රස ගුණ පිරි කඩල සහ හතු විවිධ රසට

ජූලි 28, 2021

 

ධාන්‍ය වර්ග කියන්නෙ ලොකු පොඩි කවුරුත් ඒ තරම්ම ආසාවෙන් කන දෙයක් නම් නෙමෙයි. නමුත් ඒවා ආස හිතෙන විදියට හැදුවොත් කන එක නවත්තන්න බැරිවෙයි. අද අපි ගෙනාවෙ කඩල විවිධ රසින් හදාගන්න පහසු ආහාර වට්ටෝරු.

ඒ වගේම හතු නැත්නම් මෂ්රූම් කියන්නේ අපි කවුරුත් කන්න ආස කෑමක්. ඒ නිසා මෂ්රූම් ආහාර වට්ටෝරු කිහිපයකුත් තිළිණ කරන්න හිතුවා. ඔබත් මේ රසවත් ආහාර සකසා ඔබේ දෛනික ආහාර වේලට වෙනසක් එක් කරගන්න.

උපදෙස්

- විධායක සූපවේදී

සුජිත් ආරියරත්න

 

පෝෂණ ගුණයෙන් ඉහළ කඩල සුප්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

තම්බාගත් කඩල කෝප්ප 1ක්

රවුමට කපාගත් ලූනූ ගෙඩි 2ක්

කපාගත් තක්කාලි ගෙඩි 1ක්

කහකුඩු තේ හැඳි 1/2ක්

තුනපහකුඩු තේ හැඳි 1/2ක්

කපාගත් අමුමිරිස් කරල් 2ක්

මිටිකිරි කෝප්ප 1ක්

ලුණු ස්වල්පයක්

දෙහි බෑයක යුෂ

එළවළු තෙල් ස්වල්පයක්

සාදන ක්‍රමය

පළමුව භාජනයකට තෙල් ස්වල්පයක් දමා රත්වන විට අමුමිරිස්, තක්කාලි දමා තෙම්පරාදු කරගන්න. එයටම කහකුඩු හා තුනපහකුඩු එකතු කර මිශ්‍රකරන්න. විනාඩි කිහිපයක් තැම්බෙන්නට හැර කඩල ටික දමා කලවම් කර මිටිකිරිත් එකතු කර හැඳිගාන්න. 

රස අනුව ලුණු දමා, කිරි උතුරනකොට දෙහි යුෂ ටිකක් දාලා කපාගත් ලූනූ එකතු කරන්න. තැම්බෙන්නට හැර ළිප නිමන්න. 

 

 

---------------------

කඩල මිශ්‍ර ලූනූ කරිය

අවශ්‍ය ද්‍රව්‍ය  

 

කඩල ග්‍රෑම් 200ක්

කැරට් අලයක්

අර්තාපල් අල ගෙඩියක්

රස අනුව ලුණු ස්වල්පයක්

ගම්මිරිස්කුඩු ස්වල්පයක්

 

සාදන ක්‍රමය

මුලින්ම රැයක් පෙඟෙන්නට දැමූ කඩල, වතුර දමා තැම්බෙන්න තියන්න. ශුද්ධ කර ගත් අර්තාපල් අල ගෙඩිය හා කැරට් අලයත් තම්බගන්න.

ඉන්පසු තැම්බුණු කඩල ටික ගෙන  හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. තම්බාගත් අල හා කැරට් කෑලි හිටින සේ බ්ලෙන්ඩ් කර ගන්න. 

කඩල සහ බ්ලෙන්ඩ් කරගත් අල, කැරට් එකට කලවම් කරගෙන ලුණු හා ගම්මිරිස් එකතු කර රස බලන්න. උකු වැඩි නම් තව උණුවතුර එක්කරන්න. 

--------------------

 පාසල් දරුවන්ගේ පෝෂණයට ක්‍රීම් කඩල

අවශ්‍ය ද්‍රව්‍ය

 

තම්බාගත් කඩල කෝප්ප 1ක්

කිරි කෝප්ප 1ක්

බටර් මේස හැඳි 1ක්

රස අනූව ලුණු

ගම්මිරිස්කුඩු ස්වල්පයක්

 

සාදන ක්‍රමය

පළමුව තම්බාගත් කඩල හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ක්‍රීම් වෙනකල් බ්ලෙන්ඩ් කර භාජනයකට දමා ළිප තියන්න. 

බටර් හා කිරි ටිකත් එකතුකර හොඳට හැඳිගාන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දමා උකු වෙනකල් ළිප තබා හැඳිගාන්න. මෙය පාසල් යන දරුවන්ගේ උදෑසන ආහාර වේලට පෝෂදායි ආහාරයකි.

 

------------------

 

බත් පත රසවත් කරන කඩල රෙඩ් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය -

තම්බාගත් කඩල කෝප්ප 1ක්

තලාගත් ඉඟුරු, සුදුලූනූ මේස හැඳි 1ක්

මිරිස්කුඩු තේ හැඳි 2ක්

චොප්කරගත් ලූනූ ගෙඩි 1ක්

තක්කාලි සෝස් මේස හැඳි 2ක්

ලුණු හා ගම්මිරිස්කුඩු

තෙල් ස්වල්පයක්

සාදන ක්‍රමය -

පළමුව භාජනයක් ළිප තබා තෙල් ස්වල්පයක් එක්කර රත්වෙනකොට ඉඟුරු, සුදුලූනූ හා ලූනූ ටික දාගන්න. ඉන්පසු මිරිස්කුඩු එකතු කරන්න. දැන් මෙයට තම්බාගත් කඩල ටික දමා ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න. ළිපෙන් බාන්න පෙර තක්කාලි සෝස් මේස හැඳි 2ක් පමණ එක්කර කලවම් කරගන්න.

 

---------------------

කෑම මේසයට වෙනසක් කඩල සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බා බැදගත් කඩල කෝප්ප 1ක්

කපාගත් ලූනු ගෙඩි 1ක්

කපාගත් තක්කාලි ගෙඩි 1ක්

චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

රස අනූව ලුණු

ගම්මිරිස් කුඩු

දෙහි යුෂ ස්වල්පයක්

 

සාදන ක්‍රමය

 

මුලින්ම කපාගත් ලූනූ, තක්කාලි, කොත්තමල්ලි කලවම් කරගන්න. ඉන්පසු එයටම කඩල ටිකත් දාගන්න. ඊළඟට ලුණු, ගම්මිරිස්කුඩු හා දෙහි යුෂ දාලා අනාගන්න. අවශ්‍යනම් සලාද කොළ කිහිපයක් තබා සරසා ගන්න. දැන් මෙය පිළිගන්වන්න.

----------------------

කටට රසට  කඩල වයිට් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය

 

තම්බාගත් කඩල

කෝප්ප 1ක්

තම්බාගත් අර්තාපල්

අල ගෙඩි 1ක්

ලියාගත් ලූනූ ගෙඩි 1ක්

පාන්පිටි තේ හැඳි 1ක්

බටර් මේස හැඳි 1ක්

ලුණු හා ගම්මිරිස් කුඩු

කිරි කෝප්ප 1ක්

සාදන ක්‍රමය

තම්බාගත් අර්තාපල් අල ගෙඩිය පොඩි කෑලි වලට කපාගන්න. භාජනයක් ළිපේ තියලා බටර් ටික දාගන්න. රත්වෙනකොට ලූනූයි අලයි එකතුකර කලවම් කර පාන්පිටි ටික දාගන්න. හොඳට කලවම් කරන ගමන් කිරි ටික ටික එකතු කරන්න.  

තම්බාගත් කඩල ටික දමා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දමා කිරි ටික නටවා ළිපෙන් බාගන්න. 

 

--------------------

පුංචි දරුවන්ට කටගැස්මකට ටෙම්පර්ඩ් චික්පීස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

තම්බාගත් කඩල කෝප්ප 1ක්

ඔලිව්තෙල් මේස හැඳි 1ක්

මිරිස්කුඩු තේ හැඳි 2ක්

තුනපහකුඩු තේ හැඳි 1/2ක්

ලුණු හා ගම්මිරිස්කුඩු

ගාලික් සෝස්

සාදන ක්‍රමය

 

පෑන් එකට කඩල ටික එකතුකර ඔලිව්තෙල් උඩින් ඉසගන්න. ඊළඟට මිරිස්කුඩු, තුනපහ කුඩු දමා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න. 

ඒ මේ අත කලවම් කරමින් මඳ ගින්නේ විනාඩි 5ක් වගේ බැදගන්න. ළිපෙන් ඉවත් කරගෙන ගාලික් සෝස් කලවම් කරගන්න.

-------------------

සවස තේ මේසයට  මෂ්රූම් පකෝරා

අවශ්‍ය ද්‍රව්‍ය

 

හතු ග්‍රෑම් 350ක්

කෝන්ෆ්ලා කෝප්ප කාලක්

හාල්පිටි කෝප්ප කාලක්

පාන්පිටි කෝප්ප කාලක්

ලුණු රස අනූව

ගම්මිරිස්කුඩු මේස හැඳි 1/2ක්

කහකුඩු තේ හැඳි 1/2ක්

ගරම් මසාලා ස්වල්පයක්

බිස්කට් කුඩු

බැදගැනීමට තෙල්

 

සාදන ක්‍රමය

 

මුලින්ම හතු හොඳින් සෝදා වතුර මිරිකලා, දිග තීරු වලට ඉරා ගන්න. දැන් බෝල් එකක් අරගෙන ඒකට කෝන්ෆ්ලා, පාන්පිටි, හාල්පිටි, කහකුඩු, ගම්මිරිස්කුඩු, ගරම් මසාලා, ලුණු දාලා කලවම් කරගන්න. වතුර ටික ටික එකතු කරමින් ඝ​න බැටර් එකක් හදාගන්න.

තීරු වලට ඉරාගත් මශ්රූම් මේ බැටර් එකේ දාලා බිස්කට් කුඩු තවරගෙන ගැඹුරු තෙලේ බැදගන්න.

------------------

ක්‍රිස්පි බණ්ඩක්කා 

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

 

බණ්ඩක්කා කරල් 7-8ක්

ලුණු හා ගම්මිරිස් කුඩු 

මිරිස් කුඩු තේ හැඳි 2ක්

දෙහි යුෂ ස්වල්පයක්

කහකුඩු තේ හැඳි 1/2ක්

එළවළු තෙල්  ස්වල්පයක්

කරපිංචා ඉති 2ක්

තලා ගත් සුදුලූනූ තේ හැඳි 1ක්

තලා ගත් ඉඟුරු තේ හැඳි 1ක්

 

බැටර් එක සඳහා

 

කඩල පිටි කෝප්ප 1ක්

මිරිස් කුඩු තේ හැඳි 1ක්

සිහින්ව කපාගත් කජු ස්වල්පයක්

 

සාදන ක්‍රමය

 

බණ්ඩක්කා කරල් හොඳින් සෝදා සිහින්ව කපා ගන්න. එයට මිරිස් කුඩු, කහකුඩු, ගම්මිරිස් කුඩු, ඉඟුරු, සුදුලූනු, ලියාගත් කරපිංචා, ලුණු කුඩු දාලා හොඳින් මිශ්‍ර කරන්න. 

ඒකට වතුර මේස හැන්දක් එක්ක දෙහි ගෙඩියක ඇඹුල් මිශ්‍ර කරන්න. දැන් බණ්ඩක්කා ටික විනාඩි දහයක් සීසන් වෙන්න තියන්න. 

කඩල පිටි, මිරිස් කුඩු, සිහින්ව කපා ගත් කජු ටික භාජනයකට දමා වතුර ටිකක් දාලා හොඳින් කලවම් කරන්න. ටිකක් උකු බැටර් එකක් වෙන්න ඕනා. 

තෙල් ටිකක් රත් වෙන්න තියලා සීසන් කරගත් බණ්ඩක්කා ටික හදාගත් බැටර් එකේ තවරලා බැදගන්න. 

කරපිංචා කොළ ටික වෙනම ගැඹුරු තෙලේ ක්‍රිස්පි වෙන්න බැදගෙන බණ්ඩක්කා වලට මිශ්‍ර කරගන්න.