක් නෙමේ ඇය අත්කම් නිර්මාණ කරන්නත් හරිම දක්ෂයි. පාට පාට රිබන් මඟින් සිඟිති දියණියන්ට වගේම වැඩිහිටි කතුන්ගේ හිස සරසන්නත් අපූරු නිර්මාණ කරනවා. ඒවායේ ඇත්තේ පුදුමාකාර ලස්සනක්.

1994 අවුරුද්දෙ චණ්ඩි ළමා පුවත්පත හරහා වෘත්තීය මාධ්‍ය දිවියට පිවිසුණු ඇය මේ වන විට වසර 28ක් පුරා මාධ්‍යය වෘත්තියේ නියැළෙනවා. ඒ වගේම ඇය ස්ථිර රැකියාවේ යෙදෙන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශයේ.

මෙවර සාහිත්‍ය මාසය වෙනුවෙන් අලුත්ම ළමා කතන්දර පොතක් ඇය දරුවන්ට තිළිණ කරනවා. ඒ තමා “පුංචි ගැහැනු ළමයා” කෘතිය. මෙමඟින් කියැවෙන්නේ අපූරු, දක්ෂ, ආදරණීය පුංචි ගැහැනු ළමයෙක් ගැනයි. මෙහි විශේෂත්වය වෙන්නේ මේ අපූරු කතාව චිත්‍රයට නඟන්නෙත් ඇය විසින් වීමයි.

කුඩා කල තමන් ගත කළ අපූරු, නිදහස් ළමා වියත්, පරිසරය හා සතුන් සමඟ තිබූ ළබැඳි සම්බන්ධයත් පවුලේ එකම දරුවා ලෙස ආදරය මැද හැදුණු වැඩුණු නිසාත් දරුවන්ගෙ ලෝකයට කතා ගොතන්නත්, චිත්‍ර අඳින්නත් අවස්ථාව ලැබුණු බවයි ඇය කියන්නේ.

ඒ වගේම ආදරණීය මාපියන් තමන්ට නිදහසේ සිතන්නට, පෑන හසුරුවන්නට ඉඩ දුන් නිසා බල කිරීමකින් තොරවම තමන් කැමැති ක්ෂේත්‍රයක කටයුතු කරන්න වාසනාව ලැබී තියෙනවා. ඒ වගේම මුලකුරු කියවපු විදුහල්පති ඒ. එම්. කේ. ධනසේකර මහතා වගේම ප්‍රාථමික අධ්‍යාපන පන්තිවලදී හමුවු නන්දා පෙරේරා ගුරුතුමිය ඇගේ ජීවිතයට අත්තිවාරම වී ඇත.

සමන්ති මිරියගල්ල ලේඛිකාව කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්.

ඇය ගෝතමී බාලිකාව වෙත යාම පිටුපසත් අපූරු කතාන්දරයක් තියෙනවා. සමහරවිට මේක කවුරුත් නොදන්න කතාවක් වෙන්නත් පුළුවන්.

පුංචිම කාලෙ ඇය ගමේ පාසලට බාර දෙනවා. ඒ තමයි දැඩිගමුව කනිෂ්ඨ විද්‍යාලය. බෝනික්කියක් වගේ ලස්සන මේ කෙළි පොඩිත්තිට බාලාංශ පන්තියේ යෙහෙළියන් රැසක් ම හමුවෙනවා. ඒ යෙහෙළියන්ගේ පදිංචිය සමන්තිගේ නිවෙසින් දුර බැහැරයි. ඉතින් තමන්ට හමු වූ අලුත් යෙහෙළියන් අතරින් දෙතුන් දෙනෙක් එක් දිනෙක පාසල අවසානයේදී සමන්තිව ඔවුන්ගේ නිවෙසට රැගෙන යනවා. ඒ ගෙදර ගිහින් නැවතත් එන්නයි.

ඒත් මේ අතර සිදුවෙන ක්‍රියාදාමය සුළු නැහැ. තමන්ගේ එකම දියණිය පාසල නිම වී නිවෙසට පැමිණෙන වෙලාව බොහොම ප්‍රමාද වෙනවා. ඇය සමඟ එන අනෙක් යෙහෙළියත් නැහැ. සමන්තිගේ අම්මා පාසලට එනවා දියණිය හොයා ගෙන. ඒත් තමන්ගේ ඇස් දෙක වගේ ඉන්න එකම දියණිය නැහැ. කොහේ ගිහින් ද කියලා කවුරුත් දන්නෙත් නෑ. අම්මාගේ මුවින් නැඟෙන්නේ විලාපයක්. ඒ විලාපයෙන් මුළු ගමම පාසල ළඟ. හැමෝම එකතු වෙලා දරුවන් දෙදෙනා සොයනවා. පාසලට භාර දීලා මාස දෙකක්වත් නැහැ.

මෙන්න, අවසානයේ දියණිය හිමි හිමින් තමන්ගේ යෙහෙළියන් සමඟ පැමිණෙනවා. එදා තමයි සමන්ති ඒ යෙහෙළියන් සමඟ ගෙවපු අවසන් දවස. ඒ පාසල වෙත යාමත් එතැනින්ම අවසන් වෙනවා. ඉන්පසු සමන්ති ගේ පාසල කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලය වෙනවා.

ඒවා දරුවන්ට නම් මිහිරි මතක. ඒත් ඇත්තටම සමන්තිගේ අම්මාගේ හිත අද අපිට හඳුනාගත හැකියි.

පාසල් අධ්‍යාපනයෙන් පස්සේ සමන්ති උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට යොමු වෙලා ශ්‍රාස්ත්‍රවේදී මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා උපාධිය හදාරනවා. එම විශ්වවිද්‍යාලයේම ලේඛකත්ව හා සන්නිවේදන ඩිප්ලොමාව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය ඩිප්ලෝමාව, ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ මානව සම්පත් සංවර්ධන ඩිප්ලෝමාව ආදී විවිධ පාඨමාලාවන් රැසක් ද ඇය හදාරනවා.

ළමා කතන්දර රචිකාවක් හා චිත්‍ර ශිල්පිනියක් ලෙස කටයුතු කළත්, ඇය ළමයින්ගෙ මුද්දර නැන්දා බවට පත් වෙන්නෙ 2016 වසරේ ලෝක ළමා දින මුද්දරය නිර්මාණය කිරීමත් සමඟින්. ඉන් අනතුරුව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යායංශයට අයත් 2016 පරිවාස දින ළමා කොඩිය, ළමා දින නිල ලාංඡනය, 2017 ලෝක ළමා දින නිල ලාංඡනය හා පරිවාස දින කොඩිය නිර්මාණය කරනවා. 2016 ගැහැනු දරුවාගේ දිනය වෙනුවෙන් ජාතික කාන්තා කමිටුව ප්‍රකාශයට පත් කළ ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ ළමයින් දැනුම්වත් කිරීමේ “යෞවනයයි ආදරයයි” නමැති අත්පොත රචනා කර සිතුවම් නිර්මාණය කරනවා.

2016 ලෝක ළමා දින මුද්දරය නිර්මාණයෙන් පස්සෙ තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය හරහා ඇයට ඇරැයුම් ලැබෙනවා 2017 වෙසක් මුද්දර ත්‍රිත්වය නිර්මාණය කරන්න. පසුව 2018 වෙසක් සමරු මුද්දර ත්‍රිත්වය. නැවත 2020 ලෝක ළමා දින මුද්දරය, 2020 සුදු සැරයටි සුරක්ෂා දින මුද්දරය, 2021 ජාතික හස්ත කර්මාන්ත මුද්දර දහයක්. වශයෙන් විවිධ මුද්දර 20 කට ආසන්න ප්‍රමාණයක් දැන් ඇය නිර්මාණය කරලා තියෙනවා.

මීට අමතරව කතන්දර පොත් පිටකවර සහ සිතුවම් කරනවා වගේම ඇය පුවත්පත් කිහිපයක නිදහස් මාධ්‍යවේදිනියක ද වෙනවා. මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ තේමා ගීතයත් ඇගේ නිර්මාණයක්. ඒ වගේම ජාතික රූපවාහිනියේ සමෘද්ධි නිවාස වාසනා ලොතරැයි වැඩසටහනේ නිවේදිකාව සහ සමෘද්ධි වෙබ් රේඩියෝවෙහි නිවේදිකාවක් ලෙසත් කටයුතු කර තියෙනවා.

ක්ෂේත්‍ර රැසක් සමඟ තම කුසලතා හුවමාරු කර ගනිමින් සමාජය, කලාවෙන් හා මාධ්‍ය මඟින් පෝෂණය කරන්න ඇයට හැකියාව ලැබී තියෙනවා. ඇගේ නවතම ළමා සාහිත්‍ය කෘතිය ළමයින්ගේ ලෝකයට අලුත් බලාපොරොත්තුවක් වේවි.

“පුංචි ගැහැනු ළමයා”පොත මඟින් ජීවිතයට ආදරය කරන්න, සතුට ආදරය බෙදා හදා ගන්න, පාට පිරුණු ලෝකයක් ගොඩනඟන්න ඇය දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් පණිවුඩයක් දෙනවා.