අවුරුද්දට නෑගම් යන්න රස තුනකින් කේක් එකක්

අප්‍රේල් 14, 2021

 

අලුත් අවුරුද්දෙ සමීපතම නෑ හිතමිතුරන් වෙත තිළිණ කරන්න.... ගෙදරට එන නෑදෑයන්ට සංග්‍රහ කරන්න... රස තුනක කේක් එකක් මෙන්න.... මෙය කිලෝ තුනේ කේක් නිර්මාණයකි. අපි මුලින්ම රස තුනෙන් කේක් තුන සාදාගනිමු.

 

චොකලට් කේක් එක

අවශ්‍ය දේවල්

පිටි ග්‍රෑම් 200 ක්

සීනි ග්‍රෑම් 250 ක්

බටර් ග්‍රෑම් 250 ක්

කොකෝ පවුඩර් ග්‍රෑම් 50 ක්

බිත්තර 4 ක්

බේකිං පවුඩර් ග්‍රෑම් 15 ක්

වැනිලා තේ හැඳි 1 ක්

කිරි මේස හැඳි 2 ක්

සාදමු

බටර් හා සීනි හොඳින් ගසාගන්න. එම මිශ්‍රණයටම බිත්තර එක බැගින් එක් කරමින් ගසාගන්න. එයටම වැනිලා එකතු කරන්න. පිටි, කොකෝ පවුඩර්, බේකිං පවුඩර් හොඳින් හලා ගන්න. දැන් බටර්, සීනි බිත්තර මිශ්‍රණයට පිටි ටික ටික එකතු කරමින් හොඳින් කලවම් කරන්න.

නැත්නම් ලෝ ස්පීඩ් බිට් කරන්න. කිරි එකතුකර කලවම් කරන්න. කිලෝ එකේ තැටියක් බේකිං පේපර එකක් යොදා සකස් කරගෙන ඒ මත කේක් මිශ්‍රණය අතුරන්න. විනාඩි 8 කට විතර කලින් රත්කරගත් සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයෙන් යුතු අවන් එකේ විනාඩි 40ක් බේක් කරන්න.

 

පිස්ටාචියෝ කේක් එක

අවශ්‍ය දේවල්

කුඩු කරගත් පිස්ටාචියෝ

ග්‍රෑම් 220 ක්

සීනි ග්‍රෑම් 220 ක්

බටර් ග්‍රෑම් 220 ක්

(දියකරගත්)

අල පිටි ග්‍රෑම් 100 ක්

(අල පිටි නැති අය

පාන් පිටි ගන්න)

බිත්තර 5 ක්

වැනිලා එසන්ස් තේ

හැඳි 1 ක්

බේකිං පවුඩර් ග්‍රෑම් 10 ක්

සාදමු

පළමුව බිත්තර සුදු මද කහ මද වෙන්කරගන්න. සුදු මද මුලින්ම හොඳින් හිම වගේ වෙනතුරු බීට් කරගන්න. බිත්තර කහ මද සහ සීනි එකතුකර හොඳින් ගසාගන්න. එයටම බටර් එකතුකර විනාඩි දෙක තුනක් බීට් කරගන්න. එයටම වැනිලා එකතුකරන්න. අල පිටි සමඟ බේකිං පවුඩර් සහ පිස්ටාචියෝ එකට එකතුකර කලවම් කරගන්න.

දැන් සිනි, බිත්තර, බටර් මිශ්‍රණයට පිටි මිශ්‍රණයෙන්

 

 

ටික ටික එකතුකරමින් කලවම් කරන්න. අවසානයට බිත්තර සුදු මද ටික ටික එකතුකරමින් ෆෝල්ඩ් ආකාරයට කලවම් කරගන්න. කිලෝ එකේ තැටියක් බේකිං පේපර් එකක් යොදා සකස් කරගෙන ඒ මත කේක් මිශ්‍රණය අතුරන්න. විනාඩි 8 කට විතර කලින් රත්කරගත් සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයෙන් යුතු අවන් එකේ විනාඩි 40ක් බේක් කරන්න.

 

ආමන්ඩ් රසින් යුතු

කේක් එක

අවශ්‍ය දේවල්

බටර් ග්‍රෑම් 250 ක්

පිටි ග්‍රෑම් 250 ක්

සීනි ග්‍රෑම් 250 ක්

වැනිලා තේ හැඳි 1 ක්

ආමන්ඩ් එසන්ස්

බින්දු කිහිපයක්

(ආමන්ඩ් නොමැතිනම්

බනානා එසන්ස් බිංදු 2 ක්

එකතුකරන්න)

බිත්තර 4 ක්

බේකිං පවුඩර් ග්‍රෑම් 15 ක්

කිරි මේස හැඳි 2 ක්

සාදමු

බටර් හා සීනි හොඳින් ගසාගන්න. එම මිශ්‍රණයටම බිත්තර එක බැගින් එක් කරමින් ගසාගන්න. එයටම වැනිලා එකතු කරන්න. පිටි සහ බේකිං පවුඩර් හොඳින් හලා ගන්න. දැන් බටර්, සීනි, බිත්තර මිශ්‍රණයට පිටි ටික ටික එකතු කරමින් හොඳින් කලවම් කරන්න. නැත්නම් ලෝ ස්පීඩ් බිට් කරන්න. කිරි එකතුකර කලවම් කරන්න. කිලෝ එකේ තැටියක් බේකිං පේපර් එකක් යොදා සකස් කරගෙන ඒ මත කේක් මිශ්‍රණය අතුරන්න. විනාඩි 8 කට විතර කලින් රත්කරගත් සෙලිසියස් අංශක 180 ක උෂ්ණත්වයෙන් යුතු අවන් එකේ විනාඩි 40ක් බේක් කරන්න.

සැරසීම

සාදාගත් කේක් තුනම නිවෙන්න තියන්න. දැන් අපි කේක් එක සරසා ගනිමු. ඒ සඳහා

බටර් ග්‍රෑම් 700 ක්

අයිසිං සීනි ග්‍රෑම් 1300 ක්

කිරි මේස හැඳි 2ක්

වැනිලා තේ හැඳි 1ක්

ඉහත සඳහන් සියල්ල එකට එකතුකර හොඳින් බිට් කරගන්න. මෙයින් ¾ ක් වෙන්කර එයට කොකෝ පවුඩර් මේස හැඳි 2 ක් එකතුකර කලවම් කරන්න. ඉතුරු කොටස දෙකට බෙදා එක කොටසකට තියෙනවා නම් පිස්ටාචියෝ ක්‍රීම් එකෙන් හැන්දක් එකතුකරන්න. නැත්නම් කොළ පාට කලරිං බින්දු කිහිපයක් එකතු කරන්න. අනිත් සාදාගත් බටර් අයිසිං එකට මුකුත්ම එකතුකරන්න එපා.

දැන් සාදාගත් චොකලට් අයිසිං එකෙන් කේක් තුනම සැන්ඩ්විච් කරගන්න. ඊට පසු මුළු කේක් එක වටේම සහ උඩ කවර් කරගන්න. දැන් ටික වේලාවක් තියන්න. ටික වේලාවකට පස්සේ පාට තුනෙන්ම ගළපා වටේට අයිසිං එක ගා ලස්සන රටාවකට නිට් කරගන්න.

ඉන්පසු තිබෙන නොසල් එකක් උපයෝගී කරගෙන කේක් එක උඩ වටේට සරසාගන්න. නට්ස් වර්ග, චොකලට් උපයෝගී කරගෙන කේක් එක සරසා ලස්සන කරගන්න.

උපදෙස් හා ඡායාරූප

ඉතාලියේ පර්මාහි පදිංචි සූපවේදිනී

ජනනී ගුරුසිංහ