අවුරුදු සමරන ඔබට රස ගුණ කෑම වේලක්..

අප්‍රේල් 14, 2021

 

 

සිංහල දෙමළ අලුත් අවුරුදු සමය කොයි කා අතරත් සතුට රජයන කාලයක්. ‍කැවිලි පෙවිලිවලින් රසවත් වූ අවුරුදු සමයේ ප්‍රධාන ආහාර වේල් සඳහා ද විශේෂිත වූ ආහාර වර්ග සැකසෙනවා. ඥාති හිත මිතුරන්ගේ නිවෙස්වල දී වුවත් තමාගේ නිවෙසේ දී වුවත් තෙල් වැඩි වශයෙන් යෙදූ ආහාර වර්ග ගැනීමට සිදු වෙනවා. කටට රස ගෙන දෙන එවැනි ඇතැම් ආහාර අපේ සෞඛ්‍යයට නම් එතරම් හිතකර නොවේවි.

එහෙත් උත්සව සමයන්හි දී මෙවැනි පැණි රස අධික හා තෙල් සහිත ආහාර සුළු ප්‍රමාණයකින් හෝ ආහාරයට ගැනීමට සිදුවෙනවා. එම නිසා සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් මේ දිනවල දී ලබා ගැනීම පවුලේ සෞඛ්‍යට වැදගත් වේවි. අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ එලෙසින් පවුලේ සියලුදෙනාට ම එකසේ රසවිඳිය හැකි සෞඛ්‍යාරක්ෂිත මෙන්ම රසවත් වූ ආහාර වේලකි.

 

විශේෂ ස්තුතිය - කනවනම් කමු සමූහයේ ගෘෘප් ඇඩ්මින්

අමල් අත්තනායක ට

ගුණයෙන් වැඩි ගොටුකොළ බත්

විවිධාකාර වූ බත් වර්ග ඇතත් රසය වගේම ගුණයෙන් ද සපිරි බත් වර්ගයක් අද අපි ඔබට ගෙන එන්නෙමු.

මෙය ගොටුකොළ කෑමට හොර දරුවන් සිටින අයට නිතර නිතර දරුවන්ට සකසා දිය හැකි රසයෙන් මෙන්ම ගුණයෙන් ද සපිරි බතක්. එහෙමනම් ගොටුකොළ බත හදාගන්නේ කෙසේදැයි දැන් අපි බලමු.

ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ,

සුදු පැහැති හාලක් (සම්බා, කීරි සම්බා, බාස්මතී වැනි)

ගොටුකොළ මිටියක්

බිත්තරයක්

තම්බා කුඩාවට කඩා ගත් කුකුළු මස් (අත්‍යවශ්‍යම නැත)

බටර් මේස හැන්දක් පමණ

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

ලුණු රස අනුව

 

සාදන්නේ මේ ආකාරයටයි,

මුලින් ම හාල් සෝදා නියමිත ප්‍රමාණයට වතුර තබා බත සකසා ගන්න. ඉන්පසුව තරමක ප්‍රමාණයේ බඳුනක් ළිප තබා එයට බටර් දමන්න. එයට තම්බා ගත් කුකුළු මස් ටික දමා මඳ වශයෙන් රත්කර ගන්න. දැන් ලුණු ස්වල්පයක් හා ගම්මිරිස් ස්වල්පයක් දමා ළිපේ ගින්දර අඩු කරන්න. ගසා ගත් බිත්තරය ද මෙයට එකතුකර හොඳින් මිශ්‍ර කරන්න. දැන් මෙයට සෝදා සිහින්ව කපා ගත් ගොටුකොළ ද එකතු කරන්න. එය ද හොඳින් මිශ්‍රකර බත් එක ද මෙයට එකතු කරන්න. මෙය හොඳින් මිශ්‍රකර ලුණු රස බලා ළිප නිවා දමන්න.

මේ රසවත් බත් එකට ඔබට අවශ්‍ය නම් කැරට් අලයක් ද ග්‍රේට්කර එකතු කරගත හැකියි. මේ රසවත් බත කොළ වර්ග කෑමට අකැමැත්තක් දක්වන දරුවන්ට කොළ වර්ග කෑමට පෙලඹීමක් ලබා දෙනවාට සැක නැහැ.

 

 

 

 

ඉදිරිපත් කිරීම

දෙහිවල,

මෙලනි කොඩිකාර

**************

රාබු සීනි සම්බෝලය

 

 

 

රාබු කියන්නේ රසවත් ගුණයෙන් ඉහළ එළවළුවක් වුණත් එහි ඇති වෙනස් වූ ගන්ධයට බොහෝ දෙනෙක් දක්වන්නේ අකැමැත්තක්.

ඒත් මේ සීනි සම්බෝලය නිසා රාබු නොකන අයත් කැමැත්තෙන් මෙය රස විඳින බවට නම් සහතිකයි. මේ රසවත් රාබු සීනි සම්බෝලය අවුරුදු සමයේ නෑ හිත මිතුරන් සමඟින් එකතුවන ආහාර වේලක් රසවත් කිරීමටත් හොඳින් ම ගැළපෙයි.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ,

ලොකු රාබු අල 3-4 ක්

බී ලූනු ගෙඩි 2-3 ක්

රම්පෙ, කරපිංචා

කුරුඳු පොතු කැබැල්ලක් හෝ

කුරුඳු කුඩු ස්වල්පයක්

අමු මිරිස් කරල් 3-4 ක්

එනසල් හා කරාබුනැටි 4-5ක්

සාදික්කා කුඩා කැබැල්ලක්

උම්බලකඩ ග්‍රෑම් 50 ක්

කැබැලි මිරිස් ස්වල්පයක්

ගම්මිරිස් ස්වල්පයක්

සීනි ස්වල්පයක්

දෙහි යුෂ ස්වල්පයක්

රස අනුව ලුණු

අඹරාගත් ඉඟුරු, සුදු ලූනු මේස හැන්දක්

සියඹලා යුෂ ස්වල්පයක්

 

දැන් මෙය හදමු,

පළමුවෙන් ම සුද්දකර සෝදා ගත් රාබු අල ලූනු කපන ප්‍රමාණයට සිහින් තීරුවලට කපා ලුණු දැමූ වතුරේ විනාඩි පහක් පමණ වේලාවක් තබා වතුර මිරිකා ගන්න. ඉන්පසුව තෙලෙන් ලූනු බදින ආකාරයට රාබු ටික කරනොවන සේ හොඳින් බැදගන්න. කපා ගත් බීලූනු ද මෙලෙසින් ම බැදගන්න. දැන් රම්පෙ, කරපිංචා හා අමු මිරිස් ද බැදගන්න.

එනසල්, කරාබුනැටි, සාදික්කා හොඳින් කුඩු කරගන්න. බඳුනකට තෙල් මේස හැඳි 2 ක් පමණ දමා රත්වන විට අඹරා ගත් ඉඟුරු සුදු ලූනු දමා එහි පාට වෙනස්වේගෙන එනවිට එයට උම්බලකඩ දමා බැදෙන්නට හරින්න. එය බැදෙන විට කුඩුකරගත් එනසල්, කරාබුනැටි, සාදික්කා ද එයට එකතු කරන්න. මේ මිශ්‍රණය හැන්දෙන් මිශ්‍ර කරමින් කලින් බැදගත් රාබු, ලූනු, අමු මිරිස්, රම්පෙ, කරපිංචා, කුරුඳු ආදිය එකතුකර හොඳින් මිශ්‍ර කරන්න. දැන් මෙහි මැද කුඩා වළක් ආකාරයට මැදින් මිශ්‍රණය එහා මෙහා කොට කෑලි මිරිස් කුඩු ස්වල්පයක් හා ගම්මිරිස් කුඩු ස්වල්පයක් දමා බැදෙන්නට හැර මිශ්‍ර කරන්න. මෙයට සියඹලා ද එක්කරන්න. සීනි හා රස අනුව ලුණු ද එකතු කරන්න. දැන් තවත් විනාඩියක පමණ වේලාවක් තබා ළිප නිවා දෙහි ගෙඩි භාගයක පමණ යුෂ එකතු කරන්න.

 

 

ඉදිරිපත් කිරීම

තනුජා දිල්හානි

**************

 සුදු ලූනු අච්චාරුව

සුදු ලූනු ඖෂධීය වටිනාකමින් ඉහළ ආහාරයක්. මෙතෙකැයි කිව නොහැකි බොහෝ වාසි අපේ සිරුරට ගෙන දීමට සුදුවලට ඇත්තේ පුදුමාකාර හැකියාවක්.

ශක්තිය වර්ධනය කිරීමට මෙන්ම සිරුරේ ඇති තෙල් (කොලෙස්ටරෝල්) දිය කිරීමේ හැකියාවක් සුදු ලූනු සතුයි. මේ නිසා අවුරුදු සමයේ තෙල් ආහාර වැඩියෙන් රස විඳි ඔබට සුදු ලූනු අච්චාරුවක් සකසා තබා රස විඳීම මඟින් දිවගට දැනෙන රසය මෙන්ම සිරුරේ ඇති අනවශ්‍ය මේද කොටස් නැතිකර ගැනීමටත් උදව්වක් වේවි.

 

මේ සඳහා අවශ්‍ය

ද්‍රව්‍ය වන්නේ,

සුදු ලූනු ග්‍රෑම් 500 ක්

අමු මිරිස් (තමාගේ කැමැත්ත අනුව ප්‍රමාණය සකසා ගන්න)

නයි මිරිස් හෝ කොච්චි

කරල් 5-6 ක්

රතු ලූනු ග්‍රෑම් 100 ක්

විනාකිරි කෝප්ප

භාගයක් පමණ

අබ තේ හැඳි 1 ක්

සූදුරු තේ හැඳි 2 ක්

මිරිස්කුඩු තේ හැඳි 2-3 ක්

තුනපහ තේ හැඳි 1/2 ක්

කහ කුඩු තේ හැඳි 1/4 ක්

එනසාල් කරල් 5 ක් පමණ

කරාබුනැටි 2-3 ක්

ලුණු රස අනුව

සීනි තේ හැඳි 2-3 ක්

තෙල් අවශ්‍ය පමණ

 

දැන් එය

මෙලෙසින් සාදමු,

පොතු ඉවත්කර සෝදා ගත් සුදු ලූනු දෙකට පලා ගන්න. මෙය ගැඹුරු තෙලේ තරමක් රන්වන් පැහැ වනතෙක් බැදගෙන තෙල් බේරෙන්නට තබන්න. දුඹුරු පැහැ වන තෙක් බැදීම සුදුසු නැත. දැන් පොතු ඉවත්කර සෝදා ගත් රතු ලූනු, අමු මිරිස් හා කොච්චි තෙල් බිඳක් තවරා ගත් වළඳක හොඳින් තෙතමනය යන තෙක් එහා මෙහා කරගන්න. මෙහිදී ළිපේ ගින්දර අඩුකර තබා ගත යුතුයි. මෙසේ කිරීමෙන් ඒවා යම් තරමකට පිසීමක් සිදුවන අතර මෙහිදී වර්ණය වෙනස් නොවන සේ එය කිරීමට වගබලා ගන්න.

දැන් අබ සහ සූදුරු හොඳින් අඹරා ගන්න. එනසල් සහා කරාබුනැටි හොඳින් කොටා ගන්න.

මැටි බඳුනක් ළිප තබා එයට අඹරාගත් අබ, සූදුරු සහ කොටාගත් එනසල්, කරාබුනැටි හා සීනි සමඟ අනෙකුත් සියලුම තුනපහ වර්ග ද දමන්න. ලුණු සහ විනාකිරි දමා මෙය මඳ ගින්නේ පිස ගන්න. මෙයට කලින් බැදගත් සුදු ලූනු, අමු මිරිස්, කොච්චි, රතු ලූනු ආදිය දමා මඳ වේලාවක් පිසගන්න.

මෙය හොඳින් නිවුණ පසුව හොඳින් සෝදා වියළා ගත් බෝතලයක දමා කල් තබා ගැනීමට වුවද පුළුවනි.

නමුත් පිසූ විගසම ආහාරයට ගන්නවාට වඩා දින දෙක තුනක් ගිය පසු මෙහි රසය වැඩි වේ. එදිනෙදා ආහාරවේලට මෙන්ම අවුරුද්දෙන් පසුව ඔබේ තෙල් දියකර හැරීමට මේ අච්චාරුවෙන් බික් දෙක තුනක් ආහාරයට ගැනීමට ඔබට පුළුවන්. රසය මෙන්ම ශරීර සෞඛ්‍යයද රැක දෙන මේ අච්චාරුව ඔබේ පවුලේ නැතිවම බැරි ආහාරයක් බවට පත් වේවි.

 

 

ඉදිරිපත් කිරීම නෙදර්ලන්තයේ වෙසෙන

ආත්මා ඇන්තනී

**************

බැටර් කළ ගෝවා මල්

ගෝවා මල් රස ගුණ ඇති කෑමක්. ඒත් මේ වගේ ගුණ කෑම කන්න පොඩ්ඩො තරමක් අදිමදි කරන බව අම්මලා දන්නවා.

එහෙම අම්මලාට මේ කෑම වට්ටෝරුව හොඳින් ම ගැළපෙන්නේ මෙහි රසයට පොඩ්ඩො කැමැත්තක් දක්වන නිසයි.

 

සෑදීමට අවශ්‍ය

වන ද්‍රව්‍ය,

ගෝවා මල්

පාන් පිටි කෝප්පයක්

කොන් පිටි කෝප්පයක්

බේකිං සෝඩා තේ

හැඳි කාලක්

බිත්තරයක්

කරපිංචා

කහ කුඩු ස්වල්පයක්

මිරිස් කුඩු ස්වල්පයක්

තුනපහ කුඩු ස්වල්පයක්

ලුණු රස අනුව

වතුර කෝප්ප 1/2 ක්

 

සාදන්නේ මේ

ආකාරයටයි,

කරපිංචා සිහින්ව කපා ගන්න. පාන් පිටිවලට කොන් පිටි, බේකිං සෝඩා, බිත්තරය, කරපිංචා සමඟ කහ කුඩු, මිරිස් කුඩු, තුනපහ කුඩු, ලුණු කුඩු දමා හොඳින් මිශ්‍ර කරන්න. මෙයට වතුර ස්වල්පය බැගින් දමා බැටරය අනා ගන්න. මෙය උකු ද්‍රාවණයක් සේ සකසා ගත යුතුයි .

සෝදා පිරිසුදුකර කුඩාවට කපා ගත් ගෝවා මල් එම මිශ්‍රණයේ විනාඩි 3 ක පමණ කාලයක් දමා තිබෙන්නට හරින්න. ඒ අතර තාච්චියක් ළිප තබා එයට තෙල් දමා රත්වන්නට ළිප තබන්න. දැන් මෙම බැටරයේ දමා ගත් ගෝවා මල් ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතෙක් බැදගන්න.

වැඩිහිටියන්ට පමණක් සකසන්නේ නම් මඳක් සැරට ගම්මිරිස් කුඩු ස්වල්පයක් ද මෙයට දමා බැටරය සකසා ගත හැකියි.

 

ඉදිරිපත් කිරීම -

නිලුෂිණී පොත්දූවගේ

 

**************

මුස්සැන්ද පපඩම්

මුස්සැන්ද කලෙක දී ඉතාමත් ජනපි‍්‍රය මල් වර්ගයක්. එහෙත් එය රසවත් ආහාරයක් යැයි කිවහොත් ඔබට පුදුම හිතෙන්නටත් පුළුවන්. හොඳ බෙහෙත් වර්ගයක් ලෙසින් ද ගැනෙන මුස්සැන්ද වර්ණ කිහිපයකින් ම ඇත.

 

මුස්සැන්ද ගසේ සුදු පැහැයෙන් එන කොළයක් වැනි වූ පෙති මේ සඳහා ගනු ලබයි.

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ,

මුස්සැන්ද ගසේ මලේම කොටසක් වන කොලයක් වැනි වූ පෙති මේ සඳහා ගතයුතු අතර එවැනි කොටස් ගන්නා තරමට මේ බැටරයට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය සකසා ගන්න.

හාල් පිටි ස්වල්පයක්

පොල්කිරි ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

තෙල්

අවශ්‍ය නම් ගම්මිරිස් ස්වල්පයක්

 

සාදන ආකාරය,

හාල්පිටි වලට ලුණු ස්වල්පයක් දමා පොල්කිරි වලින් අනාගන්න. මෙය තරමක උකු බැටරයක් සේ සකසා ගත යුතුයි. අවශ්‍ය නම් මේ බැටරය සඳහා ගම්මිරිස් කුඩු ස්වල්පයක් ද දමා ගැනීමෙන් තවත් රසවත් කරගත හැකියි.

තාච්චියකට තෙල් දමා ළිප තබා රත්වන්නට හරින්න. දැන් සෝදා පිරිසුදු කරගත් මුස්සැන්ද පෙති බැටරයේ දමා හොඳින් එහි දවටා ගැඹුරු තෙලේ බැදගන්න.

මෙය බැදගත් කරපිංචා කොළ දමා සරසා බැදගත් වියළි මිරිස් කරල් සමඟින් මේසයට යැවිය හැකියි.

 

ඉදිරිපත් කිරීම- බීටා අබේසේකර