'Goodbye' සමඟ රශ්මිකා හින්දි සිනමාවට

ඔක්තෝබර් 3, 2022

 

National crush of India

ලෝකය වසඟ කරගන්නා සුරූපිනියන් දිනෙන් දින දෑස් හමුවට එනවා. ඉන්දියාවේ රශ්මිකා මන්දනාත් ලොවක් වසඟ කළ සුරූපිනියක්.

 

දකුණු ඉන්දීය සිනමා දායාදයක් ලෙසින් තාරුණ්‍යයේ හද සොරා ගත් ඈ තෙලිඟු හා කන්නඩ සිනමාවේ ජනප්‍රිය තරුවක්. මේ මාසයේ නිකුත් වීමට තිබෙන අමිතාබ් භච්චන්, නීනා ගුප්තා ප්‍රමුඛ තරු රැසක් රංගනයෙන් දායක වන 'Goodbye' සිනමා සිත්තමේ ප්‍රධාන නිළිය රශ්මිකායි. මෙය විකාෂ් බාහිගේ අධ්‍යක්ෂණයකි.

 

1996 අප්‍රේල් 5 වැනි දා ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ උපන් රශ්මිකා සිය මුල් පාසල් අධ්‍යාපනය කොඩගු හි කූර්ග් පොදු පාසලෙන් සම්පූර්ණ කර ඇත. බැංගලෝර්හි එම්. එස්. රාමයියාහ් කලා, විද්‍යා සහ වාණිජ්‍ය උසස් පාසලෙන් මනෝවිද්‍යාව, පුවත්පත් කලාව සහ ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ උපාධියක් හදාරා තිබේ. 2016 වසරේ දී 'ක්‍රිටික් පාටි' නම් කන්නඩ සිනමා සිත්තමෙන් ඇය රංගනයට පිවිසීය. එහි රංගනය වෙනුවෙන් දකුණු ඉන්දීය අන්තර්ජාතික සිනමා සම්මාන උ‍ෙලළේ හොඳම නිළියට හිමි සම්මානය ද දිනා ගත්තාය. එම සිනමා සිත්තම ජනප්‍රිය වීමත් සමඟ මන්දනාගේ ජනප්‍රියත්වය වාර්තාගත ලෙසින් ඉහළ නැඟිණි.

 

2017 දී රශ්මිකා කන්නඩ චිත්‍රපට දෙකක් වන 'අංජානි පුත්‍ර' සහ 'චමාක්' හි රංගනයට එක් විය. Chamak චිත්‍රපටයේ ඇයගේ භූමිකාව වෙනුවෙන් 65 වැනි දකුණු ඉන්දීය ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම නිළිය - කන්නඩ සඳහා නිර්දේශ විය.

 

2018 දී, ඇය විජේ දේවරකොන්ඩා සමඟ 'ගීතා ගෝවින්දම්' චිත්‍රපටයේ රඟපෑ අතර, එය ද අතිශයින් සාර්ථක විය. එම රංගනය වෙනුවෙන් 66 වැනි දකුණු ඉන්දීය ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම නිළිය - විචාරක සම්මානය හිමිකර ගත්තාය. 2020 දී, රශ්මිකා, මහේෂ් බාබු සමඟ තෙළිඟු චිත්‍රපටයක් වන Sarileru Neekevvaru හි රඟපෑ අතර, එය වැඩිම ආදායමක් උපයාගත් තෙළිඟු චිත්‍රපටවලින් එකක් බවට පත් විය. එම වසරේම ඇය 'භීෂ්මා' චිත්‍රපටයේ පෙනී සිටියාය. ඉන්පසු 'පොගාරු', 'සුල්තාන්', 'පුෂ්පා -ද රයිස්', ' සීතා රාමම්' ආදී බෙහෙවින් ජනප්‍රියත්වයට පත් චිත්‍රපටවලට රංගනයෙන් දායක විය. මෙලෙස රංගන දිවිය සාර්ථක වෙමින් ඉදිරියට යන ඇයට හොඳම නිළිය ලෙසින් තවත් සම්මාන කිහිපයක්ම හිමි විය. 'පුෂ්පා -ද රයිස්' චිත්‍රපටයේ ඇය රැඟූ 'සාමි සාමි' ගීතය බෙහෙවින් ජනප්‍රිය විය.

rashmika_mandanna නම් ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මේ වන විට මිලියන 33.4 ක රසික පිරිසක් හිඳී. එහි ඇගේ සොඳුරු ඡායාරූප බොහෝය. වැඩිම ඉන්ස්ටග්‍රෑම් රසික පිරිසක් දිනා සිටින දකුණු ඉන්දීය නිළිය ඇයයි. ඉන්ස්ටග්‍රෑම් දෙවැනි තැන හිමිකර ගෙන හිඳින්නේ සමන්තා රූත් ප්‍රභූ ය. කීර්තී සුරේෂ්, තම්මැන්නා හා ස්රුතී හසන් ආදී අනෙක් සියල්ලන්ම හිඳින්නේ සමන්තාටත් පිටු පසිනි. ඒ නිසාම මේ වන විට මන්දනාගේ ජනප්‍රියත්වය අධික වේගයකින් ඉහළ යමින් තිබේ.

 

'ගුඩ්බායි' හින්දි සිනමා සිත්තම එළිදැකි විට ඇගේ ජනප්‍රියත්වය තවත් ඉහළ යනු ඇතැයි විචාරක මතයයි. ඉන්දියාව පුරා විශාල රසික පිරිසක් දිනා ගැනීමත්, ඉන්දියාවේ ජනප්‍රියම රංගන ශිල්පිනිය බවට පත් වීමත් සමඟ බොහෝ දෙනා ඇය හඳුන්වන්නේ 'National Crush of India' යනුවෙනි.

 

රශ්මිකා 2014 වසරේ Clean

 

 

& Clear 'Times Fresh Face' කිරුළ දිනාගත් විට ජනප්‍රිය වීම ඇරැඹිණි. එය ත්‍රිව්‍ර වූයේ ඇගේ සිනමා ආගමනයත් සමඟය. අද ඇය විචාරාත්මක, කලාත්මක හා වාණිජමය සාර්ථකත්වයක් අත්විඳින නිළියකි.

 

රංගනයේ දී ඇයටම ආවේණික ශෛලියක් ගොඩ නඟාගෙන ඇති රශ්මිකා ට ඇයටම විශේෂ වූ පෙනුමක් ද හිමිය. ඇය සෑම විටම තම පෙනුම, පෞරුෂය, විලාසිතා හා රුව ගැන සැලකිලිමත් වන තරුණියකි. එමෙන්ම ඇගේ රඟපෑම මේ තරම් මුහුකුරා ගොස් ඇත්තේ රංගනය වෙනුවෙන් ඇය දක්වන කැපවීම නිසාමයි. ඇය වෙහෙස මහන්සි වී වැඩ කරන නිළියක් ලෙස ද ප්‍රකටය.

 

තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි