නීරෝගිකම රකින වස විසෙන් තොර කෙසෙල් මුවේ රස ගුණ

ජුනි 23, 2021

 

කෙසෙල් මුව වෑංජනයක් බත් මුලට බැඳගෙන යන්න බොහෝ දෙනෙක් මැලි කමක් දක්වති. එයට හේතු බොහොමයකි. කෙහෙල් මුව මිලෙන් අඩු ගමේ සරල ආහාරයක් වීම, පිසගැනීමට සූදානම් කරන මොහොතේ ම වර්ණය වෙනස් වීම, තරමක කහට ස්වභාවයක් දැනීම වැනි කාරණා ඒ අතර ප්‍රධාන වේ.

එහෙත් පෙනුමට කන බොන බොහෝ ආහාරයන්ට වඩා කෙසෙල් මුව වැනි ගමේ හැදෙන වැඩෙන ස්වභාවික ආහාර අපේ ශරීරයට ඉතා ගුණදායක වන බව ඔබ දන්නවා ද?

කොස් ඇට, කරවල, හාල්මැස්සන්, පරිප්පු, තිබ්බටු වැනි දෑ සමඟ මිශ්‍ර කරමින් ද සම්බෝල, සලාද, ඇඹුල, සුප්, මැල්ලුම වශයෙන් ද කෙසෙල් මුව ආහාරයට ගත හැකි ය.

ඉතිං විවිධ ක්‍රමවලට මෙය හදල බලන්න. මේ ආහාරය ඉතා රසවත් බව ඔබට ම වැටහේවි.කෙසෙල්මුව ආහාරයට ගැනීමෙන් ඔබට ප්‍රයෝජන රාශියක් ළඟා කර ගත හැකි ය.

කෙසෙල්මුව කියන්නේ යකඩ, පොස්පරස්, පොටෑසියම්, කැල්සියම්, ප්‍රතිඔක්සිකාරක, තඹ වැනි බොහෝ ගුණාංගයන්ගෙන් පොහොසත් ආහාරයකි. එසේම ලොව වැඩිම තඹ අන්තර්ගත ආහාරය ලෙසත් මෙය සැලකේ. පීකුදුවල මෙන් දහ ගුණයක් ද, නිවිතිවල මෙන් විසි ගුණයක් යකඩ මෙහි අඩංගු වේ.

 

රස හයකින් යුක්තයි

ආයුර්වේදයට අනුව නම් වා, පිත්, සෙම් යන ත්‍රිදෝෂයට ගුණ දෙන මධුර, අම්ල, තිත්ත, ලවණ, කටුක, කසට (පැණි රස, ඇඹුල් රස, තිත්ත රස, ලුණු රස, කටුක රස, කහට රස) යන රස හයෙන් (ෂඩ් රසයෙන්) පූර්ණ වූ ආහාරයකි. ඊට අමතර ව දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටම පාලනයටත්, තරබාරුව පාලනයටත්, කිරි දෙන මව්වරුන්ගේ කිරි වර්ධනය සඳහාත් කෙසෙල් මුව වෑංජනය ගුණ දායක ය.

 

අකලට වයසට යෑම පාලනය කරයි

මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා අකලට වයසට යෑමද, සම දිරාපත් වීම ද පාලනය කරන අතර බෝ නොවන රෝගවලින් ඔබව ආරක්ෂා කර ගැනීමේ ශාරීරික ප්‍රතිශක්තිය ද වර්ධනය කරයි. ඊට අමතර ව පිළිකා, ස්නායු රෝග සහ හදවත් රෝග වැනි රෝග රැසකට පිළියමක් ද වෙයි.

ඔසප් සමයේ සිදු වන රුධිර වහනය ද අවම කරයි. මානසික පීඩනය අඩු කිරීමේ අපූර්ව හැකියාවෙන් ද කෙසෙල් මුව පොහොසත් ය.

ඒ වගේම දියවැඩියාව පාලනයට සුවිශේෂී ආහාරයක් ලෙසත් කෙසෙල් මුව හැඳින්විය හැකි ය. හැදෙන වයසේ දරුවන්ගේ කෑම රුචිය වැඩි කර වන ආකාරයට විවිධ ක්‍රමවලට අනුව කෙසෙල්මුව සකස් කර දීම වඩා සුදුසු යි. කෙසෙල් මුව

වෙළෙඳපොළේ ඇති අනෙකුත් එළවළු හා සන්සන්දනය කර බලන විට වැඩි මිලක් නොවන නිසා මෙවන් ගුණ දායක ආහාර වෙත යොමු වීම පසුම්බියට ද පහසුවක් වේවි. කෙසෙල් මුවවල ඇති කහට ස්වභාවය සහ එහි වර්ණය ඉක්මනින් වෙනස් වීම නිසා ද ඇතැම් ගෘහණියෝ මෙය ආහාරයට ගැනීමට මැලි කමක් දක්වති.

පුංචි සොයා බැලීමක් කළේ නම් සහ සරල අත්හදා බැලීමක යෙදුණේ නම් මෙම ගැටලු සඳහා ද විකල්ප ඔබේ මුළුතැන් ගෙය තුළ ම පවතී. කෙසෙල් මුව ලියා ගැනීමට පෙර කුඩා බේසමක් හෝ වෙනත් භාජනයක් ගෙන එයට වතුර දමා දෙහි යුෂ ස්වල්පයක් හෝ කහ ස්වල්පයක් එක් කරන්න. මේ ද්‍රව්‍ය දෙක ම එක් කිරීමේ ද වරදක් නැත. දැන් ඔබ ලියා ගන්නා

කෙසෙල් මුව මේ භාජනයට දමන්න. එය පිසීමට සූදානම් කර ගන්නා තෙක් ම වර්ණය වෙනස් වීමකින් තොර ව පවතී. පිසගැනීමට පෙර වතුර මිරිකාගන්න.

 

කෑමට සුදුසු මුවක් තෝරා ගන්නා අන්දම

ඊළගට ගෘහණියට ඇති ප්‍රශ්නය මෙහි ඇති කහට ස්වභාවයයි. මෙය සිදු වන්නේ අප තෝරා ගන්නා කෙසෙල් මුව ප්‍රභේදය අනුව ය. සාමාන‍යෙයෙන් ආනමාලු කෙසෙල් මුව කහට ගතියෙන් වැඩි ය. ඒ නිසා අපි ඊට විකල්පයක් ලෙස වෙනත් කෙසෙල් ප්‍රභේදයක් තෝරා ගනිමු. සාමාන්‍ය කෙසෙල් මුවකට වඩා ආනමාලු කෙසෙල් මුවක පිට පැත්තේ තද අලු ස්වභාවයක් පවතී. එහි මැද කොටස අනෙක් කෙසෙල් මුවවලට වඩා තද කහපාටින් ද යුක්ත ය. අධික කිරි ගතියක් ද සහිත ය. මේ කියන ලක්ෂණ ඇති කෙසෙල් මුව ඉවත් කර අනෙකක් තෝරා ගත හැකි ය. දැන් කෙසෙල් මුව සම්බන්ධයෙන් ඔබට පැවැති සියලු ගැටලු නිරා කරණය වී ඇති නිසාත් කෙසෙල් මුව යනු ඉතා ගුණවත් ආහාරයක් සහ එහි ඇති ගුණ පිළිබඳ ව දැනුම්වත් වූ නිසාත් නිරෝගී සුව රැක ගන්න ඔබත් කෙසෙල් මුව ආහාරයට ගන්න පුරුදු වෙන්න.

 

 

 

 

විශේෂ ස්තූතිය

ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ සාමාජික සහ සූත්‍ර කමිටුවේ සාමාජික,

දේශීය වෛද්‍ය විද්‍යාල කළමනාකරණ මණ්ඩල සාමාජික, හිටපු පළාත් ආයුර්වේද

කොමසාරිස්,වෛද්‍ය

නිමල් කරුණාසිරි

මහතාට සහ සූපවේදී නුවන් ප්‍රියංගලාල් මහතාට