මිරිස් වර්ග අනුව රසයත් වෙනස්..

ඔසුකුටියෙන් ජීවිතයට...
නොවැම්බර් 22, 2021

 

 

* ඒ ඒ ආහාර වර්ගයට අදාළව යෙදිය යුතු මිරිස් වර්ග ද තීරණය කළ යුතුය. ඇතැම් ආහාර වර්ගවලට ආදේශක ලෙස වෙනත් මිරිස් වර්ගයක් යෙදිය හැකියි. නමුත් ඒ මිරිස් වර්ගවල රස පිළිබඳ ඔබට යම් දැනුමක් තිබිය යුතුය.

* අමු මිරිස් යොදන මැල්ලුම්, සම්බෝල වැනි දේවලට අමු මිරිස් වෙනුවට බැටළු මිරිස්, නයි මිරිස් හෝ කොච්චි ආදේශක ලෙස යොදා ගත හැකිය. නමුත් එම මිරිස් වර්ගවල පවතින රසය අනුව දමන කරල්

* ප්‍රමාණය තීරණය කළ යුතුයි.

නමුත් කට්ලට්, සැන්ඩ්විචස් වැනි ආහාර වර්ග සැකසීමේ දී මෙලෙස වෙනත් මිරිස් වර්ග භාවිතය සුදුසු නොවේ. ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ අමු මිරිස් ය.

* මිරිස් රසය මඟින් දිවගට ගෙන දෙන රසය නිසි ලෙස ලබා ගැනීමට නම් නිසි ප්‍රමාණවලින් මෙන්ම නිවැරැදි කැපුම් ක්‍රම අනුගමනය කරමින් ආහාර වර්ගවලට මිරිස් එකතු කළ යුතුය.

ඇතිවත් බැරි නැතිවත් බැරි මිරිස් ඉවුම් පිහුම්වල දී අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක්. රසකාරක 42ට ඇතුළත් අමුද්‍රව්‍යයක් වීමෙන්ම මිරිස්වල වැදගත්කම ගැන ඔබට සිතා ගැනීමට හැකි වනු ඇති.

වැඩියෙන් දැමූ විට දැවිලි ගතිය වැඩි වන අතර අඩුවෙන් දැමූ විට ව්‍යංජනයේ රස අඩු වේ. මේ නිසා නිසි පදමට ආහාර සඳහා මිරිස් දැමීමට ගෘහණියන් පුරුදු පුහුණු විය යුතුයි. ආහාර සඳහා භාවිත කරන මිරිස් වර්ග කිහිපයකි. එමෙන්ම ඒවා විවිධ ස්වරූපවලින් ආහාරයට එකතු කරයි.

අමු මිරිස්, වියළි මිරිස්, මාළු මිරිස්, බැටළු මිරිස්, බෙල් පෙපර්, නයි මිරිස්, කොච්චි ආදී ලෙස මිරිස් වර්ග බොහොමයකි. මේ එක් එක් වර්ගයේ ද තව කොතෙකුත් ප්‍රබේද ඇත.

ඇතැම් මිරිස් වර්ග වැඩි සැරකින් යුතු අතර තවත් ඒවා දැඩි දැවිලි ගතියකින් යුතු නොවේ. මේ එක් එක් මිරිස් වර්ගවල රසයන් ද එකිනෙකට වෙනස් වේ.

අමු මිරිස් ව්‍යාංජනවලට යෙදීමේ දී අඟල් භාගයක කාලක පමණ කැබැලිවලට ආනත හැඩයට කැපිය යුතුය. එවිට ඒවා තැම්බී එහි ඇති රසය ව්‍යාංජනයට එකතු වේ.

සිංහල අච්චාරු වැනි අච්චාරු වර්ග. මෝජු වර්ග සැකසීමේ දී අමුමිරිස් කරල දෙකට පලා ගනී. එහිදී මිරිස්වල ඇති රසය නියමාකාරයෙන් අච්චාරුවට හා මෝජුවට උරා ගන්නා අතර එම ආහාරයේ ඇති අනෙකුත් රසයන් ද මිරිස් කරලට උරාගෙන මිරිස් කරලේ රසය ද වැඩි කරයි.

මැල්ලුම් වර්ග සැකසීමේ දී අමුමිරිස්, පොල් හා අනෙකුත් අඩුවැඩිය සමඟ එකට කොටා ගැනීම සිදු කරයි. මෙහිදී ඇතැම් විට කොච්චි, නයි මිරිස් වැනි මිරිස් වර්ග ද යොදා ගනී.

සම්බෝල වර්ග සාදා ගැනීමේ දී අමුමිරිස් යොදා ගන්නේ ඉතාමත් සිහින්ව ලියා ගැනීමෙන් අනතුරුවයි. ඔම්ලට්, සලාද වර්ග සෑදීමේ දී ද අමු මිරිස් සිහින් ව ලියා ගැනීම සිදු කරයි.

බැදුම් වර්ග, තෙල් දැමීම් කිරීමේ දී අමු මිරිස් යොදන්නේ නම් මිරිස් කරල කැබැලි දෙකට තුනට පමණ කපා ගත යුතුය. මෙවැනි ආහාර වර්ගවලට කොච්චි, නයි මිරිස් ආදිය දැමීමෙන් වැඩි රසයක් ලබා ගත හැකියි.

වියළි මිරිස්, මිරිස් කුඩු හා මිරිස් කැබැලි ලෙස සකසා භාවිතයට ගනී. එයට අමතරව වියළි මිරිස් කරල් ව්‍යාංජන තෙම්පරාදු කිරීමේ දී නටුව කොටස ඉවත්කර කැබැලි ලෙස කඩා තෙම්පරාදුවට එක්කර ගැනීමෙන් එයට වැඩි රසයක් එකතු වේ.

එමෙන්ම වියළි මිරිස් කරල්, කරල් ලෙසින්ම ලුණු වතුරෙහි පොඟවා ගැඹුරු තෙලේ බැද ගැනීමෙන් පපඩම් සමඟින් හෝ කරවල කැබැලි සමඟින් නැතිනම් කුඩා මාළු සමඟින් බැද ආහාරයට එක්කර ගත හැකියි.

එමෙන්ම වියළි මිරිස් කරල් බැද සකසන පොල් සම්බෝලයේ සාමාන්‍ය පොල් සම්බෝලයට වඩා වෙනස් රසයක් ලබා ගත හැකියි.