මට ඕනෙ වුණේ මඳසරු බව ගැන විතරක් කියන්නම නොවේ

ශමීර රංගන නාඔටුන්න සිහින නෙළුම් මල් ගැන කියයි
සැප්තැම්බර් 9, 2024

 

ලෝකය ඒකාලෝක වන්නේ හිරු මිහිමත නිර්ලෝභීව පතුරුවාලන රශ්මි කදම්භයෙනි. ඒ හිරු එළියේ අපරිමිත සුව විඳගන්නා මිලියන සංඛ්‍යාවක මිනිස් ප්‍රාණ ජීවින් මෙලොවට බිහි කරනු ලබන අම්මා ලෝකය බබළවාලන්නේ හිරුටද ඉහළින් වැජඹෙමිනි.ඒසා එ්තරමට ගෞරව නාමයක් මෙදියත තුළ වෙනත් කිසිදු තැනක හමුනොවේ. ඒ ආදරණීය උත්තුංග නාමය ලැබීම මිහිමත බිහිවන සෑම ගැහැනියකගේම පරම පිවිතුරු සිහිනයයි.

 

ඒ සිහිනය විකසිත කර ගැනීමට නොහැකි වූ තැන හට ගන්නා ඛේදනීය ඉරණම කොතරම් ශෝකානුකූල සමාජ ව්‍යසනයක්ව පැතිරී ඇත්දැයි මේ සමාජය දෙස බැලීමේදී උදාහරණ සහිතව අපට හමුවේ.

මේ ජීවන රටාව සමඟ වයස අවුරුදු 25- 30 කාලයේදී යුවතියක් විවාහ පත්වේ.ආර්ථිකයේ බලපෑම් මත පවුල් කුටුම්බය තුළ අනවරත ජීවිතයක් ගත කරනු ලබන ගැහැනියගෙන් ඉන් අනතුරුව සමාජය බලාපොරොත්තු වන්නේ දරුවෙකි.

 

"බැඳල කොච්චර කල්ද ?තාම ළමයි නැද්ද?

 

ආසියානු කළාපයේ කාන්තාවට සමාජීය පීඩාවන් ගෙන දෙන මෙම ප්‍රශ්නය එන්න එන්න ඔඩුදුවමින් තිබේ. මේ සමාජීය පීඩනය හේතුවෙන් ආසියානු කලාපීය කාන්තාව විශාල වශයෙන් පීඩා විඳින අතර ඒ හරහා එල්ලවන දැඩි මානසික පීඩනය කාන්තාව සියදිවි හානිකර ගැනීම දක්වා ප්‍රවර්ධන වෙමින් පවතී.

මෙම ප්‍රශ්නය පිළිබඳ සියුම් මානයකින් සහ ගැඹුරු දෘෂ්ටියකින් කතා බහ කිරීමට ශ්‍රී ලංකාවේ තරුණ සිනමා අධ්‍යක්ෂවරයකු තම නිර්මාණ වේදිකාව භාවිත කර ඇත.

හෙතෙම ශමීර රංගන නාඔටුන්නයි.

 

ශමීර අධ්‍යක්ෂවරයකු ලෙසින් සිංහල සිනමා අඹරට පායන්නේ මීට වසර අටකට ඉහතදී'මෝටර් බයිසිකල්' සිනමා කෘතිය සමඟිනි. ඉන් පෙර ඔහු ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරුන්ගේ කෘතීන් හා අත්වැල් බැඳගත් සහාය අධ්‍යක්ෂවරයෙකි. තාරුණ්‍යයේ හදවත් අමතන අපූරූ සිනමා සිත්තමක් වූ 'මෝටර් බයිසිකල්' මෙරට හා ජාත්‍යන්තර සිනමා උළෙලවලදී සම්මානනීය වූ කෘතියකි. එය 34වැනි සරසවිය සම්මාන උළෙලේදී සම්මාන හතකින්ම ඇගයුමට පාත්‍ර වූවකි.

වසර 8ක ඇවෑමෙන් පසු 'රිදී තිරයට එක්වන 'සිහින නෙළුම් මල්' චිත්‍රපටයේ තිරරචන කතා සංදර්භය ශමීරගේමය.

 

"මම ගොඩක් වෙලාවට සමාජය එක්ක ගැටෙන චරිතයක්. ඒ නිසා මට විවිධ මිනිස්සු වගේම විවිධ සමාජ පන්තීන් හමුවෙනවා. ඒ සමාජයන්හි මනෝභාවයන් එක්ක තමා මේ නිර්මාණය බිහිවෙන්නෙ. මොකද අපට හමුවෙනවා නිතරම යාළුවන්ගේ ප්‍රශ්න සහ ගැටලු. මඳ සරු බව නිසා ශ්‍රී ලංකාවේ ඇතුළු ආසියාතික කලාපයේ වැඩිපුරම දුක් විඳින්නේ ගැහැනු. පිරිමියා කියන සාධකයට වඩා පුරුෂ මූලික සමාජයේ කාන්තාවට එල්ලවන පීඩනය උපරිමයි. මම මේ නිර්මාණය හරහා කතා කරන්න සාකච්ඡා කරන්න උත්සහ ගන්නේ ඒ සංදර්භය.

 

සැබෑවටම ශමීර මේ නිර්මාණය හරහා කතා බහට ලක් කරනු ලබන්නේ බොහෝවිට සමාජය විසින් සඟවා තබා ගන්නට උත්සහ දරණ නමුත් කඩතිර යොදා වසා තැබිය නොහැකි ප්‍රශ්නයකි. කාන්තාවගේ ජීවන චක්‍රය මත ප්‍රශ්නාර්ථයක්ව පරාවර්තනය වන මෙම සමාජීය ගැටලුව සිහින නෙළුම් මල් හි යථාර්ථවාදීව කතා බහ කරනු ලැබේ.

 

මෙම චිත්‍රපටයේ කතා ප්‍රධානීන්වන නයෝමි සහ සහන් මඳ සරුබව හේතුවෙන් පීඩා විඳිති. චිත්‍රපටකරුවා මෙම සියුම් නිර්මාණය හරහා සමාජ ගත කිරීමට උත්සහ දරන්නේ එහි ඇති ඛේදනීය යාථාර්තයයි.

 

සමාජයට ගැඹුරු පණිවිඩයක් දීමේ අභිලාෂයෙන් මෙවැනි තේමාවක් පාදක කරගන්නට ශමීර සිතයි. දරු සිහිනය සැබෑ කරලන්නට නොහැකිව ළතැවෙන පිරිස් ඔබ මා අතරද කොතෙකුත් සිටියි. ශමීර තමා අතර සිටින එවැන්නන්ගේ පීඩාකාරී මනසට අස්වැසිල්ලක් වන්නට තෝරා ගත්තේ තම සිනමා කෘතියයි.

"මට ඕනෙවුණේ මඳසරු බව ගැන විතරක් කියන්න නෙවේ. ඒ හා බැඳුණු ආසියානු කාන්තාවගේ සැබෑ ජීවිතය ගැන කතා කරන්න. ඒ හරහා සමාජයට පණිවිඩයක් දෙන්නයි මම මේ නිර්මාණය කළේ. සෑම කාන්තාවක්ම මේ චිත්‍රපටය නරඹන්න ඕ‍ෙන තමන්ගේ කතාව වගෙයි.එතකොට මේ සමාජීය ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙයි.

ශමීර තම නිර්මාණය ගැන පවසන්නෙ එවැන්නකි.

 

අතිශය සංවේදී ප්‍රශ්නයක් හමුවේ තවත් කෙනකුගේ ජීවිතයට එබී බලන්නට පෙර දෙවරක් සිතිය යුතු යැයි ශමීර තම නිර්මාණයේ රූපරාමු ඔස්සේ, දෙබස් ඔස්සේ දනවන්නට උත්සාහ කරයි.

'සිහින නෙළුම් මල්' සමඟින් හේමාල් රණසිංහ සහ දුශේනි සිල්වා සංකලනය හරි අපූරූවට ගළපමින් අපූරු නිර්මාණයක් ප්‍රේක්ෂකයා වෙත තිළිණ කරයි.

 

තරු ගුණය සහිත රංගන ශිල්පි ශිල්පිනියන් දෙදෙනෙක් නයෝමි සහ සහන් ලෙස තෝරා ගැනීමේ අපේක්ෂාව ශමීර මෙන්ම එහි නිෂ්පාදක වරුණ අරඹගේ තුළද තිබූ කාරණයකි. හේමාල් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකාගාරය හැකියාවෙන් ආක්‍රමණය කළ ජනප්‍රිය නළුවෙකි. හේමාල්ට ගැළපෙන රංගන ශිල්පිනියක් සොයා යන ගමනේදී රූපයෙන් මෙන්ම ජනප්‍රියත්වයෙන්ද නොඅඩුව සිටින දුෂේනි පිළිබඳ ශමීරගේ සිතට පැමිණ ඇත. ශමීරගේ තෝරා ගැනීම නිවැරැදිම එකක් බව චිත්‍රපටය නරඹන ඕනෑම කෙනකුගේ සිතට නැඟෙන කාරණයකි. මේ දුෂේනිගේ දෙවැනි සිනමා කෘතියයි. 'සිංහබාහු' චිත්‍රපටයෙන් පසු දුශේනි 'සිහින නෙළුම් මල්' චිත්‍රපටයේ රඟන්නේ වෙනස්ම චරිතයකි.

'සිහින නෙළුම් මල්' තිරගතවී සයවැනි දිනවන විට රුපියල් කෝටිය පැන්නූ ආදායමක් ගෙන ඒමට ලැබීම සිංහල සිනමාව කඩා වැටී නැති බවට ශමීර ගෙන දුන් හොඳම පිළිතුරයි.

'මෝටර් බයිසිකලය' චිත්‍රපටය නිමවා වසර අටකට පසු 'සිහින නෙළුම් මල්' ගෙන ආ ශමීර තම ඊළඟ සිනමා සිත්තම පමා නොවී ගෙන එන උත්සාහයේ මේ දිනවල නිරත වෙයි.

' එඪටඥ ' ලෙස නම් කොට ඇති එයද කාලීන තේමාවක් ඔස්සේ දිගහැරෙන පවුල් ජීවිතයට බද්ධ වූ නිමැවුමකි.

දකුණු ආසියාතික කාන්තාව පීඩා විඳින මඳසරු බව සහ එහි ගැඹුරු මනෝභාවයන් පිළිබඳ සිහින නෙළුම්මල් ගැඹුරු දාර්ශනික මෙන්ම සරල ‍රසවින්දනාත්මක විග්‍රහයක යෙදෙයි. එම මලෙහි විකසිත සුවඳ ප්‍රතිඵලය සැබෑවටම විඳගත හැකිවන්නේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් මේ සොඳුරු සංවේදී කතාන්දරය නරඹා එහි හරය තේරුම් ගනිමින් සමාජ ගත කිරීම හරහාය.