ලස්සන වෙන්න සිරුර හැඩකරගන්න කීටෝ ආහාර

ජනවාරි 13, 2021

තවත් වසරක් ආරම්භ වෙලා අලුත් බලාපොරොත්තු සමඟ ජීවිතය දිනන්නයි සූදානම. මේ වසරේ බලාපොරොත්තු අතරේ කෙට්ටු වෙන්න හිතන අයත් බොහෝයි. කාන්තාවක් නම් ලස්සන හැඩයකට ඇඟ තියාගන්න කැමැතියි. ඉතින් ඒ නිසාම ලස්සනට ඉන්න, කෙට්ටු වෙන්න, නිරෝගී වෙන්න කැමැති අය වෙනුවෙන් අපි කීටෝ කෑම අතිරේකයක් මෙලෙස ගෙන එනවා.

'කෑම රූප' සමූහයේ අපේ සුන්දර කාන්තාවන් බොහොමයක් තමන් ලසස්නට ඉන්න, කෙට්ටු වෙන්න කන කෑම තමයි, මේ ගෙන එන්නේ. මේවා ඔබටත් අනුගමනය කරන්නට හැකියි. අපි කෑම රූප සමූහයේ ආදරණීය සොහොයුරියන් වන අර්ජුනී රණතුංගට සහ තුෂාරි සෙනෙවිරත්න ට ස්තූතිවන්ත වෙමින් මේ කෑම සකසන ආකාරය විමසා බලමු.

 

තරබාරුව, අධික ශරීර බර අද යුගයේ බොහෝ දෙනෙක් පීඩා විඳීන ප්‍රශ්නයි. ඒ නිසාම බොහෝ දෙනා බර අඩුකරගන්න එක එක විදියේ කෑම පාලන පිළිවෙත් අත්හදා බැලීම් කරනවා.

ඒවා කාබෝහයිඩ්‍රේට් අඩු ආහාර -  Low carbohydrate diet, කාබෝහයිඩ්‍රේට් ඉතා අඩු ආහාර Very-low carbohydrate diet,  ප්‍රෝටීන් අධික ආහාර  High protein diet,  මේද අධික ආහාර -High fat diet, සහ Ketogenic (Keto) diet  ආදී ලෙස විශාල පරාසයක පැතිර පවතී.

ඒ අතරින් සාර්ථකව පහසුවෙන් කළහැකි සුවිශේෂී ආහාර පාලන වැඩපිළිවෙළක් වන්නේ කීටෝ ඩයට් ක්‍රමයයි. ශරීරයේ විවිධ තැන්වල තැන්පත්වෙලා ඇති මේද ජීර්ණය වෙලා මේද අම්ල සහ කීටෝන් දේහ නිපදවන ක්‍රියාවලිය Ketogenesis  විදියට හඳුන්වයි. Ketogenesis වැඩි කරන ආකාරයේ ආහාර විධි Ketogenic  ඩයට් විදියට හඳුන්වනවා. Ketogenic dietකියන වචනය කෙටියෙන් කීටෝ ඩයට් විදියට හඳුන්වනවා.

කීටෝ මඟින් කෙටි කාල පරිච්ඡේදයකින් ශරීර බර සහ ස්ථුලතාව සෑහෙන ප්‍රමාණයකින් අඩුකරගත හැකිවීම මේ ක්‍රමයේ ප්‍රධානම වාසියක්. ඒ වගේම කිටෝසිස් ක්‍රියාවලියේ දී රුධිරයට එකතුවන කීටෝන මොලකියුල් මඟින් රුධිරයේ සීනි මට්ටම ප්‍රශස්ථ මට්ටමකට ගේනවා කියලත් සඳහන් වෙනවා. මේ ක්‍රමයේ දී කෑම සීමා කර, කරන වෙනත් ඩයට් ප්ලෑන්වල වගේ බඩගින්නෙ ඉන්න අවශ්‍ය නෑ. තමන් කැමැති කාබ් නැති ආහාර කන්න නිදහස තියෙනවා. පිටි ආහාර තහනම් වීම විතරයි වෙන්නෙ.

එහෙත් හිතුමතේ මේ ආහාර රටාවන් අනුගමනයට යොමු නොවී ආහාර පාලනය කළ යුතු ආකාරය ගැන පෝෂණවේදියෙක් හමුවෙලා උපදෙස් ගැනීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම අධි රුධිර පීඩනය, රුධිර සීනි මට්ටම්/දියවැඩියා ප්‍රශ්න, හෘදයාබාධ ඇති අය අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් මත පමණක් කිටෝ වලට මාරු විය යුතුයි.

 

ස්තූතිය

ජයන්ත රාජවිවේක

කෑම සංසදය

 

 

 

ඔම්ලට් පාර්සල්

අවශ්‍ය දේවල්

 

(ඔම්ලට් එකට)

බිත්තර 2 ක්

චෙඩර් චීස් මේස හැඳි 2 ක්

කිරි මේස හැඳි 2 ක්

 

සාදන ආකාරය

ඉහත ද්‍රව්‍ය එකතුකර හොඳින් කලවම්කර ගොඩක් ඝනකම නැති ඔම්ලට් එකක් සාදාගන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය

(පිරවුම සඳහා)

කේල් කොළ ඉත්තක්

පයින් ඇට (හෝ වෙනත් ඇට

වර්ගක්) මේස හැඳි 2 ක්

හීනියට කපාගත් සුදු ලූනු බික් 1 ක්

ඔලිව් තෙල් මේස හැඳි 1 ක්

රස අනුව ලුණු සහ

ගම්මිරිස් කුඩු

සාදන ආකාරය

බඳුනක් ළිප තබා ඔලිව් තෙල් දමා රත්කර, සුදු ලූනු දමා තෙම්පරාදු කරගන්න. එයට පිළිවෙළින් පයින් ඇට සහ සිහින්ව කපාගත් කේල් කොළ දමා විනාඩියක් තෙම්පරාදු කරගන්න. ලුණු සහ ගම්මිරිස් ස්වල්පය බැගින් රස අනුව දමා ළිපෙන් බා ගන්න.

කලින් පිළියෙල කරගත් ඔම්ලට් එකට කේල් මිශ්‍රණය දමා රෝල් කර පිළිගන්වන්න.

 

උපදෙස් හා ඡායාරූප

හංසා ගමගේ

***********************

මිශ්‍ර සලාදයක්

අවශ්‍ය දේවල්

පතෝල ග්‍රෑම් 50 ක්

බණ්ඩක්කා ග්‍රෑම් 50 ක්

කෝලිෆ්ලවර් ග්‍රෑම් 70 ක්

කරපිංචා

අමුමිරිස්

සුදු ලූනු අවශ්‍ය පමණ

කුකුළු මස් ග්‍රෑම් 100 ක්

බිත්තරයක්

ඔලිව් තෙල්

රස අනුව ලුණු

ගම්මිරිස් කුඩු

සාදන ආකාරය

පතෝල, බණ්ඩක්කා, කෝලිෆ්ලවර් හොඳින් සෝදා කෑලි කපා ගන්න. කරපිංචා, අමුමිරිස් හා සුදු ලූනු සිහින්ව ලියාගන්න. කුකුළු මස් කුඩා කෑලිවලට කපා සෝදාගෙන ගම්මිරිස්, ලුණු කුඩු මිශ්‍රකර සූදානම් කරගන්න. දැන් බඳුනක් ළිප තබා රත්කර ඔලිව් තෙල් ස්වල්පයක් දමා කුකුළු මස් එක්කර බැදගන්න. එයට අනෙක් කපාගත් ද්‍රව්‍ය එක්කර තෙම්පරාදුව සාදාගන්න. අවසානයේ පෑන් එක මැද ඉඩ සාදා එයට බිත්තරයක් එකතු කරගන්න.

 

 

 

 

උපදෙස් හා ඡායාරූපය

අයෝනා චාමිනි

************************

බේක් කළ චිකන් සමඟ එළවළු සලාද

අවශ්‍ය දේවල්

බෝංචි

බ්‍රොකලි

බිත්තර

බාගෙට ඉදුණූ අලිගැටපේර

තක්කාලි

චීස්

ලුණු, ගම්මිරිස්, දෙහි

රස අනුව

කුකුළු මස් කොටසක්

සාදන ආකාරය

බෝංචි, බ්‍රොකලි, ස්ටීම්කර තම්බා ගන්න. බිත්තර වෙනම තම්බාගන්න. කුකුළු මස් කොටසක් ගෙන ලුණූු, ගම්මිරිස්, දෙහි අතගා සීසන් වීමට තබා බේක් කරගන්න. අලිගැටපේර, තක්කාලි හා චීස් කැබලි කපාගන්න. පසුව මෙහි දැක්වෙන සේ සරසා රස අනුව දෙහි, ලුණූු හා ගම්මිරිස් එක්කර රසවිඳින්න. බ්ලූබෙරි හෝ ඔලිව් ද කැමැති නම් එක්කරගත හැකියි.

 

උපදෙස් හා ඡායාරූප

මායි ලී

 

2021/01/13 තරුණි පුවත්පත බලන්න.