13 වැනිදා එළිදකින "නොදුටු මුත්තා"

සැප්තැම්බර් 9, 2024

කෘතහස්ත පුවත්පත් කලාවේදියකු වූ ශ්‍රීලාල් හික්කඩුව ලියනගේ මහතා හිටපු දිනමිණ හා සිළුමිණ පුවත්පත්වල ප්‍රධාන කතුවරයෙකි. එමෙන්ම නවයුගය අර්ධ මාසික සඟරාව, මිහිර ළමා පුවත්පත හා තරුණී කාන්තා පුවත්පත එතුමන් විසින් ආරම්භ කරනු ලැබීය.

තොරතුරු ගවේෂණය කොට එතුමන්ගේ ජීවිත කතාව ඇසුරින් ලියූ "නොදුටු මුත්තා" කෘතිය ලබන 13 වෙනිදා ‍ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී සවස තුනට එළිදැක්වීමට නියමිතය. එය එතුමන්ගේ මී මුනුපුරෙකුවන එස්. එස්. දිල්නුක සිල්වා පුතු රචිත කෘතියකි. ඔහු මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ නවය ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

මෙම කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට සම්මානිත මහාචාර්ය ජේ.බී.දිසානායකයන් හා සුනන්ද මහේන්ද්‍රයන් ප්‍රධාන ආරාධිතයන් ලෙස පැමිණීමට නියමිතය. ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය විජයානන්ද රූපසිංහ මහතා විසිනි. ප්‍රවීණ පුවත්පත් කලාවේදී පර්සි ජයමාන්න, තිලකරත්න කුරුවිට බණ්ඩාර හා රූපවාහිනී සංස්ථාවේ සභාපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහත්වරුන් සෙසු දේශන පැවැත්වීමට නියමිතය.