කුඹුරේ දමාගිය දරුවාගේ පාඩම

ජූලි 28, 2025

අලුත ඉපදුණ කිරි දරුවකු වෙල් යායක් මැද අත්හැර දමා තිබූ පුවතක් පසුගියදා වාර්තා විය. වඩාත් කනගාටුදායක කරුණ වූයේ එම සිදුවීම පළමුව දුටු පුද්ගලයා අදාළ ප්‍රදේශයේ පොලීසිය දැනුම්වත් කර, පොලිස් නිලධාරියා එම ස්ථානයට කැඳවාගෙන පැමිණෙන තෙක්ම දරුවාට කිසිදු ආවරණයක්, ආරක්ෂාවක් නොමැතිව එම ස්ථානයේ සිටින්නට හැරීමයි.

දරුවා දමා යාම සම්බන්ධව තමා වරදකරු වෙයි, අනවශ්‍ය ලෙස පොලීසි, උසාවිවල රස්තියාදු වීමට සිදු වෙයි වැනි සිතුවිලි ඇති කර ගැනීම හේතුවෙන් කිසිදු කාන්තාවක් හෝ පිරිමි පුද්ගලයකු එම ස්ථානයට ළඟා වී දරුවාට ආරක්ෂාව සැලසූයේ නැත. මෙවැනි පදනමක් නොමැති සිතිවිලිවලින් අප මිදිය යුතුය. දරුවන් පිළිබඳ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සෑම පුරවැසියකු තුළම යම් අවබෝධයක් පැවතිය යුතුය. මෙවැනි අවස්ථාවක හැකි ඉක්මනින් දරුවාගේ ආරක්ෂාව සහතික කළ යුතුය. හැකිනම් ජංගම දුරකතනයක් මාර්ගයෙන් දරුවා සිටි ආකාරය සහ ස්ථානය ඡායාරූප ගත කර දරුවා ඉක්මනින් ළඟම රෝහලක් වෙත යොමු කළ යුතු වේ.

එසේ අත්හැර දමා ගිය දරුවකුගේ ජීවිතය බේරා ගැනීමට ඉදිරිපත් වූ අයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. එසේ නීතිය අසාධාරණ ලෙස ක්‍රියාත්මක වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ද අප තුළ නීතිය පිළිබඳ දැනුමක් තිබිය යුතු වේ. යම් කාන්තාවක් දරුවා බේරාගෙන රෝහලකට රැගෙන ගිය පමණින් දරුවා දමා ගිය බවට ඇයට චෝදනා කළ නොහැකිය.

දරුවකු බිහි කළ කාන්තාවක් ද නැත්ද යන්න වෛද්‍ය පරීක්ෂණයක් මඟින් ඔප්පු කළ හැකි වීම එයට හේතුවයි. වර්තමානයේ වෛද්‍ය වාර්තා අධිකරණ කටයුතු සඳහා යොදා ගැනීම සුලබව සිදු වන අතර ඒ සඳහා පහසුකම් ද නොඅඩුව පවතී. ළමයාගේ පවුල් පරිසරය තාවකාලිකව හෝ ස්ථිරව අහිමි වූ විට රජය විසින් දරුවකුට අවශ්‍ය විශේෂ ආරක්ෂාව හා ආධාර සැපයීම සිදු කළ යුතුය. දරුවන් වෙනුවෙන් පරිවාස දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන ආරක්ෂිත නිවස්න පිහිටුවා ඇත්තේ ඒ සඳහාය. මෙසේ ආරක්ෂාව සැලසිය යුතු බව එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියෙහි 20 වැනි වගන්තියෙන් පැහැදිලිව දක්වා ඇත. එමෙන්ම ශ්‍රී ලංකාව මෙම ප්‍රඥප්තියට පාර්ශ්වයක් වීමෙන් දරුවන්ට ආරක්ෂාව සැලසීමට හැකි සෑම පියවරක්ම ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එකඟ වී ඇත.

දරුවකුට යම් කරදරයක් සිදුව ඇති අවස්ථාවක දරුවා කාගේ කවුරුන්ද කුමන ප්‍රදේශයකද යන්න නොසලකා හැර වහා ඉක්මන් විය යුතුය. යම් හෙයකින් එසේ ක්‍රියාත්මක නොවී නොසලකා හැර සිටීම නීතිය ඉදිරියේ වරදකරුවකු වීමට ද හේතුවක් විය හැකිය. එය දරුවකුගේ ජීවිතය අනතුරේ හෙළීමට අනුබල දීමක් ලෙස ද සැලකිය හැකි වේ. මේ නිසා සෑමවිටම ප්‍රායෝගික තත්ත්වය පිළිබඳ සලකා බලා තැනට සුදුසු ලෙස කටයුතු කිරීම මෙවැනි අවස්ථාවලදී ඉතා වැදගත් වේ.