රම්පෙවලින් දිව පිනවන කෑම බීම

ජූලි 14, 2021

 

කෑම රුචිය වඩන, ප්‍රණීත සුවඳකින් හෙබි රම්පේ ගහක් නැති ගෙවත්තක් නැතිතරම්.  Pandanus amaryllifolius හෙවත් කවුරුත් දන්නා  Pandan Leaves නැත්නම් රම්පේ ගැන නොදන්නා කෙනෙක් ද අපේ රටේ නැත. ගම්බද පැතිවල නම් මේවා කැලෑවටත් හැදෙනවා.

දකුණු ආසියාතික රටවල් කිහිපයක් රම්පේ බහුලව භාවිත කරන බව අන්තර්ජාලයේ සඳහන්. විශේෂයෙන්ම මැලේසියාව, පිලිපීනය, ඉන්දුනීසියාව, තායිලන්තය වගේ රටවල රම්පේ භාවිත කරමින් සාදා ගන්නා කෑම බීම බොහෝයි.

මේවා අපටත් අපේම තාලෙට සකසා රස විඳීය හැකියි. සමහර රටවල රම්පේ ආහාර සඳහා ස්වාභාවික වර්ණකාරකයක් ලෙසත් යොදාගන්නවා. විස නසන ගුණයෙන් අනූන රම්පේ මහඟු ඖෂධයකි.

අපේ රටේ මේ තරම් රම්පේ තිබිලත් ව්‍යාංජනවලට එකතු කරනවා හැරෙන්නට කෑමක් බීමක් හදන්න ඕනේ කියලා නම් කාටවත් අදහසක් තිබුණේ නෑ නේද? අපේ පාරම්පරික කෑම බීම පිළිබඳ උනන්දුවක් දක්වන ගෘහණියක් වූ, සූපවේදයේ දස්කම් පාන තිලානි විතානගේ මහත්මියට මේ අදහස ඇවිත්.

කවදත් අලුත් දෙයක් කරන්න උත්සාහ කරන ඇයට මේ පිළිබඳ ලාංකික කාන්තාවන්ගේ ගෞරවය හිමිවිය යුතුමයි. අද අපි ඇය අතින් සැකසුණු රම්පේ යොදා සකසා ගත් කෑමබීම කිහිපයක් අපේම තාලෙට රස විඳීන්නට ඔබට මෙලෙසින් ගෙන එනවා.

 

 

ඡායාරූප සහ ආහාර සැකසීමට උපදෙස්

තිලානි විතානගේ

 

 

 

රම්පෙ වගාකිරීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු

 

රම්පෙ පිළිබඳ හැඳීන්වීමක්

 

 

ඈත අතීතයේ පටන් අපගේ ආහාර වේල රසවත් කිරීමට යොදා ගත් ස්වාභාවික රසකාරකයක් ලෙස "රම්පෙ" හඳුන්වා දිය හැකියි.

සහල්වල පවතින දුර්ගන්දය නැති කර ගැනීමට සහ ආහාර රුචිය වඩවන සුවඳක් බතට එකතුකර ගැනීමට බොහෝමයක් නිවෙස්වල බත් මුට්ටියට "රම්පෙ" කොළ කැබැල්ලක් එකතුකර ගනී. තවද ආහාර වර්ග පිසගැනීමේ දී හා තෙම්පරාදුකර ගැනීමේදී ආහාර රුචිය හා සුවඳ තවදුරටත් වර්ධනය කරගැනීමට "රම්පෙ" වැඩි වශයෙන් යොදා ගනී.

විස වර්ග අවශෝෂණය කරගැනීමට ඇති හැකියාව නිසා පාරම්පරික හෙළ වෙදකමේදීත් "රම්පෙ" ඖෂධ ලෙස යොදා ගනී.

 

"රම්පෙ" වල ආවේණික ගුණාංග.

(i). රස කාරකයකි.

(ii). සුවඳ කාරකයකි.

(iii). විස වර්ග අවශෝෂකයකි.

"රම්පෙ" වගා කර ඇති ආකාරය

වර්තමානය වන විට සාමාන්‍යයෙන් බොහොමයක් නිවෙස්වල "රම්පෙ" පඳුරක් වගා කර තිබීම සුලබව දැකිය හැකියි. තවදුරටත් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ එම "රම්පෙ" පඳුර පෝෂණය වන්නේ නාන කාමරයෙන් ඉවත් කරන ජලයෙන් බවයි.

"රම්පෙ" පිළිකා කාරකයක් වන ආකාරය.

අතීතයේ දී නම් නාන වතුරෙන් පෝෂණය වූ "රම්පෙ" පරිභෝජනය කිරීම එතරම් ගැටලුවක් නොවුණත් වර්තමානය වන විට එය මිනිසාගේ සෞඛ්‍යයට සෘජුවම බලපෑම් කරන කරුණක් බවට පත්වී හමාරය. මෙයට හේතු වන්නේ නාන කාමරයෙන් ඉවත් කරන ජලයේ අධික විෂ සහිත සංයෝග අඩංගු වීමයි. එම විෂ සහිත සංයෝග පහත ආකාරවලට නාන කාමරයෙන් ඉවත් කරන ජලයට එකතු වෙයි.

(i). භාවිත කරන විවිධ රෙදි සෝදන කුඩු වර්ගවලින්

(ii). භාවිත කරනු විවිධ ෂැම්පු වර්ග වලින්

(iii). හිස කෙස් කළු කිරීම සඳහා යොදා ගන්නා විවිධ ඩයි වර්ගවලින්

(iv). සබන් වර්ග, Face wash වර්ග, නිය ආලේපන

(v). පිරිසුදු කිරීමට යොදාගන්නා පිරිසුදු කාරක හා සුරතල් සතුන් සඳහා යොදා ගන්න විවිධ රසායනික ද්‍රව්‍ය

 

ඔබ නොදැනුවත්වම නාන කාමරයෙන් ඉවත් කරන ජලයේ ඉහත සඳහන් කළ රසායනිකසංයෝග අන්තර්ගත වේ. මේවා බොහොමයක් පිළිකා කාරක වන අතර ඇතැම් ඒවායේ මිනිසාට උග්‍ර විෂ සහිත බැර ලෝහ ද අන්තර්ගත වේ. රම්පෙ ශාකයට ආවේණික විෂ උරා ගැනීමේ හැකියාව නිසා නාන කාමරයෙන් ඉවත් කරන ජලයෙන් පෝෂණය වන ඔබගේ රම්පෙ පඳුරේ පිළිකා කාරක විශාල ප්‍රමාණයක් අන්තර්ගත වේ. දැන් කාලෙ මුළුතැන්ගෙයින් පවා පිටවෙන වතුර විෂ සහිතයි. ඒ නිසා රම්පේ ගස නිවෙසින් පිටකරන කිසිදු ජල මාර්ගයකට සම්බන්ධ නොවන සේ වගා කර ගැනීමට සැලකිලිමත් වන්න. නිවෙසේ පරිභෝජනය සඳහා වගාකර ඇති රම්පෙ පඳුර පිරිසුදු ජලයෙන් පමණක් පෝෂණය කරන්න.

 

 

 

උපුටා ගත්තේ - මහජන සෞඛ්‍ය පරීක්ෂක

බී. ජී. ළහිරු ගයාෂාන් ගේ Facebook පිටුවෙනි

 

 

----------------------

රම්පෙ කොළ කැඳ

අවශ්‍ය දේවල්

 

රම්පෙ කොළ කිහිපයක්

සුදු කැකුළු හාල් මිටක්

ගාගත් පොල්

රස අනුව ලුණු

සුදු ලූනු බිකක්

වතුර

හදන්නේ මෙහෙමයි

 

සුදු කැකුළු හාල් මිටක් ළිපේ තියා ඒකට තළාගත් සුදු ලූනු බිකක් එක්කර බෙරි වෙන්න උයා ගන්න. පොල් කෝප්පයක් පමණ ගෙන, එයට කූඩාවට කපාගත් රම්පේ කොළ හා වතුර දමා බ්ලෙන්ඩ් කර පෙරා ගන්න. පොල්කිරි, රම්පේ කොළ මිශ්‍රණයටම බෙරි වෙන්න උයා ගත් බත් ටික දමා හොඳීන් බ්ලෙන්ඩ් කර ගන්න. විනාඩි කීපයක් ළිපේ තියා නොනවත්වාම හැඳී ගාමින් උතුරුවා පදමට ලුණු දාන්න. කැඳ උතුරුවා ගත් ගමන්ම වෙනත් භාජනයකට මාරු කරන්න. නැත්තම් කැඳවල ලස්සන කොළ පාට නැති වෙනවා.

 

------------------------------

රම්පෙ කිරිබත්

අප සාමාන්‍යයෙන් කන කිරිබත වගේම වුණාට මෙහි කිරි රසයත් සමඟ රම්පේ රසයත් විඳගත හැකියි.

අවශ්‍ය වන්නේ

 

රම්පේ කොළ කිහිපයක්

සුදු කැකුළු හාල් කෝප්ප 2ක්

පොල් කෝප්පයක්

රස අනුව ලුණු

 

හදන්නේ මෙහෙමයි

මුලින්ම සුදු කැකුළු හාල් හොඳීන් සෝදා අප සාමාන්‍ය කිරිබත් උයන ප්‍රමාණයට වතුර දමා ළිපේ තියන්න. ඒ අතර රම්පේ කොළ කුඩාවට කපාගෙන පොල් හා වතුර කෝප්පයක් දමා හොඳීන් බ්ලෙන්ඩ් කර පෙරා ගන්න. රම්පේ කොළ නිසා මෙය ලස්සන හරිත පැහැයක් ගන්නවා. බත උතුරන්න පටන් ගන්නකොටම රම්පේ සමඟ බ්ලෙන්ඩ් කර ගත් කිරි ටික එයට දමන්න. පදමට ලුණු දමා කිරි ටික හිඳෙන තුරු හැන්දෙන් කලවම් කරමින් අඩු ගින්දරේ කිරිබත උයා ගන්න. සාමාන්‍ය කිරිබත් වගේ කෙසෙල් කොළයක හෝ පිඟානක හෝ තුනී කර කෑලි කපා ටිකක් නිවෙන්න තියන්න. කොච්චි දාපු සැර ලුණු මිරිසක් එක්ක රස විඳීන්න. හරිම රසයි

----------------------------

 

රම්පෙ කොකනට් බටර් කේක්

අවශ්‍ය වන්නේ

 

බටර් ග්‍රෑම් 250ක්

කුඩුකරගත් සීනි ග්‍රෑම් 140ක් (ග්‍රයින්ඩ්කර ගන්න)

පාන් පිටි ග්‍රෑම් 200ක්

බිත්තර 4ක් (සුදුමද හා කහමද වෙන වෙනම)

රම්පේ යුෂ මේස හැඳී 3ක් (නැවුම් රම්පේ කොළ කිහිපයක් වතුර ස්වල්පයක් සමඟ බ්ලෙන්ඩ්කර පෙනේරයකින් පෙරා යුෂ හදාගන්න)

බේකිං පවුඩර් තේ හැඳී 1යි 1/ 2ක්

පොල්කිරි මිලිලීටර් 50ක්

 

හදන්නේ මෙහෙමයි

 

කේක් එක හදාගන්න කලින් අවන් එකට දාන්න පුළුවන් තැටියකට බටර් ගාගත් බේකිං පේපර් එකක් දමා ලෑස්ති කරගන්න. බේකිං පේපර් නැත්නම් කේක් ට්‍රේ එකේ බටර් ටිකක් ගා ඒක උඩට පාන් පිටි ස්වල්පයක් දමා බටර්වල පාන් පිටි තැවරෙනකම් එහෙට මෙහෙට කරන්න. වැඩිපුර පාන් පිටි ටික හලලා දාන්න. බඳුනක් ගෙන බටර් හා සීනී එකට දමා ඉලෙක්ට්‍රික් බීටරයෙන් ක්‍රීම් වනතුරු බීට්කරන්න. (එකම පැත්තකට පමණක් බීට් කරන්න)

ක්‍රීම් වුණාට පස්සේ බිත්තර කහ මද ටික එකතුකරමින් තවත් හොඳීන් බීට්කරන්න. බිත්තර එකතු කිරීමෙන් පසු ටික වේලාවකින් බීට්කිරීම නවත්වන්න. දැන් මිශ්‍රණය ක්‍රීම් එකක් විදිහට තියෙන්න ඕනේ. ඒ අතර අවන් එක සෙල්සියස් අංශක 170 ට රත්වෙන්න දාන්න.

දැන් පාන් පිටි හා බේකිං පවුඩර් එකට දමා හොඳීන් හැන්දකින් කලවම් කරන්න. දැන් පාන් පිටිවලින් ටිකටික, රම්පේ යුෂ හා පොල්කිරි පිළිවෙළින් කලින් හදාගත්ත මිශ්‍රණයට දමා ලී හැන්දකින් හොඳීන් මිශ්‍රකරන්න. මේ සඳහා බීටරය පාවිච්චි නොකරන්න. ඒ වගේම ලී හැන්දෙන් මිශ්‍ර කිරීමේ දී එකම පැත්තකට මිශ්‍ර කිරීමටත් වගබලා ගන්න (මේ මිශ්‍රණය ලස්සන හරිත පැහැයක් ගන්නවා. මේ මිශ්‍රණය වැඩිය දියාරුත් නැති ඝනකමත් නැති මිශ්‍රණයක් විය යුතුයි.)

හොඳීන් වියළි භාජනයකට බිත්තර සුදු මද ටික දමා වතුර නොගෑවුණු වියළි බීටරයකින් විනාඩි කිහිපයක් හයි සීපීඩ් හොඳීන් බීට්කරන්න. පෙණ නැග හොඳීන් බීට් වුණාම ඒ ටිකත් කේක් මිශ්‍රණයට දමා හැන්දකින් මිශ්‍රකරන්න. දැන් කේක් මිශ්‍රණය කලින් සකසාගත් කේක් තැටියට දමා තැටිය අත් දෙකෙන් උස්සා පොඩ්ඩක් මේසයට ගසන්න. එතකොට කේක් එක සමබර වෙලා පිපෙන්න ලේසි වෙනවා. සෙල්සියස් අංශක 170ක ට රත්කරගත් අවන් එකේ විනාඩි 40ක් 45ක් පමණ බේක්කර ගන්න. කේක් එක බේක්වෙන කොට රම්පේ සුවඳක් හමනවා. කේක් එකට ටූත් පික් එකකින් ඇන බලන්න බේක්වෙලා ද කියලා. බේක්වෙලා නම් ටූත් පික් එකේ මිශ්‍රණය ගෑවෙන්නේ නෑ. අවශ්‍ය නම් හොඳීන් නිවුණාට පසු බටර් අයිසිංවලින් සරසාගන්නත් පුළුවන්.

 

-------------------------------

රම්පෙ හොට් ටී ද? කූල් ඩ්‍රින්ක් ද?

අවශ්‍ය දේවල්

 

රම්පෙ කොළ ග්‍රෑම් 120ක්

සීනි ග්‍රෑම් 180ක්

වතුර් ලීටර් 2.5ක්

 

මෙහෙමයි හදන්නේ

රම්පේ කොළ හොඳීන් සෝදා කපා තවත් විනාඩි 45 ක් හෝ පැයක් පමණ පෙඟෙන්න තියන්න. අතුල්ලා නැවත සෝදාගන්න.

එලෙස පෙඟෙන්න තියන්නේ රම්පේ කොළවල ඇති මඩ, දූවිලි ආදිය හොඳීන් සෝදාගන්නයි.

පසුව ගැඹුරු බඳුනකට එම කපාගත් රම්පේ කොළ හා වතුර දමා පියනකින් වසා තැම්බෙන්න තියන්න. විනාඩි 15 කින් පියන ඇර පිරිසුදු හැන්දකින් කලවම් කර තවත් විනාඩි 25 ක් තියන්න. පසුව තැම්බුණු රම්පේ කොළ අයින් කර සීනි එකතුකර තවත් විනාඩි 3 ක් හැඳීගාමින් පිසගන්න.

මෙය පෙරා උණුවෙන් කෝප්පවලට දමා පානය කරන්න.

නැත්නම් හොඳීන් නිවෙන්න තබා නිවුණාට පසු අයිස් කැට දමා ඩ්‍රින්ක් එකක් විදිහට පිළිගන්වන්නත් පුළුවන්.

 

-----------------------------

රම්පෙ කොකනට් අයිස්ක්‍රීම්

අවශ්‍ය වන්නේ

කුරුම්බා ගෙඩියක ළොඳ

මිල්ක්මේඩ් පොඩි ටින් එකකින්

භාගයක් (මිලිලීටර් 200ක්)

විපිං ක්‍රීම් මිලිලීටර් 200ක්

රම්පේ යුෂ මේස හැඳී 3ක්

(කුඩා කැබැලි කපාගත් රම්පේ කෑලිවලට

වතුර මේස හැඳී 2ක් දමා බ්ලෙන්ඩ්කර

මිරිකා පෙනේරයකින් පෙරා යුෂ ගන්න)

හදන්නේ මෙහෙමයි

කුරුම්බා ළොඳ ටික භාජනයකට දමා ඒකට මිල්ක්මේඩ් එකතුකර හැන්දකින් හොඳීන් කලවම් කරන්න. ඒකටම රම්පේ යුෂ ටිකත් එකතුකර මිශ්‍ර කර පසෙකින් තබන්න. (මෙය ලස්සන හරිත වර්ණ මිශ්‍රණයක් තමයි තියෙන්න ඕනේ) දැන් වෙනත් භාජනයකට විපිං ක්‍රීම් ටික දමා ඉලෙක්ට්‍රික් බීටරයකින් ක්‍රීම් වනතුරු හයි ස්පීඩ් (වැඩි වේගයකින්) බීට කරන්න.

දැන් ක්‍රීම් එක කලින් සාදාගත් රම්පේ, කුරුම්බා මිශ්‍රණයට එකතුකර හොඳීන් කලවම් කර වහන්න පුළුවන් භාජනයකට දමා අධි ශීතකරණයේ පැය 5ක් පමණ සෙට් වෙන්න තියා රස විඳීන්න.

---------------------------------

රම්පෙ පොල් කිරි පුඩිං

තායිලන්තයේ ජනප්‍රිය අතුරුපසක් වන මෙය අපේ කිරියා/කිරිදොදොල් වගේ තමයි පෙනුම. අන්තර්ජාලයේ රෙසිපි කිහිපයක්ම බලා අපිට ගැළපෙන විදිහට වෙනස් කරගෙන තමයි තිලානි මේ රෙසිපිය සකසා තිබෙන්නේ.

අවශ්‍ය නම් මෙයට මිල්ක්මේඩ් හැන්දක් වුවද එකතු කර ගන්න පුළුවන්.

අවශ්‍ය වන්නේ

 

හාල්පිටි මේස හැන්දක් (කඩේ පැකට් හාල්පිටි)

උකු පොල්කිරි මිලිලීටර් 400ක්

රම්පේ යුෂ පීරිසි කෝප්ප 1/2ක් (රම්පේ

කොළ කෑලි කපා වතුර ස්වල්පයක් දමා

හොඳීන් බ්ලෙන්ඩ් කර පෙරා සාදා ගන්න)

කෝන් ෆ්ලාර් (කෝන් පිටි) මේස හැඳී 2ක්

බටර් තේ හැඳී 1/4ක්

සීනි ඔබේ රස පදමට

ලුණු ස්වල්පයක්

හදන්නේ මෙහෙමයි

 

මුලින්ම කුඩා තැටියකට බටර් ටිකක් ගා ලෑස්ති කර පසෙකින් තියා ගන්න. නන්ස්ටික් භාජනයකට පොල් කිරි වලින් මිලිලීටර් 300ක් දාන්න. ඉතුරු පොල් කිරි ටිකට කෝන් ෆ්ලාර් හා හාල් පිටි ටික එකතුකර හොඳීන් මිශ්‍ර කර මුලින් භාජනයට දාපු පොල් කිරිවලටම පෙනේරයකින් පෙරා ගන්න. කැටි නැති වෙන්න ඕනේ නිසා තමයි එහෙම පෙරා ගන්නේ. දැන් ඒකටම රම්පේ යුෂ, සීනි හා ලුණු ටිකත් එකතුකර හැන්දකින් හොඳීන් මිශ්‍ර කර අඩු ගින්දරේ ළිපේ තබා උණු කරන්න. රම්පේ යුෂ නිසා ඒ මිශ්‍රණය ලස්සන හරිත පැහැයක් ගන්නවා. දැන් ඒක අඩු ගින්දරේ ළිපේ තියා දිග ලී හැන්දකින් (දොදොල් හැඳී ගාන විදිහට) අඩිය අල්ලන්නේ නැති වෙන්න හැඳී ගාන්න. ටික වෙලාවකින් මිශ්‍රණය ඝනකම වේගන එනවා. අතට හොඳීන් ඝනකම දැනෙනකොට බටර් එකතුකර ළිප ඕෆ් කරන්න. දැන් කලින් සකසා ගත් බටර් ගාපු තැටියට දමා පැය කිහිපයක් නිවෙන්න තියන්න. ශීතකරණයේ තියා කූල් කර කෑලි කපාගෙන රස විඳීන්න.

 

 

------------------------------

රම්පෙ කප් කේක්

අවශ්‍ය වන්නේ

(කප් කේක් 10ක් සඳහා)

 

බටර් ග්‍රෑම් 115ක්

ලොකු රම්පේ කොළයක්

පාන් පිටි කෝප්ප 1 1/4ක්

සීනි කෝප්ප 3/4ක්

නැවුම් කිරි කෝප්ප 1/2ක්

ලොකු බිත්තරයක්

වැනිලා ස්වල්පයක්

බේකිං පවුඩර් තේ හැන්දක්

 

හදන්නේ මෙහෙමයි

 

අවන් එක සෙල්සියස් අංශක 180 ට රත් වෙන්න දාන්න. රම්පේ කොළය කුඩා කෑලි කපාගෙන වතුර මේස හැඳී 2ක් දමා හොඳීන් බ්ලෙන්ඩ් කර පෙරාගෙන පසෙකින් තබා ගන්න.

පාන් පිටි හා බේකිං පවුඩර් එකට දමා පෙනේරයකින් හලාගෙන ඒකත් පසෙකින් තබා ගන්න. භාජනයකට බටර් හා සීනී දමා ක්‍රීම් වනතුරු හොඳීන් බීට් කරන්න. එයට වැනිලා එකතු කරන්න. එයටම කලින් හදාගත් රම්පේ යුෂ ටික ටික එකතු කරමින් බීට් කරන්න. ඒ එක්කම බිත්තරයත් මිශ්‍රණයට දමා තවත් ටිකක් වෙලා බීට් කරන්න.

දැන් බීට් කරන එක නවත්තා පාන් පිටි ටික ටික බීට් කරගත් මිශ්‍රණට දමමින් ලී හැන්දකින් එකම පැත්තකට මිශ්‍ර කරන්න.

ඒත් එක්කම කිරි ටික ටික එකතු කරන්න.

රම්පේ යුෂ එකතු කරපු නිසා මිශ්‍රණය ලස්සන හරිත පැහැයක් ගන්නවා.

කප් කේක් ට්‍රේ එකට පේපර් කප්ස් දමා එක කප් එකකට මිශ්‍රණයෙන් මේස හැන්ද බැගින් දාන්න.

කප් එක පිරෙන්න දාන්න එපා. තුන් කාලක් විතර දාන්න. නැත්නම් අවන් එකේ දී මිශ්‍රණය පිපෙනකොට කප් එකෙන් එළියට උතුරලා යනවා. සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයේ විනාඩි 15/ 20ක් පුලුස්සා ගන්න.

ටූත් පික් එකකින් කප් එකට ඇන බලන්න බේක් වෙලා ද කියලා. මිශ්‍රණය ටූත් පික් එකේ ගෑවෙන්නේ නැත්නම් හරි. මේ කප් කේක්වල පැණි රස නම් ටිකක් අඩුයි.