කුණු කූඩයට දමන සාදික්කා ලෙල්ලෙන් කටට රසට කෑම

ඔක්තෝබර් 20, 2021

නොසිතූ නොපැතූ මොහොතක පැමිණි කොරෝනා වසංගතය අපේ ජීවිත උඩුයටිකුරු කළා. සැහැල්ලුවෙන්, ප්‍රීතියෙන් ගෙන ගිය ජීවන රටාව අකර්මණ්‍ය කරමින් පැමිණි මේ ව්‍යසනය හමුවේ අපි හැමෝම ආර්ථික වශයෙන් ද දැඩි පසුබෑමකට ලක් වුණා.

බොහෝ දෙනකුට රැකියාව පමණක් නොව ජීවිත පවා අහිමි කළ මේ කොරෝනාව හමුවේ අමතර ආදායමක් ලබාගන්න තමයි මේ දිනවල හැමෝම වෙහෙසෙන්නේ. ඒ විතරක් නෙමෙයි කෑම බීම පවා සපයා ගැනීම දුෂ්කර වූ මේ කාලවකවානුව තුළ අලුත් අලුත් කෑම වර්ග අත්හදා බලන්නටත්, ඒවා නිර්ලෝභීව අන් අය වෙත තිළිණ කරන්නටත් අපේ උදවිය අමතක කරන්නේ නැහැ.

අන්න ඒ වගේ මෙතෙක් කාලයක් රස නොවිඳි, ඇතැම්විට අහලවත් නැති ආහාර කිහිපයක් තමයි අද අපි ඔයාලට රැගෙන ආවේ. දේශීය රසකාරක භෝග වගාව විශේෂාංගය ඔස්සේ පසුගිය දිනවල සාදික්කා වගාව ගැන කියා දුන්නා ඔබට මතක ඇති. ඉතින් ඒ සාදික්කා ගෙඩියෙන් ඉවතලන පොත්ත උපයෝගී කරගෙන සකස් කරගත් ආහාර තමයි මෙලෙස ඔබට පිරිනමන්නේ. ඉතින් අමතර ආදායමක් ලබා ගත හැකි ස්වයං රැකියාවක් විදියටත් ඔබට මේ ආහාර සකසා ගන්නට පුළුවනි.

එහෙම නම් ඉතින් ඔබත් හදලා රස විඳලම බලන්න කෝ....

 

උපදෙස් - මහනුවර

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ,

දිස්ත්‍රික් ව්‍යාප්ති නිලධාරී

හිල්ඩා කුමාරි සෝමලතා

විශේෂ ස්තූතිය - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ

මාධ්‍ය හා සන්නිවේදන අංශයේ

දිශාන්ති නිරෝෂා කොඩිතුවක්කු

ජායාරූප - ලසන්ත අබේරත්න

 

වටකුරු කුඩා ටෙනිස් බෝලයක හැඩැති සාදික්කා ගෙඩිය පැසෙනවිට කහ පැහැයට හැරේ.

හුරුබුහුටි පෙනුමක් ගන්නා මේ ගෙඩිය මේරූ පසු එහි ලෙල්ල හෙවත් පිට පොත්ත පිපිරී ඇතුළත තිබෙන වසාවාසි රත් පැහැයෙන් දක්නට ලැබේ.

සාදික්කා ගසක ගෙඩි මේ ආකාරයට පැසුණු පසු අස්වනු නෙළා ගත හැකියි. මෙහිදී ලෙල්ල හෙවත් පිට

පොත්ත ගලවා ඉවත් කරනු ලැබේ. අනතුරුව එහි මැද කොටස වූ කළු පැහැ සාදික්කා ඇටයත්, එය වටා දැලක් මෙන් බැඳී ඇති රතු පැහැති කොටස වසාවාසි ලෙසත් ලබා ගනියි. ඒවා අපේ මුළුතැන්ගෙයි ආහාර රස ගන්වන රසකාරකයි.

මේ ආකාරයට සාදික්කා ගෙඩියෙන් ප්‍රධාන කුළුබඩු දෙකම වෙන්කර ගැනීමෙන් අනතුරුව ඉවත් කළ ලෙල්ල විසිකිරීම සාමාන්‍ය සිරිතයි. ඔබත් සාදික්කා වගාවේ නියැලී සිටින්නේ නම් එහෙමත් නැත්නම් ඔබේ ගෙදර සාදික්කා ගසක් ඇත්නම් මෙතෙක් දවසක් සාදික්කා සහ වසාවාසි ලබාගෙන නිසැකයෙන්ම පොත්ත ඉවතලන්නට ඇති.

නමුත් මෙලෙස කුණු කූඩයට විසි කරන සාදික්කා ලෙල්ලෙන් රසවත් කෑම වර්ග කිහිපයක්ම සාදා ගැනීමේ හැකියාව ඇති බව ඔබ නොදන්නවා ඇති. මේ ආහාර වැඩි වියදමක් නොදරාම නිවෙසේ දී ඉතා පහසුවෙන් සාදා ගත හැකියි. එපමණක් නොව ස්වයං රැකියාවක් ලෙස මේ ආහාර වර්ග සැකසීම කළ හැකි නම් අමතර ආදායමක් ලබා ගන්නට ද පුළුවනි.

මෙම සෑම නිෂ්පාදනයක් සඳහාම ඔබට අවශ්‍ය වන්නේ හොඳින් මේරූ සාදික්කා ලෙල්ලයි. එයට අමතරව සීනී, ලුණු සහ මෙම නිෂ්පාදන වැඩි කල් තබා ගැනීමට එකතු කරන පොටෑසියම් (හෝ සෝඩියම්) මෙටා බයිසල්පේට් ඉතා සුළු

ප්‍රමාණයක් සහ සිට්‍රික් අම්ලයයි. මේවා ඔබට පහසුවෙන්ම වෙළෙඳපොළන් මිලදී ගත හැකිය. ඒ හැරුණුකොට මේ නිෂ්පාදන සඳහා වෙනත් ස්වභාවික ද්‍රව්‍ය කිහිපයක් ද භාවිත කරන අතර ඒවා ඔබ සකසන නිෂ්පාදන අනුව අවශ්‍ය වේ.

**************************

හරිම රසයි සාදික්කා ජෑම්

බොහෝ වෙලාවට උදේ ආහාරයට එහෙමත් නැත්නම් සවස තේ වෙලාවට පාන්, බනිස්, බිස්කට් වැනි කෙටි කෑමක් ලබා ගන්නටයි අපි කවුරුත් පුරුදුව සිටින්නේ. විශේෂයෙන්ම ජෑම් වැනි තැවරුමකින් මේවා රස ගන්වන්නත් අපි අමතක කරන්නේ නෑ. අඹ, අන්නාසි, දිවුල්, ස්ට්‍රෝබෙරි ආදී රස රැසකින් මේ ජෑම් සකසා ගන්න පුළුවනි. එහෙමනම් අද අපි බලමු ඉවතලන සාදික්කා ලෙල්ලෙන් ජෑම් සකස් කරගන්නේ කොහොමද කියලා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

r සාදික්කා ලෙලි කිලෝ ග්‍රෑම් 01ක්

r සීනි කිලෝ ග්‍රෑම් 01ක්

r ඔබ කැමැති නම් අඹ, අන්නාසි වැනි පලතුරු

වර්ගයකින් එක් වර්ගයක්

r සෝඩියම් මෙටා බයි සල්පයිට් ඉතා ස්වල්පයක්

r මේස ලුණු ස්වල්පයක්

r ජෑම් දැමීමට ජීවානුහරණය කළ බෝතල්

 

සාදන ක්‍රමය

 

පළමුව මේරූ සාදික්කා ලෙලි ටික හොඳින් සෝදාගන්න. අනතුරුව ඒවායේ පිටපොත්ත ඉවත් කරගන්න. මෙලෙස පිටපොත්ත ඉවත් කරගත් සාදික්කා ලෙලි තරමක් කැබැලි සිටින සේ කපා ගත යුතුයි. ඉන්පසුව ජලයට ලුණු ස්වල්පයක් එක්කර මේ කපාගත් සාදික්කා ලෙලි ටික විනාඩි 30ක් පමණ තම්බා ගන්න.

එලෙස තම්බා ගත් සාදික්කා ලෙලි ටික පිටතට ගෙන ලී හැන්දකින් හෝ බ්ලෙන්ඩරයකින් හොඳින් පොඩි කරගන්න. ජලය ස්වල්පයක් ද එයට මිශ්‍ර කරන්නට අමතක කරන්න එපා.

ඉන් අනතුරුව එය පිරිසිදු රෙදිකඩකින් පෙරාගත යුතුයි.

පෙරාගත් මේ මිශ්‍රණයට සීනි කිලෝ ග්‍රෑම් එකක් මිශ්‍ර කරන්න.

දැන් මඳ ගින්දරේ ළිප තබා නොකඩවා හැඳිගාමින් ඒකාකාරිව රත්කරන්න. මිශ්‍රණය ක්‍රමයෙන් උකුවන විට සෝඩියම්මෙටා බයි සල්පයිට් ඇගිලි තුඩු දෙකට හසුවන තරමේ ඉතා ස්වල්පයක් යොදන්න.

නැවතත් හොඳින් හැඳිගාමින් තව දුරටත් උකුවන සේ රත් කරන්න. (මෙලෙස සෝඩියම් මෙටා බයි සල්පේට් එකතු කළ යුත්තේ ඔබ සාදන සාදික්කා ජෑම් මාස කිහිපයක් තබා ගැනීමට අවශ්‍ය නම් පමණි. ස්වල්ප ප්‍රමාණයක් සකසා ඉක්මනින් ප්‍රයෝජනයට ගන්නේ නම් මේ සෝඩියම් මෙටා බයි සල්පේට් යෙදීම අවශ්‍ය නොවේ. මේ මිශ්‍රණය රත්කරන අතරතුර පෙණ ඇතිවන්නේ නම් සිදුරු සහිත හැන්දකින් ඒවා ඉවත් කරන්නටත් වග බලා ගත යුතුයි.

එමෙන්ම මේ ජෑම් සකසා ගැනීමේ දී ඔබට වෙනත් රසයක් එකතු කිරීමට අවශ්‍ය නම් තැම්බු සාදික්කා ලෙලි මිශ්‍රණය පොඩිකරන විට ඉදුණු අඹ , අන්නාසි හෝ වෙනත් ඕනෑම පළතුරු වර්ගයක් සිහින්ව කපා මේ මිශ්‍රණයට එකතු කරගත හැකිය.

මිශ්‍රණය පදමට උකුවී ඇති අවස්ථාව පත්පැණි මෙන් අවස්ථාවයි. එවිට බඳුන ළිපෙන් බා නිවෙන්නට හරින්න. ඉන්පසුව ජීවානුහරණය කළ බෝතල්වල අසුරා කැමැති වේලාවක රස බලන්න.

*************************

 සාදික්කා චට්නියක් මෙහෙම හදමු

 

හැමදාම එකම විදිහේ කෑම කාලා එපා වෙලා කියලයි බොහෝ දෙනෙක් පවසන්නෙ. ඒ වාගේ අයට කටට රසට කන්න අලුත්ම තාලයේ චට්නියක් හදන හැටි කියාදෙන්න අපි සූදානම්. ඉතින් මේ සාදික්කා චට්නිය ඔබට බත් සමඟ විතරක් නෙමෙයි රෝල්ස්, පැටිස්, කට්ලට් ආදී කෙටි කෑම සමඟත් ක්‍රීම් ක්‍රැකර් වාගේ සේවරි බිස්කට් එක්කත් රසවිඳින්න පුළුවනි.

ඒ විතරක් නෙමේ ඔබේ නිවෙසට ගොඩවදින අමුත්තන්ට සංග්‍රහ කරන්නත් හරිම කදිමයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

r සාදික්කා ලෙලි කිලෝ ග්‍රෑම් 01ක්

r සීනි ග්‍රෑම් 900ක්

r මිරිස් කුඩු ග්‍රෑම් 20ක්

r විනාකිරි මිලි ලීටර් 150ක්

r මේස ලුණු ග්‍රෑම් 40ක්ක්

r වියළි මිදි හෝ රටඉඳි ග්‍රෑම් 50ක්

r කුඩා හා ලොකු මැටි හට්ටි දෙකක්

r සෝඩියම් මෙටා බයිසල්පයිට්

ස්වල්පයක්

 

චට්නි සැකසීමට

අවශ්‍ය කුළුබඩු මිශ්‍රණයට

 

r සුදුලූනු ග්‍රෑම් 10ක්

r ඉඟුරු ග්‍රෑම් 10ක්

r කුරුඳුපොතු කැබැල්ලක්

r කරාබුනැටි , වසාවාසි සහ

කරඳමුංගු ස්වල්පය බැගින්

 

සකසාගන්නේ මෙහෙමයි

 

r මේ චට්නිය සැකසීම සඳහා හොඳින් පැසුණු සාදික්කා ලෙලි තෝරගන්න.(මන්ද පැසුණු සාදික්කා ලෙලි වල හොඳින් පිටි ගතිය පවතින නිසා)

r පළමුව සාදික්කා ලෙලි ටික හොඳින් සෝදා පිටපොත්ත ඉවත් කරන්න.

r අනතුරුව ඒවා භාජනයකට දමා ලෙලි වැසෙන ලෙස ජලය දමන්න. ලුණු ග්‍රෑම් 40ක් ද මේ ජලයට යොදන්න.

r ළිපතබා විනාඩි 30ක් පමණ හොඳින් පොඩිකළ හැකි වන ලෙස සාදික්කා ලෙලි තම්බා ගන්න. මෙහිදී බඳුනේ කට විවෘතව තැබිය යුතු අතර එලෙස විවෘතව

තැම්බීමෙන් සාදික්කා ලෙල්ලේ පවතින සැර ගතිය වාෂ්ප වී ඉවත් වීම සිදු වේ.

r මේ අතරතුරේ ඔබට කුළුබඩු මිශ්‍රණය සකසා ගත හැකියි.

ඒ සඳහා කුරුඳුපොතු අඟලක පමණ කැබැල්ලක්, කරාබු නැටි 04ක්, වසාවාසි එක් කැබැල්ලක්, කරඳමුංගු ඇට 03ක් ලෙසින් ගෙන හොඳින් කුඩු කරගන්න. එයටම විනාකිරි මිලි ලීටර් 150ක් ද (අඬු කෝප්ප තුන්කාලක්) එකතුකර පොඩි මැටි හට්ටියකට දමන්න. මෙය සුවඳ හැමීමට පටන් ගන්නාතෙක් මඳ ගින්දරේ රත්කර ගන්න.

r ඉඟුරු සහ සුදුලූනු ටික හොඳින් පිරිසුදුකර අඹරා පසෙකින් තබන්න.

r දැන් සාදික්කා ලෙලි හොඳින් තැම්බුණු පසු එනම් අතින් පොඩිකළ හැකි මට්ටමට තැම්බුණු පසුව කුඩා කොටස්වලට කපා ගන්න.

r අනතුරුව ලොකු මැටි හට්ටියක් ළිපතබා තම්බා කපාගත් සාදික්කා ලෙලි ටික දමන්න. එයටම සීනි ග්‍රෑම් 900ක් සහ

වියළි මිරිස් කුඩු ටිකත් යොදා රත්කරන්න . හොඳින් මිශ්‍ර කරමින් ගින්දර යොදන්න.

r විනාඩි 10කට පමණ පසු අඹරා පසෙකින් තැබූ සුදුලූනු හා ඉඟුරු මිශ්‍රණය ද එයට එක් කරන්න.

r තවදුරටත් විනාඩි 20 ක් පමණ ළිපතබා හැඳි ගාන්න. මේ මිශ්‍රණය උකු ස්වභාවයට එනම් පත්පැණි තත්ත්වයට පත් වු පසුව විනාකිරි සමඟ මිශ්‍ර කරගත් කුළුබඩු මිශ්‍රණය ද යොදන්න.

r ජලය ස්වල්පයක් යෙදු පීරිසියකට මේ මිශ්‍රයෙන් බින්දුවක් යෙදු විට විසිර නොයා තිබේ නම් නියමිත තත්ත්වයට පැමිණ ඇත.

r ඔබට මෙය වඩාත් රස ගැන්වීම සඳහා වියළි මිදි හෝ කුඩාවට කපාගත් රටඉඳි එකතු කළ හැකියි. එමඟින් සාදික්කා චට්නිය වඩාත් රසවත් වේවි.

r දැන් චට්නිය ළිපෙන් බා ගන්න. ඔබට මෙය කල්තබා ගැනීමට අවශ්‍ය නම් කල්තබා ගැනීමේ රසායන ද්‍රව්‍යවන සොඩියම් මෙටාබයි සල්පයිට් ඉතා

ස්වල්පයක් යොදන්න. එනම් ඇඟිලි තුඩු දෙකට හසුවන කුඩා ප්‍රමාණයක් යොදා මිශ්‍රකරන්න.

r හොඳින් පිරිසුදු කළ එනම් ජීවානුහරණය කළ බෝතල්වල උණුවෙන්ම අසුරා පියනකින් වසන්න.

 

 

****************************

කාල තියෙනවා ද සාදික්කා ජෙලි

ජෙලි කියලා කියන්නේ අපූරු රසයකින් අපේ දිව කුල්මත් කරන රසවත්ම අතුරුපසක්. ඒ විතරක් නෙමෙයි විවිධ හැඩයට නේක වර්ණ රටාවෙන් සැකසෙනා මේ ජෙලි නෙතට රැගෙන එන්නෙත් අපූරු චමත්කාරයක්.

ඉතින් මේ විදිහට කෑම මේසය රසකරන්නා ,හැඩකාරයා වූ ජෙලි සාදික්කා ලෙල්ලෙනූත් සකසාගන්න පුළුවන් කියලා කිව්වොත් ඔබ පුදුම වෙනවා ද ? පුදුමයක් නෑ. මේ විදියට හදල බලන්න. ඔබටත් රසවත් අතුරුපසක මිහිර විඳගන්න පුළුවනි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

r සාදික්කා ලෙලි ග්‍රෑම් 500ක්

r සීනි ග්‍රෑම් 500ක්

r සිට්‍රික් අම්ලය ග්‍රෑම් 01ක්

r ජලය මිලි ලීටර් 625ක්

 

සාදාගන්නා ආකාරය

 

සාදික්කා ජෙලි සැකසීම සඳහා එහි පොත්ත ඉවත් කිරීමට අවශ්‍ය නොවේ. එබැවින් පළමුව මේ ලෙලි ටික හොඳීන් සෝදා ගන්න.ඉන්පසුව ඒවා කැබලිවලට කපා ගන්න. එලෙස කපා ගත් සාදික්කා ලෙලි කැබලි ග්‍රෑම් 500කට ජලය මිලිලීටර් 500ක් දමා විනාඩි 30ක් 40ක් ගතවනතුරු හොඳීන් තම්බා ගන්න.

එලෙස තම්බා ගත් සාදික්කා ලෙලි ටික ළිපෙන් බා නිවෙන්නට හැර ලී හැන්දකින් හෝ බ්ලෙන්ඩරයකින් හොඳින් පොඩිකර ගන්න. අනතුරුව ඉතා පිරිසුදු තුනී රෙදි කඩකින් පෙරා ගන්න.

පෙරාගත් පසු සාදික්කා ලෙලි යුෂ උස භාජනයකට දමා ගන්න.

නැවතත් පෙරනයේ ඉතිරි වු කොටසට ඉතිරි ජලය (මිලි ලීටර් 125ක් පමණ) දමා හොඳීන් මිශ්‍රකර නැවත පෙරා ගන්න.

එලෙස පෙරා ගත් කොටස පළමු කොටසට මිශ්‍ර කරන්න.

පෙරහනෙහි ඉතිරි වූ රොඩු ඉවත දමන්න. ජෝගුවක් වැනි වඩාත් උස භාජනයකට දමාගත් මේ උකු දියරය පියනකින් වසා පසුදා වනතුරු නොසොල්වා තබන්න.

මෙලෙස නොසොල්වා පැය 24ක් පමණ ගත වු පසු භාජනයේ පත්ලට ඝන කැබලි බැස ඇති බවත් ඒ මත පැහැදිලි දියරයක් ඇති බවත් ඔබට දැක ගන්නට ලැබෙනු ඇත. මෙම පැහැදිලි දියරය ඉතා පරෙස්සමින් මණ්ඩි මිශ්‍ර නොවන ලෙස වෙනත් භාජනයකට ඉවත් කරගන්න.

මෙයින් ග්‍රෑම් 500කට සීනි ග්‍රෑම් 500ක් ද සිට්‍රික් අම්ලය ග්‍රෑම් 1ක් ද වනසේ දමා නොකඩවා හැඳිගාමින් ඒකාකාරීව මඳ ගින්නේ රත් කරන්න.

මීට ඉහතදී අප සඳහන් කළ පරිදි මෙහි පෙණ ඇතිවන විට සිදුරු සහිත හැන්දකින් එම පෙණ ඉවත් කරන්න.

පදමට උකු ගතිය ඇති වු විට පෙර පරිදිම ජීවානුහරණය කරගත් පිරිසුදු බෝතල්වල අසුරා ගන්න.

මෙම සාදික්කා ජෙලි සඳහා වර්ණ එකතු කිරීම අවශ්‍ය නැත. එහි ස්වභාවික වර්ණයම ඉතාමත් ප්‍රසන්න පෙනුමක් ලබාදෙන ආකාරය ඔබට දක්නට ලැබෙනු ඇත. එසේ නොමැති නම් ඔබ කැමති වර්ණකයක් මිශ්‍රණය ළිප තැබීමේදී එකතු කළ හැකියි.

 

 

********************

අච්චාරු කියන්නේ මතක් කරනකොටත් සමහරුන්ගේ කටට කෙළ උනන කෑමක්. සිංහල අච්චාරු, මැලේ අච්චාරු, පොලොස් අච්චාරු, සුදුලූනු අච්චාරු විතරක් නෙමෙයි අඹ, වෙරළු, ලොවි, ඇඹරැල්ලා ආදී පලතුරු වර්ග වලිනුත් සකසන අච්චාරු වර්ග බොහොමයක් තියෙනවා. ඒ අතරට අද අපි එකතු කරන්නේ සාදික්කා අච්චාරු. එහෙනම් හදලම බලමුකෝ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

rසාදික්කා ලෙලි අවශ්‍ය පමණට

r විනාකිරි අවශ්‍ය පරිදි

rමේස ලුණු රස අනුව

 

සකසන්නෙ මෙහෙමයි

හොඳින් සෝදා ගත් සාදික්කා ලෙලිවල පිටත පොත්ත ඉවත් කර කුඩා තීරුවලට කපා ගන්න.

අනතුරුව මේවා ස්වල්ප වේලාවක් ලුණු වතුරේ තම්බා ගන්න.

පසුව ජලය හොඳිීන් බේරෙන්නට තබන්න. ඉන්පසුව ජීවානුහරණය කරගත් පිරිසුදු බෝතල්වල දමා කැබලි වැසෙන සේ විනාකිරි දමා පියනෙන් වසන්න.

දවස් කිහිපයක් තබාගෙන රස බැලිය හැකියි.