හැඩවැඩ තිරරෙදි

තිර රෙදි වොෂිං මැෂින් දමා සේදීම නොකළ යුතුයි.
ජූලි 14, 2025

දුටුවන්ගේ නෙතු දැහැන්ගත කරවනා, ගත සිත චමත්කාරයෙන් පුරවනා, අසපුවක් තරමටම නිස්කලංක මනරම් නිවෙසක හිමිකාරියක් වන්නට ඇත්නම් එය කොතරම් වාසනාවක්ද?

 

අප ගෙමිදුලට සේම නිවෙස තුළට ද විවිධ නිර්මාණ එකතු කරනු ලබන්නේ එමඟින් සොඳුරු කැදැල්ලේ චමත්කාරය වඩාත් ඔප්නැංවෙන බැවිනි.

 

නිවෙසේ සාලය අලංකරණය කිරීමේදී වර්ණ ගැළපුම්, ආලෝකය මනාව හසුරුවා ගැනීම පමණක් නොව පෞද්ගලිකත්වය සුරැකීමටත් සාලයේ අවම අවකාශය සම්පූර්ණ කිරීමටත් තිරරෙදි වඩාත් ප්‍රයෝජනවත් වෙයි.

 

වර්තමාන වෙළෙඳපොළේ විවිධ වර්ගයේ තිරරෙදි දක්නට ලැබෙන අතර තම නිවෙසට ගැළපෙන පරිදි නිවැසියන්ගේ රුචිකත්වය මත නවතම මෝස්තර තෝරා ගැනීමට ඔබට හැකියාව ඇත.

 

ජැකාඩ් (Jacquard), සැටින් (Satin), මුද්‍රිත රෙදි (Printed Fabric), බ්‍රොෙක්ඩ් (Brocade), ෂියර් (Sheeting) ටිකින් (Ticking) ෆර්නිෂින් (Furnishing) ලේස් (Lace) ආදී වශයෙන් හැඳින්වෙන විවිධ ආනයනික රෙදි වර්ග බොහොමයක් ඇති අතර මේ දිනවල වැඩි ජනප්‍රියත්වයක් හිමිවන්නේ ජැකාඩ් සහ ෂියර් රෙදි සඳහායි. මෙම වර්ග දෙකම අඟල් 110 පළලකින් යුක්ත බැවින් ඉතාමත් පහසුවෙන් මූට්ටු නොයොදාම තිරරෙදි සකසා ගත හැකියි.

 

මෙම තිරරෙදි යෙදීමේදී භාවිත වන අනෙකුත් උපාංග වූ ටයි බැක්ස්, පෝල්ස්, හුක්, රිංග් ආදිය ද විවිධ හැඩයෙන් සහ විවිධ වර්ණයෙන් සමන්විත වේ. එබැවින් තෝරා ගන්නා රෙදිවල වර්ණයට හොඳින් ගැළපෙන පරිදි මේ උපාංග යෙදිය හැකියි. ලී, යකඩ, ඇලුමිනියම් ආදී විවිධ වර්ග ද ඒ අතර පවතී. 2025 වසර වන විට ට්‍රෙන්ඩ් එක වී  ඇත්තේ Islet මෝස්තරයයි. මෙහිදී රැලි නොතබා තිරරෙදි මසා ගන්නා අතර රිංග් එකක් ඊට අල්ලා ගැනේ. මෙම රිංග් අතරින් පෝල් එක යවා තිර රෙද්ද රැඳවිය හැකිය.

 

01. තිරරෙදි දැමීමේදී වැදගත් කරුණු

 

සමහරුන් නොදැනුවත්කම නිසා තිරරෙදි යෙදීමේදී දොර රෙදි, ජනෙල් රෙදි වශයෙන් පටලාගෙන කටයුතු කරයි. තිරරෙදි ගැනීමේදී දොරට එකක්, ජනේලයට එකක් වශයෙන් නොව දෙකටම ගැළපෙන අයුරින් තෝරාගත යුතුයි.

 

02. වඩාත් ලස්සන ජනේල උස් වූ තරමටයි

තිරරෙදි යොදන විට වැඩි ලස්සනක් පෙනුමක් ගෙන දෙන්නේ ජනේල උස් වූ තරමටයි.

03. නිවෙසෙහි අඳුරු ස්වභාවයක් පවතිනවා නම් අඳුර මැකී යන ආකාරයට තිර රෙදි දැමිය යුතුය. එවන් අවස්ථාවලදී තනි වර්ණයේ වර්ණ තිරරෙදි භාවිතය යෝග්‍යයි.

 

 

04. නිදන කාමරය සඳහා තිරරෙදි තෝරාගැනීමේදී ඇසට ප්‍රිය වර්ණයන්ගෙන් යුත් රෙදි වර්ග තෝරාගැනීම වැදගත්. කාමරයේ වර්ණයට ගැළපෙන අයුරින් තනි පැහැයේ හෝ ළා පැහැති මුද්‍රිත රෙදි ලේස් රෙදි යොදා ගත හැකියි. කලබල සහිත ස්වභාවයක් දක්වන තද වර්ණ විශාල මෝස්තරවලින් සමන්විත තිරරෙදි කාමර සඳහා යොදා ගැනීම සුදුසු නොවේ.

තිර රෙදි බොහෝ විට නිර්මාණය කරනු ලබන්නේ විවිධ වූ මෝස්තරවලට අනුකූලවයි. ඇතැම් විට එය එක් කොටසක් නොව කොටස් කිහිපයක් ලෙසත් රැලි සහිත (ප්‍රිල් සහිත) බීක්කු සහිත ආදී වශයෙන් මෝස්තර යොදාගනු ලබයි.

මේ ආකාරයෙන් නිර්මාණය කරනු ලබන තිරරෙදි පිරිසුදු කරන විට එය ප්‍රවේසම් සහිතව පරීක්ෂාකාරීව කිරීමට සැලකිලිමත් නොවුණහොත් ඒවායේ කල් පැවැත්මට හානියක් විය හැකිය.

 

සමහරු තිර රෙදි පිරිසුදු කර ගැනීම සඳහා වොෂිං මැෂින් එක තුළට දමා සෝදනු ලබයි. එසේ තිර රෙදි වොෂිං මැෂින් එකට දමා සේදීම නොකළ යුතුයි. හේතුව තිර රෙදි නිර්මාණයේදී එයට අල්ලා තිබෙන ටසල්ස්, ෆ්‍රිල්ස්, රිබන්, ලේස් ආදිය ගැලවී යාමක් සහ ඇඹරීම නිසා රෙද්දෙහි ඇදීමක් වෙනස් වීමක් සිදුවිය හැකි නිසයි. වඩාත් සුදුසු වන්නේ අතින් සේදීම හෝ ඩ්‍රයික්ලීන් කිරීමයි. එමෙන්ම මේවායේ ටසල් කෝඩ් ආදියෙහි සායම ඇතැම් විට ඉවත් වී යාමට ඉඩ තිබෙයි. මේ නිසා තිර රෙදි සේදීමේදී ඒ ගැන කල්පනාකාරී වීම වැදගත්ය. අල්ලා තිබෙන්නේ චයිනීස් ටසල් නම් සායම් නොයන අතර බොහෝවිට ඉන්දියන් ටසල්වල සායම යාමට ඉඩ ඇත.

 

මේ කෙසේ වෙතත් නියම ප්‍රමිතියකට අනුව ක්‍රමානුකූලව නිර්මාණය කරනු ලබන තිර රෙදි නිතර නිතර සේදීමක් අවශ්‍ය නොවේ. බොහෝ විට මේ ආකාරයෙන් යොදන තිර රෙදි මාස 06ක් පමණ ගතවන තෙක් සේදීම කළ යුතු නොවේ.

 

විශේෂ ස්තුතිය සකුලි කර්ට්න් අධිපති

S.H.L. ලක්ශාන්ත වීරකුමාර