නිර්මාණශීලී සැමට ඕස්ට්‍රේලියාවට එන්න අත දෙන්න මම කැමතියි

අප්‍රේල් 10, 2023

 

රටක් ආදරය කළ siging chef දැන් කෝ්‍්‍ ....?මොකද වුණේ කොහෙද ඉන්නේ, මොනවාද කරන්නේ කියලා පසුගිය කාලය පුරාවටම කාටවත් දැනගන්න ලැබුණේ නැහැ. රූපවාහිනී තිරයේ ආකර්ෂණීය චරිතයක් වුණු දොන් ෂර්මන් කොහේද ඉන්නේ කියලා ඔහුගේ මාධ්‍ය මිතුරෝ පවා බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ නැහැ. ඔහුගේ රුව රූපවාහිනියේ නොදුටුවාම අපේ රටෙන් ඈත්ව ඈත එපිට කැන්ගරු දේශයට ගියාට දොන් හැම වෙලාවෙම අපත් සමඟ ‍ෙළංගතුව බැදිලා හිටියා. ඒ වගේම තමයි ඔහු ශ්‍රී ලාංකිකයකු ලෙසින් අපේ රට ජාත්‍යන්තරයට ගෙන යන්න මහත් වෙහෙසක් ගත්තා.

 

දොන් කාලයක පටන් සිහින දැක්ක, කාලයක පටන් වෙහෙස මහන්සි වුණු සිහිනයේ ථල පසුගිය දවසක නෙලා ගන්න හැකියාව ලැබුණා. ඕස්ට්‍රේලියාවේ සූපවේදීන් අතර පැවතුණ තරගයකින් රන් පදක්කමක් දිනා ගත්තු දොන් ශ්‍රී ලාංකේය නාමය කැන්ගරු දේශයේ රන් අකුරින් ලිව්වේ ඔහුගේ හැකියාවෙන් මුළු ඕස්ට්‍රේලියාවම මවිත කරලා. මේ ගැන පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ වුණා විතරක් නොවෙයි ඔහුට ශ්‍රී ලාංකේය ජනතාවගේ උණුසුම් සුබපැතුම් දහස් ගණනක් ලැබුණා. හැබැයි මේ දහසක් උණුසුම් සුබපැතුම් ලැබුණත් ඔහු මුලින්ම පත්තිරු සටහනක් තබන්න එකතු වුණේ අපගේ තරුණී ආදරණීය පාඨකයන්ට... ඔස්ට්‍රේලියාවේ සිට අප සමඟ සම්බන්ධ වූ ඔහු මේ ජයග්‍රහණයේ සතුට බෙදා ගත්තේ එදා තිබූ සහෘද මිතුරුකම් නැවත සිහි කරමින්.

 

දොන් ඉතිං... මුලින්ම කියන්නකෝ ඔබ මේ තරම් කාලයක් අපට දකින්න නොලැබුණේ ඇයි?

 

මම මුලින්ම ඕස්ට්‍රේලියාවට යන්න ඉල්ලුම් කළේ 2008 වර්ෂයේදී. ඒ කාලයේ රටේ පැවැති වාතාවරණයත් සමඟ මම තීරණය කළා ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට යන්න ඕනේ කියලා. හැබැයි මට ස්ථිර පදිංචිය සඳහා වීසා ලැබෙන්නේ 2013 වසරේදී. ඒ කාලේ රටේ තිබුණේ සංසුන් වාතාවරණයක්. මම රෙස්ටුරන්ට් තුනක් ආරම්භ කරලා සාර්ථකව ඉන්නකොට තමයි මට මේ අවස්ථාව හිමි වුණේ. නමුත් රටේ වාතාවරණය වෙනස් වුණා ... ඊට පස්සේ මම තීරණ කළා දරුවන්ගේ අධ්‍යාපනයයි, අපේ පවුලේ අනාගතය යි ගැන හිතලා ඔස්ට්‍රේලියාවේ පදිංචියට යනවා කියලා. ඊට පස්සේ මම මෙහෙ ඇවිත් සූපවේදියෙක් විදිහට බොහෝ තැන්වල වැඩ කළා. මේ අවුරුද්දේ ජුනි මාසය වෙනකොට දැන් මම මෙහෙම ඇවිත් අවුරුදු දහයක් වෙනවා.

 

දැන් මම ඕස්ට්‍රේලියාවේ සූප ශාස්ත්‍ර පිළිබඳ පෞද්ගලික විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක් සහ අගය කිරීමේ නිලධාරියකු ලෙසත් කටයුතු කරනවා. මට දැන් විශාල සිසුන් ප්‍රමාණයක් සිටිනවා. විශේෂයෙන් විදේශ රටවල සිට ඔස්ට්‍රේලියාවට එන සිසුන්ට සූප ශාස්ත්‍රය ඉගැන්වීමේ කටයුතු කරනවා. සූප ශාස්ත්‍රය උගන්වලා ඔවුන්ට ඒ හැකියාවෙන් පුළුවන් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා වීසා ලබාගන්න.

 

මම මේ රටට ආවට පස්සේ උත්සහ කළේ ඕස්ට්‍රේලියාවට අනුව අනුගතවෙන්න. මම ලංකාවේ කරපු දෙයටම වඩා මේ රටේ හැටියට මොනවාද කරන්න පුළුවන් කියලා මම හිතුවා. මුලින්ම හෝටල් කිහිපයකම සූපවේදියෙක් ලෙස වැඩ කළා. ඊට පස්සේ මේ රටේ තියෙන ඕස්ට්‍රේලියා සූපවේදීන්ගේ සංගමයේ නැතිනම් ඕස්ට්‍රේලියා කරනර් ෆෙඩරේෂන් එකේ සාමාජිකයෙක් වුණා. ඒ සංගමයේ පොදු වැඩ රාශියකට මම එකතු වෙලා ප්‍රදර්ශන, සම්මන්ත්‍රණවලට සහභාගී වුණා. ඊට පස්සේ මෙහෙ තියනවා තවත් සූපවේදීන්ගේ සංගමයකට සම්බන්ධ වුණා. ඒ සංගමයට කියන්නේ ඕස්ට්‍රේලියා ටෙක්නිකල් කියලා. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ පළපුරුද්ද සහ සුදුසුකම් තියන සූපවේදීන් විතරයි. දැන් ඒ සංගම් දෙකේම මුල් කමිටු සාමාජිකයෙක් සහ පූර්ව කමිටු සාමාජිකයෙක් ලෙසත් කටයුතු කරනවා. ඒ සංගම් දෙකේම වැඩිපුර ඉන්නේ ඕස්ට්‍රේලියානු සාමාජිකයන්. ඒ සාමාජිකයන් අතර මම වැඩිපුර ජනප්‍රියත්වයක් හා අගය කිරීමක් දිනාගෙන සිටිනවා. ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ සූප ශාස්ත්‍ර කලාව දියුණු කිරීම සඳහා මම හොඳ අවස්ථාවක් මේ සංගම් දෙක හරහාම ලැබී තිබීම විශාල ශක්තියක්. පිළිගැනීමක් බව ශ්‍රී ලාංකිකයකු ලෙස මම පවසන්නේ හරිම ආඩම්බරයෙන්.

 

ඊට අමතරව මගේ ජයග්‍රහණ ගැන සඳහන් කළ යුතු වැදගත් කරුණු කිහිපයක්ම තිබෙනවා. මම ජයග්‍රහණය කළ මේ තරගය සංවිධානය කළේ ඕස්ට්‍රේලියානු සූපවේදීන්ගේ සංගමය විසිනි. ඔවුන් ඒ තරගය පැවැත්වූයේ Online ක්‍රමයට. එම තරගයේදී මට තිබුණේ ඔවුන්ගේ නිෂ්පාදන 40% භාවිතා කරලා මම විසින්ම නිර්මාණය කරගත් කෑමක් හදලා එය වීඩියෝ කරලා Youtube එකේ ප්‍රදර්ශනය කිරීම. මම ඒ කටයුත්ත ඉතාම සාර්ථකව කළා. මම ඇතුළුව අපේ රටේ සූපවේදීන් ගණනාවක්ම මේ තරගයට සහභාගී වුණා. ඒ අතුරින් ජූරිය විසින් තීරණය කළ වැඩිම ජනප්‍රිය වුණු වැඩිම like දැමූ, අගය කිරීම කළ හොඳම රෙසපිය ලෙස මගේ නිර්මාණයට රන් සම්මානය හිමිවීම. මට ඒ සම්මානයට අමතරව ඉතාලි සංචාරයක් සඳහා අවස්ථාව ලැබෙනවා. ඉතාලියේ ඒ ආයතනයේ නිෂ්පාදන පිළිබඳ පුරුදු පුහුණුවීමේ අවස්ථාවත් මට හිමි වෙනවා. ඇත්තට මෙය මට ලැබුණු විශේෂ අවස්ථාවක් ලෙසයි සලකන්නේ.

 

දැන් ඔබේ ඉදිරි සැලසුම මොකක් ද?

 

මම ඕස්ට්‍රේලියාවේ සූප ශාස්ත්‍ර කලාව දියුණු කිරීම බොහෝ දේවල් කරන්න දැනටමත් සැලසුම් කරලා තියෙන්නේ. මට මේ සංගමය මඟින් ලැබිලා තියෙන අවස්ථාව හා අගය කිරීම තුළින් මගේම කුකරි ප්‍රදර්ශනයක් මුළු ඕස්ට්‍රේලියාව පුරාම පවත්වන්න. මේ වගේ දෙයක් ඕස්ට්‍රේලියාවේ සූපවේදියෙක් කරලා නැති නිසා මෙය විශේෂ දෙයක් බවට අනිවාර්යෙන්ම පත් වෙයි. ඒ අවස්ථාව මට ලැබෙන්නේ ඕස්ට්‍රේලියාව රජය විසින් තියන මම බලාපොරොත්තු වෙනවා. තරුණ පිරිසට පාසල් අධ්‍යාපනයෙන් පසුව සූප ශාස්ත්‍ර කලාවට පිවිසීමට ආසාවක් උනන්දුවක් ඇති කරලා දෙන්න.

 

ඊට අමතර ඔබ අපේ රට වෙනුවෙන් යමක් කරන්න සැලසුම් කරලා නැද්ද?

ඇත්තටම මම කියන්න කැමැතියි ලංකාවේ සූපවේදී කලාවට දක්ෂ නිර්මාණශීලි තරුණ තරුණියන් විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි ඕස්ට්‍රේලියාවේ හෝටල් ක්ෂේත්‍රයේ සූපවේදී සඳහා විශාල අවස්ථා ප්‍රමාණයක් හා පුරප්පාඩු පවතිනවා. ඒ නිසා මම කැමැතියි ලංකාවේ තරුණ පිරිසට උදව් කරන්න. ඇත්තට දක්ෂතාවය හැකියාව තියන අයට පුළුවන් ඕස්ට්‍රේලියාවට එන්න ඉල්ලුම් කරන්න. ඒ සඳහා අනුගත වෙන්න සුදුසුකම් මාලාවක් තියනවා. ඔබට ශි‍ෂ්‍යයෙක් ලෙස හෝ සංක්‍රමණිකයෙක් ලෙස පැමිණෙනවා නම් ඒ සඳහා දොරටු විවෘත කර දෙන්න මම සූදානම්. ඉතිං මම ආරාධනා කරනවා අපේ රටේ සියලුම තරුණ තරුණියන්ට මම වගේ හැකියාව පෙන්වන්න අපේ රටේ නාමය ලෝකයට ගෙනයන්න. ශ්‍රි ලාංකේය නාමය බබළවන්න අත්වැල් බැඳගන්න එක් වෙන්න.