දෛනික ජීවිතයේ වඩාත්ම සමීප රසකාරකය ගැන දන්නවා ද?

ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබ්ලිස් සිල්වාගෙන්
අප්‍රේල් 14, 2021

 

රටම අවුරුදු සිරියෙන් නැහැවෙන බක් මාසය වසන්තය ගෙන එන මාසයයි. ගස්වැල් මල් ඵලවලින් පිරී යන්නා සේ ම ගම් දනවු කැවිලි සුවඳින් පිරී යන මාසයයි. හැම නිවෙසකම තෙල් තාච්චිය ළිප තබා එක රසකැවිල්ලක් හෝ සකසන කොතරම් නැති වුවත් වෙනදාට වඩා එක් එළවළුවක් විශේෂ බතක් හෝ හැදෙන කාලය යි.

ඒ නිසාම ඔසුකුටියේ ගෘහණිය වැඩියෙන් ම රැඳෙන කාලය මෙයයි. කෑම බීම වැඩි වශයෙන් හැදෙන මේ කාලයේ අපේ දේශීය රස කාරක ගැන වැඩියෙන් දැනුම්වත් වීම වැදගත් ය.

එම නිසා අද අපි මේ මාසයේ හදන කෑම බීමවලට වැඩියෙන් යොදන රස කාරක 42 ට අයත්වන තවත් දේශීය රස කාරක කිහිපයක් ගැන දැනගනිමු.

 

ආහාර රසගැන්වීමේදී ප්‍රයෝජනවත් රසකාරකය හකුරු

ඖෂධීය ගුණයෙන් ඉහළ මුරුංගා

 

දවුල් කුරුඳු

 

මෙය ඉංග්‍රී‍සියෙන් Aspecies of Cinnamon ලෙසින් හඳුන්වයි. මෙහි නමින්ම හැඟවෙන්නේ කුරුඳු කුලයට අයත් ශාකයක් වන බවයි. මේ නිසාම මෙහි ද යම් ඖෂධීය වටිනාකමක් ඇති බව වටහා ගත හැකියි.

කුරුඳුවල මෙන් නොව, දවුල් කුරුඳුවල රස කාරකය ලෙස ගන්නේ ගසේ කොළයි. මෙම කොළවල යුෂ සෙවෙල ගතියකින් යුතුය. ශ්‍රී ලාංකිකයන්ට ආවේණික රස කැවිලි අතර විශේෂ තැනක් හිමි ආස්මී සෑදීම සඳහා දවුල් කුරුඳු කොළ යුෂ යොදා ගනී. මේ නිසා ආස්මීවලට රසය මෙන්ම ගුණයක් ද එකතු වී ඇත.

දවුල් කුරුඳු කොළ අතින් කුඩා කැබැලිවලට කඩා අතින් ම පොඩි කළ යුතුය. එවිට එන නානු අතේ දැවටෙන පදමට ගත යුතුය.

 

හකුරු

ඉංග්‍රී‍සියෙන් Jaggery ලෙස මෙය හැඳින්වේ. මෙයින් සිරුරට ග්ලූකෝස් ලැබේ. අධික ලෙස භාවිත නොකළ යුතුය. ආහාර පිළියෙල කිරීමේ දීත් ආහාර රස ගැන්වීමේ දීත් ප්‍රයෝජනවත් වේ.

හකුරු වර්ග කිහිපයක් ම ඇත. පොල් හකුරු, කිතුල් හකුරු, තල් හකුරු ලෙසින් ඒවා වර්ග කෙරෙන්නේ පැණි ලබා ගන්නා ගස් වර්ගය අනුවයි. පොල් හකුරු තරමක තද ගතියකින් යුතු අතර කිතුල් හකුරු ඉතා මෘදුය. ඉක්මනින් ම දියවන සුලු ය. කැවිලි වර්ග මෙන්ම ඇතැම් අතුරුපස වර්ග සැකසීමේ දී ද හකුරු යොදා ගනී. තේ, බෙලිමල්, රණවරා, කැඳ ආදිය බීම සඳහා ද ඇතැම්හු හකුරු රස කාරකයක් ලෙසින් යොදා ගනී.

 

සීනි

 

සීනි Sugar ලෙසින් ඉංගී‍්‍රසියෙන් හඳුන්වයි. රස කාරකයක් වන සීනි ඇතැම් අවස්ථාවල දී ආහාර කල් තබා ගැනීම සඳහා යොදා ගනී. මෙය අධික ලෙස ආහාරයට එක්කර ගැනීම සුදුසු නොවන්නේ දියවැඩියාව වැනි රෝගවලට ගොදුරු විය හැක නිසයි. අඹ, අඹරැල්ලා වැනි ව්‍යාංජන සැකසීමේ දී ඇඹුල් රසය අඩුකර ව්‍යාංජනය රසවත් කිරීම සඳහා සීනි යොදා ගනී. එහෙත් ඇතැම් අය කරිවිල, වට්ටක්කා වැනි ව්‍යාංජන සැකසීමේ දීත් සීනි යෙදීමට පුරුදු වී සිටියි. නමුත් එසේ කිරීම අවශ්‍ය වන්නේ නෑ. කිසිසේත්ම එවැනි ව්‍යාංජන සඳහා සීනි යෙදීමක් සිදු නොකරයි. ඉන් සිදු වන්නේ අනවශ්‍ය ලෙස සිරුරේ සීනි ප්‍රතිශතය ඉහළ යාමයි. සීනි නැති වීම මෙන්ම සිරුරේ සීනි ප්‍රතිශතය ඉහළ යාම සෞඛ්‍යයට හානි පමුණුවයි. එබැවින් සීනි ඇතුවත් බැරි නැතිවත් බැරි රස කාරකයක් ලෙසින් ද හැඳින්විය හැකියි. මේ නිසා සීනි සහ ලුණු යන රස කාරකයන් දෙකම භාවිතයට ගත යුත්තේ ඉතාමත් ප්‍රවේසමෙනි. බොහෝ විට රස කැවිලි, අතුරුපස, බීම වර්ග ආදිය සැකසීමේ දී සීනි යොදා ගැනේ. උක් ගසෙන් ලබා ගන්නා සීනි මේ වන විට අපේ දෛනික ජීවිතයේ වඩාත්ම සමීප රස කාරකය වී ඇත.

 

මුරුංගා පොතු

 

මෙය ඉංග්‍රී‍සියෙන් Drumstick shale ලෙස හැඳින්වේ. මුරුංගා ගස ඖෂධීය ගුණයෙන් ඉහළ ය. එහි මල්, කොළ, පොතු, කරල්, මුල් යන පස් පංගුවම හෙළ වෙදකමේ දී යොදා ගනී. මෙය උෂ්ණකාරකයකි. විස නැසීම සඳහා ද යොදා ගනු ලබයි. ආහාර රුචිය ඇති කරයි. වාතය සහ සෙම නසන ගුණයෙන් යුතුය. අච්චාරු, මෝජු ආදිය සැකසීම සඳහා අබ ඇඹරීමේ දී අබ සමඟ මුරුංගා පොතු කැබැල්ලක් අඹරා ගැනීමෙන් ඒවායෙහි සැර ගතිය වැඩිකර ගත හැකිය.

සෑම ගෙවත්තකම මුරුංගා පැළයක් සිටුවා ගත හැකි නම් එය ඉමහත් ප්‍රයෝජනයක් වනු ඇති.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.