කනවනම් කමු

ජනවාරි 13, 2021

අලුත් දේ අත්හදා බලන්න වගේම තමන්ගේ ඒ දැනුම ලෝකයත් සමඟ බෙදා ගන්න කනවනම් කමු සමූහයේ සාමාජිකයන් බොහෝ සේ උනන්දු ය. ඒ නිසාම මුහුණු පොතේ කනවනම් කමු සමූහයේ පළවන විශේෂිත වූ කෑම වට්ටෝරු තරුණී පාඨක ඔබ වෙතට ද අපි මෙලෙසින් ගෙන එන්නෙමු. දවසින් දවස ගෙවෙන මේ වසරේදීත් අලුත් අදහසක් සමඟ අලුත් කෑම වට්ටෝරු දෙකක් ඔබ වෙත තිළිණ කරන්නෙමු.

 

මස් රසයට බිත්තර කරියක්

සමහර ඇත්තන්ට මසක් මාළුවක් නැත්නම් කන්නට පිරියක් නැති ගානය. බතට හදන්නට මස්, මාළු නැති වෙලාවක සිතට එන්නේ කරදරකාරී සිතුවිලි ය.

ඒත් එවැනි වෙලාවක පහසුවෙන් ම සාදා ගත හැකි බිත්තර කරියක් ඔබට ගෙන එන්නේ එවැනි අපහසුතාවලින් ඔබ මුදවා ගැනීමටය. එහෙමනම් මේ බිත්තර කරිය හදන්නේ කෙසේදැයි බලමු.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර (තමාට අවශ්‍ය ප්‍රමාණයට ගන්න)

රතු ලූනු හෝ බී ලූනු

අමු මිරිස් කරල් 2-3 ක්

අඹරා ගත් සුදු ලූනු බික් 4 ක්

කරදමුංගු කරලක්

කුරුඳු පොතු කැබැල්ලක්

රම්පෙ, කරපිංචා

කහ ස්වල්පයක්

මිරිස් කුඩු

ගම්මිරිස් කුඩු

මස් කරි හෝ බැදපු තුනපහ

පොල් කිරි

ලුණු

දැන් අපි කරිය හදමු:

මුලින් ම බීට්කරගත් බිත්තර බඳුනකට දමා පියනකින් වසා හැලප තම්බන ආකාරයට හුමාලයෙන් තම්බා ගන්න. අවශ්‍ය නම් බිත්තරවලට සිහින්ව කපා ගත් ලූනු, අමු මිරිස් ලුණු කුඩු හා ගම්මිරිස් කුඩු ස්වල්පයක් දමා කලවම් කරගැනීමට ද හැකියි. එම හුමාලයෙන් තම්බා ගත් බිත්තර ඝන වූ පසුව ළිපෙන් ඉවතට ගෙන වෙනත් බඳුනකට දමා ගන්න. මේ සඳහා බිත්තර සහිත බඳුන අනික් පැත්ත නමා මඳක් එයට තට්ටු කළ විට එය ගැළවෙයි. දැන් මෙය ඔබ කැමැති ප්‍රමාණවලට කැබැලිවලට කපා ගන්න.

මැටි වළඳක් ළිප තබා එයට තෙල් මේස හැන්දක් දමා රත් වූ පසුව එයට සිහින්ව ලියා ගත් රතු ලූනු/ බී ලූනු, පලාගත් අමු මිරිස්, සුදු ලූනු, කරදමුංගු, කුරුඳු, රම්පෙ, කරපිංචා දමා රන්වන් පැහැ වනතෙක් බැද ගන්න. ඉන්පසු එයට මිරිස් කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු අවශ්‍ය පමණට දමා දැවටුමක් සේ සාදා ගන්න. මේ වෙලාවේ දී ළිපේ ගින්දර අඩුම තත්ත්වයෙන් තබා ගැනීමට මතක තබා ගන්න. දැන් මෙයට බැදපු තුනපහ හෝ මස් කරි පවුඩර් එකතු කරන්න. එයද මිශ්‍රණයට එකතු වන සේ හොඳීන් කළවම් කරන්න. දැන් පොල්කිරි ටික එයට දමන්න. ඉන් පසුව කරිය හොඳීන් හැඳීගාන්න. මේ අතර ළිපේ ගින්දර මඳක් වැඩි කරන්න. මිශ්‍රණය උකු වීගෙන එන විට කපා ගත් බිත්තර කැබැලි මිශ්‍රණයට එකතු කරන්න. මිශ්‍රණයට තවත් උකු වූ පසුව ළිප නිවන්න. මස් රසයට මස් නොමැති මස් කරියක් මේ ආකාරයෙන් ඔබට සකසා ගත හැකියි.

 

ඉදිරිපත් කිරීම: නිරෝෂා ශ්‍රීමතී ගමගේ

 

ඉඳිආප්ප වලින් වැලිතලප

සමහර වෙලාවට කන්න කියලා හැදුවත් කෑම වර්ග ඉතිරි වෙන්නේ අපි නොහිතන විදියට. කෑම අපතේ යවන එකත් හොඳ දෙයක් නෙවෙයි. ඒත් එකම වර්ගයේ කෑම එක දිගට කන්නත් බෑ..

 

 

ඉඳිආප්ප ඉතිරි වුණොත් ඒකෙන් රසම රස වැලි තලප හදාගන්න අද ඉඳන් ඔබට පුළුවන්.

අවශ්‍ය වෙන්නේ:

ඉතිරි වූ ඉඳිආප්ප

පොල් කිරි අඬුකෝප්ප භාගයක්

පැණි අඬුකෝප්ප 2 ක්

සීනි අඬුකෝප්ප කාලක්

කුඩුකරගත් එනසල් කරාබු නැටි කුඩු

ස්වල්පයක් (එනසල් කරලක් දෙකක් කරාබු

නැටි එකක් පමණ)

වැනිලා බිංදු 2-3 ක්

රස අනුව ලුණු

අපි වැලි තලප හදමු:

පළමුවෙන් ම ශීතකරණයෙන් ගත් ඉඳිආප්ප කුඩා කැබැලිවලට කඩා පොඩිකර ගන්න. එයට පොල්කිරි දමා පසෙකින් තබන්න. දැන් සීනි හා පැණි ළිප තබා හැඳිගාන්න.

සාමාන්‍ය ඇලෙනසුළු ස්වභාවකට එනවිට එනසාල්, කරාබුනැටි කුඩු, ඉඳිආප්ප මිශ්‍රණය හා වැනිලා බිංදු 2-3 ක් දමා හැඳිගාන්න. රස අනුව ලුණු ස්වල්පයක් ද එකතු කරන්න.

මිශ්‍රණය ඝන වේගන එන විට තැටියකට දමා තුනී කරන්න.

නිවුණු පසු කෑලි කපා මේසයට යවන්න. ඉතාමත් පහසුවෙන් මෙලෙසින් ඉතිරි ඉඳිආප්පවලින් රසවත් ලෙස වැලිතලප සාදා ගත හැකියි.

 

 

 

විශේෂ ස්තුතිය

'කනවනම් කමු' සමූහයේ  group Admin අමල් අත්තනායකට

 

 

ඉදිරිපත් කිරීම: ප්‍රසන්තා ද සිල්වා