සොඳුරු වර්ණ රටා මවන රේන් ලිලී මල් කුමරිය

මල් ලෝකය
ජනවාරි 23, 2023

සොඳුරු වර්ණ රැසකින් චමත්කාර මල් පිපෙන තවත් අපූරු ශාකයකි. ‘රේන් ලිලී’ වසර ගණනාවක පටන් මෙරට ගෙමිදුල් හැඩ කරන මේ මල් කොමළිය මල්වලට පෙම් බඳිනා බොහෝ පිරිසකගේ නොමඳ ආදරය දිනා ගත්තියකි.

 

ප්‍රභේද රැසක්

මෙරට මල් වෙළෙඳපොළ තුළ රේන් ලිලී වර්ග රැසක් දැකිය හැකියි.

*සුඩ්ටීරක් ලිලී (Rain lily Sudteerak)

*චින්ඩා ලිලී (Rain lily chinda)

*සෙපියන්තස් ලිලී (Rain lily zephyranthes)

*රේන් ලිලී පීස් (Rain lily pies)

*අවුරෝරා (Rain lily Aurora)

*යාන්ති ලිලී (Rain lily Yanthi)

 

සොඳුරු වර්ණ

ඉහත සඳහන් කළ රේන් ලිලී ප්‍රභේදවල අපූරු වර්ණ සංකලනයක් ද දැකිය හැකියි. ඒ අතරින් සූඩ්ටීරක් ලිලී මල් තැඹිලි වර්ණයෙන් හැඩ ගැන් වී ඇති අතර මලෙහි මැද කොටස කහ පැහැතිය. සෙපියන්තස් මලෙහි පෙති පින්ක් පැහැතිය. එහි මැද කොටස සුදු පැහැතිය. චින්ඩා ප්‍රභේදයේ රතු මල් මෙන්ම තැඹිලි මල් ද දැකිය හැකි අතර ඒවායේ මැද කොටස කහ පාටින් බැබළේ. රෝස පැහැති පෙති සහිත පීස් ප්‍රභේදයේ මෙන්ම තද රෝස පැහැති අවුරෝරා මලෙහි ද මැද කොටස සුදු පැහැතිය. ඊට අමතරව යාන්ති ලිලී යනු තැඹිලි පැහැයෙන් මල් හටගන්නා ප්‍රභේදයකි.

රේන් ලිලී බල්බ සහිත ශාකයකි. ඒ බැවින් ඉතා ඉක්මනින් මෙන්ම පහසුවෙන් ද බෝ කරගත හැකියි. ඒවාගේම ඉක්මනින්ම මල් ද හට ගනියි.

 

වගා මාධ්‍යය

*කොම්පෝස්ට් කොටස් 01ක්

*කොහුබත් කොටස් 02ක්

*වැලි කොටස් 03ක්

*මතුපිට පස් කොටස් 04ක්

වශයෙන් ගෙන හොඳින් මිශ්‍රකර වගා මාධ්‍යය සකසා ගන්න. අනතුරුව පාත්තිවල හෝ වගා බඳුන්වලට දමා ශාකවල බල්බ කොටස සිටුවාගන්න. මෙහිදී එක් බඳුනක බල්බ දෙකක් හෝ තුනක් සිටුවිය හැකි අතර මාසයක පමණ කාලයක් ගත වන විට ශාක වැඩී කුඩා මල් පොහොට්ටු දැකිය හැකි වේ. අනතුරුව දින 35 - 40ක් ගතවද්දී අලංකාර මලින් බරවුණු රේන් ලිලී ගසක සුන්දරත්වය ඔබට ද අත්විඳිය හැකියි.

 

ජල සැපයුම

දැඩි හිරුඑළිය ප්‍රතික්ෂේප කරන මේ අලංකාර මල් කුමාරියන්ට ජල සැපයුම ප්‍රමාණවත්ව ලබා දිය යුතුමයි. එබැවින් ශාක බල්බ සිටවූ දා පටන් දිනපතා උදය වරුවේ ජලය සපයන්න. එමෙන්ම තද හිරු එළිය නොලැබෙන පරිද්දෙන් තරමක් විශාල ශාක සෙවණෙහි බඳුන් තැබීම ද සුදුසුය.

රේන් ලිලී යනු වසරේ ඕනෑම කාලයක සිටුවිය හැකි ශාකයක් වන අතර වසර පුරාම මල් දැකිය හැකි ගසකි. එමෙන්ම මල් පොහොට්ටු හටගන්නා කාලයේ වගා මාධ්‍යයේ තෙතමනය දවස පුරා රඳවා තබා ගැනීම ඉතා වැදගත් අතර එමඟින් ඉතා සුන්දර වර්ණ සහිත තරමක් විශාල මල් දැකිය හැකියි.

 

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන නිර්මාණ ශිල්පී විසිතුරු මල් වගා උපදේශක

දේශබන්ධු, කෘෂිවිද්‍යා ශූරී මාබොදලේ රංජිත් කළුආරච්චි