වර්ෂ 2024 ක්වූ November 04 වැනිදා Monday
රුවක වැළලුණු රුවැත්තී
වේල්සයේ රෝස කුසුම පිළිබඳව අපි නොයෙක් කතා අසා ඇත්තෙමු. නොයෙක් සිදුවීම් අපි මනසින් චිත්රණය කර ඇත්තෙමු. එහෙත් මසැසින් ඇයව දකින්නට තරම් බොහෝ දෙනෙකුට වරම් නැතිවිය. එහෙත් වේල්සයේ රෝස කුසුම පිළිබඳ චිත්‍රපටය බොහෝ දෙනා සසල කරන්නට තරම් සමත්විය. අප මේ කතා කරනු ලබන්නේ 2013 දී Oliver Hirschbiegel අධ්‍යක්ෂණය කරනු ලැබූ "Diana" චිත්‍රපටය පිළිබඳවයි. ඩයනා සම්බන්ධව පවතින ප්‍රේමණීය සිදුවීම්, කාරුණික වදන් මෙන්ම සිත්බැඳ ගන්නා සුලු රූපකාය නැවත නැවතත් ඇයව පෙම්බඳින්නන්ට, මතකාවර්ජනයක් ලෙසින් කරළියට පැමිණියේ ඔස්ට්‍රේලියාවේ කුඩා දරුවකු පෙර සසරක් පිළිබඳ කතාවක් කියන්නට සමත් වීමත් සමඟින්. කුඩා දරුවා පැවසුවේ තමා ඩයනා බවයි.
ඒ කෙසේ වුවත් ඩයනාගේ සොඳුරු සිදුවීම් පිරි මෙකී චිත්‍රපටය තිරගත වූවේ ඩයනා මියගොස් වසර 16කට පසුවය.
චිත්‍රපටය පුරා කියැවෙන්නේ ඩයනාගේ ජීවිතයේ අවසන් වසර දෙකයි. එනම් 1996දී චාල්ස් කුමරුගෙන් දික්කසාද වූ පසු වසර දෙකයි. 2001 වසරේදී Kate Snell විසින් රචිත Diana Her Last Love ග්‍රන්ථය පදනම් කරගනිමින් චිත්‍රපට කතාව ලියැවී තිබිණි.
ප්‍රේමයට නිසි තැනක් නැත, රිසි තැනක් තැන එහෙත් කවරකු සිත තුළ හෝ ප්‍රේමණීය මල් පිබිදෙන්නේ අහඹුබකින්ද විය හැකිය. ඩයනා වරක් රෝහලට යන්නේ තම මිතුරියකගේ අසනීපව සිටින ස්වාමියා බැලීමටය. රෝහලට ගිය ඇයව බොහෝ දෙනාගේ අවධානයට යොමුවූවා. නමුත් කිසිම මොහොතක, කවර ආකාරයෙන් හෝ ඩයනා පිළිබඳව තැකීමක් නොකරන ඇය පිළිබඳව අවධානය යොමු නොකරන පුද්ගලයෙක් ඩයනාගේ නෙත ගැටුණා. පකිස්තානු ජාතිකයෙක් වූ ඔහු සිිටියේ හෘදරෝග විශේෂඥයකු ලෙසින් එම රෝහලේ සේවය කරමින්. මුළු රෝහලේදීම පිරිස ඇය පිළිබඳව සුවිශේෂි අයුරින් අවධානය යොමු කළ ද ඩයනාගේ සිතට කාවදින්නේ මෙම වෛද්‍යවරයාගේ හැසිරීම් රටාවයි. ඔහු නමින් Dr. Hasan Khan. මේ සියලු සිත් බිඳීම්, සිත් තැවුල් අතර හමු වූ මේ පුද්ගලයා පිළිබඳව අවසන ඇයගේ සිත තුළ මතුවන්නේ හිතවත්කමටත් එහා ගියා බැඳීමකි. ප්‍රේමය අංක එක වන්නේ එතැනදීය.
ඩයනාගේ නැවුම් ෙප්ර්මයත් සමඟ චිත්‍රපටය දිගහැරෙන්නේ බෝ්ම්බ භාවිතයට එරෙහිව ඇය ගෙන යන ක්‍රියාමාර්ගය පිළිබඳ සිදුවීම් මාලාවකි. මේ සමඟම බොස්නියා,පකිස්තාන්, නිව්යෝර්ක්, ඕස්ට්‍රේලියා ඇතුළු රටවල් ගණනාවකම සංචාරයක් පිළිබඳ දැක්වෙන අතර මේ සියලු සිදුවීම් මැද ඩයනාගේ සිතෙහි තිබූ එක් සිතුවිල්ලක් වූයේ Dr. Hasan සමඟ තම ඉදිරි ජීවිත කාලය ද ගෙවා දැමීමයි.
එහෙත් අහඹුව ඇති වූ ප්‍රේමය වුව සැණෙකින් බිඳීයාම පිළිබඳව කවරකුට හෝ අගලුතැබිය නොහැකිය. ඩයනාගේ සහ වෛද්‍යවරයාගේ නැවුම් ප්‍රේමය බිඳී යාමට හේතුන් දෙපාර්ශ්වයෙන්ම පැන නැඟී තිබිණි. ඩයනාගේ ජනප්‍රිය ජීවිත චරිතය මෙන්ම වෛද්‍ය හසන් සතුව පවතින නොෙයක් ආකාරයේ වෙනස් වූ බලාපොරොත්තුත් ප්‍රේමයේ විරසකය වෙනුවෙන් මුල්විණි. ප්‍රේමය බිඳීගිය තැන පටන් ඇයට අවැසි වූයේ ඔහුට රිදවීමට මෙන්ම ඔහුගේ සිතතුළ ඊර්ෂ්‍යාවක් අැතිවන පරිද්දෙන් තම ජිවිතය ගලායෑමට සැලැස්වීමයි. එයට හොඳම තුරුම්පුව ලෙසින් ඇය තෝරාගන්නේ ව්‍යාපාරිකයකු වන ඊජිප්තු ජාතික Dodi Fayed සමඟ ප්‍රේමයෙන් වෙළිමයි.
ප්‍රේමය බිඳීයෑම මෙන්ම ජීවිතය හැරදමා යාම ඩයනා වෙත ඉතා ඉක්මනින් ළඟා වූ කාරණාය. ජීවිතය බිඳ වැටීම් ප්‍රේම සබඳතා අසාර්ථක විම් මෙන්ම හුදෙකලා වීම හමුවේද අවසන ඇයට සිදුවූයේ අලුත් පෙම්වතා සමඟින් පැරිසියේ උමං මාර්ගයක් තුළ සිදු වූ අනතුරකින් මිය යාමටයි. චිත්‍රපටය පුරා ඩයනාගේ අවසන් වසර දෙක පිළිබඳව විකාශය වුවද ඇයගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ කිසිත් චිත්‍රපටයේ විකාශය වන්නේ නැත.
එහෙත් බැංකිහැම් මාලිගය ඉදිරිපස ඇයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ජනයා අතරින් කවිපද කිහිපයක් ලියා මල් කළඹක් තබා යන්නෙකු දැකිවෙන වෙනවා. ඒ ඔහුගේ අවසන් පැතුමයි. ඔහු අන් කවරකුවත් නොවේ. කලකට ඉහත ඇයට පෙම් කළ වෛද්‍යවරයා වූ Dr. Hasan Khan ය.
චිත්‍රපටයේ ආරම්භයේදී ඩයනාගේ චරිතය නිරූපණය කිරීමට Jessica Chastain ආරාධනා ලැබුවද දින වෙන් කරගැනීමේ ගැටලුව නිසා එම අවස්ථාව ලැබුණේ Naomi Watts වෙතයි. එමෙන්ම චිත්‍රපටයේ පෝස්ටරය වෙනුවෙන් නිෂ්පාදක කණ්ඩායම මුලදී යොදාගෙන තිබුණේ ඩයනා අනතුරට ලක් වූ උමඟ අසල ඡායාරූපයක් වුවත් පසුව එය වෙනස් කිරීමට තීරණය කරන ලදී.
කොයිහැටි වෙතත් චිත්‍රපටය අවසානයේ අපට අවබෝධ කරගන්නට කාරණාවක් තිබේ. මිල මුදල් කවර සැප සම්පත් පැවැතිය ද ජීවන රේඛාව ඔස්සේ බොහෝ දෙනෙකුට නිරවද්‍යතාවයෙන් යුතුව ගමන් මඟ යා නොහැකි බවයි.
සරලවම සිතන්නේ නම් ‘සුරූපී රූපකායන් තුළ නිහඬවම වැලපෙන කාන්තාවන් කොපමණ සිටිද?“ යන්නයි.