රසයෙන් අනූන දකුණු ඉන්දියානු කෑම

සැප්තැම්බර් 1, 2021

 

පසුගිය සතියේ අප ඔබට තිළිණ කළේ අපේ අසල්වැසි රට වන ඉන්දියාවේ ගෘහණියගේ අතින් සැකසෙන රසවත් කෑමබීම වර්ග කිහිපයකි. අදත් අපි තවත් රසවත්, ඔබට පහසුවෙන් සකසා ගත හැකි ඉන්දියානු කෑම කිහිපයක් මෙලෙස ගෙන එනවා. මේ කෑම විශේෂයෙන්ම දකුණු ඉන්දියාවට ආවේණික කෑමයි. එසේ නම් වෙනසක් සමඟින් මේ රසවත් කෑමබීම සකසා පවුලේ අය සමඟ ඔබත් රස විඳින්න.

 

 

ඡායාරූප හා ආහාර වට්ටෝරු ඉදිරිපත් කිරීම

සූපවේදිනී

තිලානි විතානගේ

 

 

රාවා කේසරි

අවශ්‍ය ද්‍රව්‍ය

රුලං (රාවා) පීරිසි කෝප්ප 1ක්

සීනී ඔබේ රස අනුව

අවශ්‍ය නම් කජු හා මුද්දරස්පලම්

ෆ්‍රෙෂ් මිල්ක් පීරිසි කෝප්ප 2ක්

ගී හෝ බටර් පුරවා මේස හැඳි 1ක්

සැෆ්‍රන් ටිකක් හෝඑග් යෙලෝ

කලරිං බිංදුවක්

හදන්න පටන් ගන්න කලින් බටර් හෝ ගිතෙල් ගා ගත් ලෑල්ලක් හෝ පැතලි පිඟානක් ලෑස්ති කර පසෙකින් තබන්න.

 

හදන්නේ මෙහෙමයි

රාවා කියන්නෙ රුලං. රාවා කේසරී කියන්නෙ රුලං කේසරීවලටම තමයි. මුලින්ම රුලං ටික වියළි භාජනයකට (Non Stick නම් හොඳයි) දමා අඩු ගින්දරේ හැන්දකින් කලවම් කරමින් විනාඩියක් පමණ කබලේ බැද ගන්න (දුඹුරු පාට වෙන්න දෙන්න එපා)

දැන් එයට ෆ්‍රෙෂ් මිල්ක් හා ඔබේ රස අනුව සීනී දමා අඩු ගින්දරේම හැඳි ගාන්න.

එයටම බටර් හා කලරිං එකතු කර කැටි ගැහෙන්න නොදී නොනවත්වාම හැඳි ගාන්න.

එක දිගටම අඩු ගින්දරේ හැඳි ගානකොට මිශ්‍රණය ඝනකම් වී එක ගුළියකට එනවා.

දැන් ළිප ඕෆ් කර පරිස්සමට මිශ්‍රණය කලින් බටර් ගා සූදානම් කර ගත් ලෑල්ලට හෝ පිඟානට දමා ස්පැචුලා එකකින් හෝ කෙසෙල් කොළේකින් පැතලි කර ගන්න.

ඒ එක්කම බටර් ගා ගත් පිහියකින් කෑලී මාක් කර කපා ගන්න. අවසානයට කජු හා මුද්දරස්පලම්වලින් සරසා ගන්න

(මේ ප්‍රමාණයෙන් සාමාන්‍ය කෑලි 12ක් පමණ කපා ගන්න පුළුවන්. කෑලි ප්‍රමාණය වැඩි කර ගන්න ඕනේ නම් අමුද්‍රව්‍ය වැඩි කර සාදා ගන්න)

---------------------------

මුරුක්කු

අවශ්‍ය වන්නේ

 

හාල් පිටි ග්‍රෑම් 200ක්

කඩල පිටි ග්‍රෑම් 100ක්

බටර් මේස හැන්දක්

ලුණු හා මිරිස් කුඩු පදමට

සිහින්ව ලියාගත් නැවුම් කරපිංචා

කොළ ටිකක් (අවශ්‍ය නම් පමණක්)

සූදුරු ටිකක් (අවශ්‍ය නම් පමණක්)

බේකිං පවුඩර් තේ හැන්දක්

බේකිං පේපර් එකක් හෝ කෙසෙල් කොළයක්

 

(ඉඳිආප්ප වංගෙඩියේ හදනවා නම් තරුව හැඩැති ප්ලේට් එක පාවිච්චි කරන්න ඕනේ. නැත්නම් මුරුක්කු සෑදිම සඳහාම ඇති උපකරණය භාවිත කරන්න පුළුවන්)

 

හදන්නේ මෙහෙමයි

 

මුලින්ම කඩල පිටි, හාල් පිටි හා බේකිං පවුඩර් භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරන්න.

ඒකටම අනිත් සියලුම දේවල් දමා ඇල් වතුර ටික ටික එකතු කරමින් හැන්දකින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය ඝනකම වැඩි නැති දියාරු නැති මධ්‍යම ප්‍රමාණයට ගන්න ඕනේ. දැන් මිශ්‍රණයෙන් ටික ටික ඉඳිආප්ප වංගෙඩියට දමා පින්තූරයේ දැක්වෙන හැඩයට බේකිං පේපර් එකක හෝ කෙසෙල් කොළයක් මතට හදා ගන්න. එකවර 5ක් විතර හදන්න.

දැන් තෙල් රත් කර බේකිං පේපර් එක මත තියෙන මුරුක්කු පරිස්සමෙන් එකින් එක අරන් තෙලට දමා, අඩු ගින්දරේ රන්වන් පාට වෙනතුරු බැද ගන්න.

 

----------------------------

රාවා උප්පුමා

අවශ්‍ය වන්නේ

රුලං (රාවා) පීරිසි කෝප්ප 1ක්

තළාගත් ඉඟුරු ටිකක්

ගිතෙල් හෝ බටර් මේස හැඳි 2ක්

රටකජු ටිකක්

ලියාගත් ලූනු, අමු මිරිස් හා ඉදුණු

තක්කාලි ගෙඩියක්

අබ ස්වල්පයක්

පදමට ලුණු

කහ ස්වල්පයක්

සිහින්ව ලියාගත් කැරට් ටිකක්

ලෙමන් යුෂ මේස හැඳි 2ක්

 

හදන්නේ මෙහෙමයි

මුලින්ම සුදුසු භාජනයක් ළිපේ තබා එයට ගිතෙල් මේස හැන්ඳක් දමා රුලං (රාවා) ටික දමා ඒකටම කහ ස්වල්පයක් එකතුකර විනාඩි 3ක් 4ක් අඩු ගින්දරේ හැන්දෙන් එහා මෙහා කරමින් රුලං ටික බැද ගන්න. දුඹුරු පාට වෙන්න දෙන්න එපා.

දැන් රුලං ටික නිවෙන්නට පසෙකින් තබා, වතුර පීරිසී කෝප්ප 3ක් පමණ උතුරුවා එයත් පසෙකින් තබන්න.

නැවතත් භාජනයක් ළිප තබා එයට තෙල් ස්වල්පයක් දමා අබ, තළාගත් ඉඟුරු, ලූනු, කරපිංචා, අමු මිරිස්, කැරට් හා රට කජු ටික දමා ස්වල්ප වේලාවක් අඩු ගින්දරේ බැද ගන්න.දැන් එයට උතුරුවා ගත් උණු වතුර කෝප්ප තුන දමා පදමට ලුණු හා කහ ස්වල්පයක් එකතු කරන්න.

ඒකටම කලින් බැදගත් රුලං කැටි නොගැසෙන පරිදි පරිස්සමෙන් හැන්දකින් ටික ටික එකතු කරමින් හැඳි ගාමින් උයා ගන්න. ටික වේලාවක් අඩු ගින්දරේ හැඳි ගාමින් පිසින විට රුලං තැම්බී ඝනකම වෙලා එක ගුළියකට එනවා. එතකොට ළිප ඕෆ් කරන්න.දැන් ඉතින් උප්පුමා ලෑස්තියි. මෙය කෑමට හොදි හෝ වෙනත් දෙයක් අවශ්‍ය නෑ. උණුවෙන්ම රස විඳින්න පුළුවන්. අවශ්‍ය නම් කිරිබත් වගේ නිවෙන්න කලින් කෝප්පවලට දමා පින්තූරවල විදිහට කෝම් පිට්ටු හදා ගන්න පුළුවන්.

(මේ ප්‍රමාණයෙන් මේ වගේ කෝප්ප 5ක් හදා ගන්න පුළුවන්)

------------------------

රාවා හල්වා

අවශ්‍ය වන්නේ

 

රුලං (රාවා) කෝප්පයක්

සීනී කෝප්ප 1/2ක්

වතුර කෝප්ප 1 1/2ක්

නැවුම් කිරි (Fresh Milk)

කෝප්ප 1 1/2ක්

කුඩා කෑලි කපා ගත් කජු හා

ප්ලම්ස් ටිකක්

තළාගත් කරදමුංගු 2ක්

ගී හෝ බටර් මේස හැඳි 2ක් (ඉන්දියානු කෑම වල නියම රසය ගැනීමට නම් අනිවාර්යයෙන්ම ගී භාවිත කළ යුතුයි. ඔබට ගී නැත්නම් පමණක් බටර් පාවිච්චි කරන්න)

 

හදන්නේ මෙහෙමයි

 

මුලින්ම භාජනයකට කිරි, වතුර හා සීනී දමා හොඳින් හැන්දකින් මිශ්‍රකර අඩු ගින්දරේ ළිපේ තියා සීනී දිය වෙනකම් හැඳි ගාන්න. ඊට පස්සේ ඒක පසෙකින් තියන්න.

දැන් නොන්ස්ටික් භාජනයක් ළිපේ තියා ඒකට ගී හෝ බටර් දමා රත් කරන්න.

එයට රුලං ටික, කජු, ප්ලම්ස් හා කරදමුංගු දමා විනාඩි 10ක් පමණ අඩු ගින්දරේ හැන්දෙන් එහාට මෙහාට කරමින් තියා ගන්න.

රුලං ටික ළා දුඹුරු පාට වේගන එනකොටම කලින් රත් කරගත් කිරි මිශ්‍රණය ඒකට දමා නැවතත් හැඳි ගාන්න.

කිරි හිඳී මිශ්‍රණය ඝනකම් වෙනකොට අවශ්‍ය නම් තවත් කජු ප්ලම්ස් එකතු කර මිශ්‍ර කර ළිප ඕෆ් කරන්න. උණුවෙන්ම කෑමට ගන්න

---------------------

 ගාර්ලික් බටර් නාන්

 

 

අවශ්‍ය වන්නේ

 

පාන් පිටි ග්‍රෑම් 250ක්

බේකිං පවුඩර් තේ හැන්දක්

ගී හෝ බටර් මේස හැන්දක්

මුදවපු කිරි හෝ යෝගට්

මේස හැඳි 2ක්

පදමට ලුණු

ලියාගත් කොත්තමල්ලි කොළ

ටිකක් හෝ පාස්ලි ටිකක්

 

හදන්නේ මෙහෙමයි

 

කොත්තමල්ලි කොළ හැර ඉතිරි අමුද්‍රව්‍ය සියල්ලම භාජනයකට දමා වතුර ටික ටික එකතුකර සාමාන්‍ය ප්‍රමාණයට අතේ ඇලෙන පදමට අතින් අනා ගන්න. (පොල් රොටිවලට වගේ)

ඊට පස්සේ පිටි මෝලියේ බටර් පොඩ්ඩක් ගා තෙත රෙද්දකින් හෝ කිචන් ටවල් එකකින් වසා පිපෙන්න පැයක් පමණ සිසිල් ස්ථානයක තබන්න.

ඒ අතරේ නාන් හදනකොට තවරා ගැනීම සඳහා බටර් ටිකකට තළාගත් සුදුලූනු ටිකක් මිශ්‍රකර පේස්ට් එකක් සාදාගත යුතුයි.

පැයකට පසු පිටි මෝලිය එළියට අරන් කුඩා කැබැල්ලක් කඩාගෙන පිටි ඉසගත් ලෑල්ලක තියා රෝලිං පින් එකකින් ඕවල් හැඩේට නාන් එක හදා ගන්න.

තුනීවට හදාගත් නාන් එක උඩ කොත්තමල්ලි කොළ ටිකක් තියා රෝලිං පින් එකෙන් කොළ ටික තද වෙන විදිහට තව ටිකක් තුනී කරන්න. දැන් නාන් එක අනිත් පැත්ත හරවා ඒකේ වතුර ටිකක් තවරා රත් කරගත් රොටි තැටියේ වතුර ගාගත් පැත්ත හරවලා තැටියේ තියන්න (කොළ දාපු පැත්ත උඩට සිටින සේ). මතක ඇතුව තැටිය අඩු ගින්දරේ තියන්න ඕනේ.

ටික වේලාවකින් වතුර ගාපු පැත්ත තැටියේ ඇල වෙනවා. ඊට පස්සේ තැටිය පරිස්සමෙන් අනිත් පැත්ත හරවා කොළ දාපු පැත්ත පොඩ්ඩක් ළිපට අල්ලාගෙන ඉන්න. එතකොට නාන් එක පිම්බිලා බුබුලු දමා ලස්සනට එනවා. දැන් නාන් එක හරවා කලින් හදාගත් සුදුලූනු බටර් මිශ්‍රණයෙන් පොඩ්ඩක් නාන් එක උඩ තවරා පුලුස්සා ගන්න