උඳුවප් මිහිර රසවත් කරගන්න වයින් එකක් ගෙදර ම හදමු

නොවැම්බර් 29, 2021

 

උඳුවප් මිහිරේ නත්තල උදාවීමට ඇත්තේ මාසයක පමණ කාලයක්. මෙවර නත්තල කතෝලික බැතිමතුනට සැමරීමට සිදු වී ඇත්තේ තරමක අභියෝග රැසක් මැදයි.

කොයි තරම් අභියෝග අසීරුතා තිබුණත් සංකේතාත්මකව නත්තලට පෙර මාස කිහිපයක පටන්ම කතෝලික ජනතාව සුදානම් වෙන්නේ ඒ අසිරිමත් මංගල්‍යය තමුන්ට හැකි අයුරින් සැමරීමටයි.

විශේෂයෙන්ම ගෘහණියන් නත්තල් දිනයේ පැමිණෙන අමුත්තන් වෙනුවෙන් සංග්‍රහ කරන්නට විවිධ කෑම බීම වගේම වයින් පානයකුත් සෑදීම සිරිතක්.

මේ වයින් සැදීමේ සම්ප්‍රදාය අපේ සංස්කෘතියට එකතු වෙන්නේ ඊශ්‍රායල් ජනතාවගේ ආභාෂය තුළින්. ජේසුස්වහන්සේ උපන් දේශයේ ජනතාව ඔවුන්ගේ උත්සව අවස්ථාවක් උත්සවශ්‍රීයෙන් සැමරීමට වයින් පානය යොදා ගන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ උත්පත්තියටත් පෙර සිටයි.

ඔවුන් ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත ද මහත් අසිරිමත් මංගල්‍යයක් ලෙස සමරන අතර වයින් එහි ප්‍රධාන දෙයක්.

කෙසේ හෝ අපගේ කතෝලික නත්තල් සම්ප්‍රදායට එක් වු වයින් සෑදීම දැන් කතෝලිකයන් අතර පමණක් නොවෙයි ලොව පුරා වෙසෙන බොහෝ දෙනෙක් පුරුදුව සිටින්නේ එය රසවත් පානයක් නිසයි.

නත්තල ළඟාවන විට අපගේ පාඨකයන් බොහෝ දෙනෙක් වෙනුවෛන් වයින් සාදන ආකාරය පිළිබඳව ඇතුළත් වට්ටෝරු සඳහා ‘රසාර‘ අතිරේකය වෙන්වෙනවා.

වෙළෙඳ පොළෙන් ලබාගන්නා දේවලට අමරතරව තමන්ගේ ගෙවත්තෙන් සපයා ගත හැකි පලතුරු, එළවළුවලින් අඩු වියදමකින් ඉතාමත් පහසුවෙන් රසවත් වයින් සාදාගන්නට ඔබට අද ‘රසාර‘ අතිශයින් ප්‍රයෝජනවත් වේවි.

උපදෙස්

විධායක සූපවේදී

තරංග සංජීව අබේසේකර

 

 

අමුත්තන් වඩාත් කැමැති රතු මිදි වයින්

අවශ්‍ය ද්‍රව්‍ය

රතු පාට මිදි කිලෝ 2ක්

(කුඩා කැබලිවලට කපාගත්)

ඊස්ට් තේ හැඳි 02ක්

දොඩම් ගෙඩි 02ක යුෂ

දෙහි ගෙඩි 2ක යුෂ

ජලය බෝතල් 08ක්

සීනි කිලෝ ග්‍රෑම් 2 ක්

අරක්කු මි. ලී. 200ක්

 

සාදන ක්‍රමය

මුලින්ම වතුර බෝතල් 8 භාජනයකට දමා ළිප තබා රත්කර ගන්න. දැන් එයට දෙහි ගෙඩි 2 සහ දොඩම් ගෙඩි 2ක පොතුහැර (පැඟිරි මිශ්‍ර නොවන ලෙස) යුෂ එක් කරන්න. මෙය විනාඩි 20ක් පමණ හොඳින් රත් වූ පසු එයට මිදි, ඊස්ට්, සීනි දමන්න. (මෙයට අරක්කු පමණක් මිශ්‍ර නොකරන්න.) දැන් මේ මිශ්‍රණය ලී හැන්දකින් හොඳින් කලවම් කරන්න. ඉන්පසු මේ මිශ්‍රණය නිවෙන්නට පසෙකින් තබන්න.

එය නිවුණු පසු ෆිල්ටර් රෙදි කැබැල්ලක් ගෙන හොඳින් පෙරාගන්න. අන්තිමට මේ මිශ්‍රණයට අරක්කු එකතු කරන්න. දැන් මෙය භාජනයකට දමා හොඳින් සීල්කර දින 20ක් පල්වෙන්නට තබා යළිත් පෙරා බෝතල් කරන්න. මෙයින් ඔබට බෝතල් 5ක් පමණ වයින් ලබාගත හැකියි.

රසයත් සුවඳත් ඇති ඉඟුරු හා රටඉඳි වයින්

අවශ්‍ය ද්‍රව්‍ය

ඉඟුරු ග්‍රෑම් 250 - 350ක් (කුඩාවට කපා ගත්)

රට ඉඳි ග්‍රෑම් 500ක් (ඇට ඉවත්කර)

දොඩම් ගෙඩි 2 ක යුෂ

ලෙමන් ගෙඩි 2ක යුෂ

ජලය බෝතල් 8ක්

සීනි කිලෝ ග්‍රෑම් 2ක්

ඊස්ට් තේ හැඳි 2ක්

අරක්කු මි. ලී. 200ක් (අවශ්‍ය නම්)

 

සාදන ක්‍රමය

* ලෙමන් පොඩිවට කපා වතුරේ තම්බා ගන්න.

* විනාඩි 20ක් මෙය නටන්නට තබා මෙය පෙරා ගන්න.

* අරක්කු හැර අනෙක් සියලු දෑ මෙයට දමා ලී හැන්දකින් කලවම් කරන්න.

* දින 15 - 20ක් භාජනයකට දමා කට බැඳ සීල් කර පල් වෙන්න තබා දින 20 කින් පෙරා ගන්න.

* දැන් අරක්කු මෙයට එක් කරන්න.

* තව දින 6ක් පමණ නැවත පල් වෙන්න තබන්න.

*දැන් යළිත් පෙරා ගන්න.

* දැන් ඔබට බෝතල්වලට ඇසුරුම් කළ හැකියි.

****************************

 

ලස්සන පාටකින් යුතු බීට්රූට් වයින්

අවශ්‍ය ද්‍රව්‍ය

බීට් කිලෝ ග්‍රෑම් 1ක්

සීනි ග්‍රෑම් 750ක්

ජලය බෝතල් 3ක්

ආමන්ඩ් එසන්ස් තේ හැන්දක්

කරදමුංගු ඇට 3ක්

දෙහි ගෙඩි 2ක යුෂ

ඊස්ට් තේ හැන්දක්

මුද්දරම්පලම් ග්‍රෑම් 50ක්

 

සාදන ක්‍රමය

* ඊස්ට්වලට සීනි ස්වල්පයක් (ග්‍රෑම් 100) දමා මඳ රස්නේ වතුර ටිකක් තබා වසා තබන්න.

* බීට්රූට් කැබලිවලට එය දමා වතුර බෝතල් 3 එක්කර එය බෝතල් 1 1/2ක් වනතුරු (එකවර ගින්දර ද) උතුරා ගෙන ඉවත් කරන්න.

* ඊට පසු වතුර ටික සෙමෙන් පෙරා ගන්න.

* මෙය ටිකක් නිවෙන්නට තබා දෙහි, දියකර ගත් ඊස්ට් මිශ්‍රණය, එසන්ස්, මුද්දරපලම්, තලාගත් කරදමුංගු සහ ඉතිරි සීනි ටික එකතුකර ලී හැන්දකින් කලවම් කරන්න.

* මෙය දැන් වසා බන්න.

* මෙය දින 15ක් පමණ සෑම දිනම මූඩිය අරින්නේ නැතුව සොලවන්න.

* දින 15කට පසු පැනල් රෙදි කෑල්ලකින් පෙරා ගන්න. ඊට පසු ෆිල්ටර් රෙදි කැබැල්ලකින් හෝ ෆිල්ටර් කඩදාසියකින් හෝ පෙරා බෝතල්වලට අසුරන්න.

*************************

වෙනස් ම රසයකට කැරට් වයින්

 අවශ්‍ය ද්‍රව්‍ය

කැරට් කිලෝ ග්‍රෑම් 2ක්

ලයිම් යුෂ ගෙඩි 5ක

දොඩම් ගෙඩියක යුෂ

ලෙමන් යුෂ ගෙඩියක

වතුර බෝතල් 10ක් පමණ

සීනි කිලෝ ග්‍රෑම් 4ක්

ඉඟුරු කැබැල්ලක්

ඊස්ට් තේ හැන්දක්

 

සාදන ක්‍රමය

* කැරට් හොඳින් ශුද්ධ කර රවුමට පෙති කපාගන්න‍.

*ඉඟුරු කැබැල්ල ද පෙති කපා ගන්න.

* කැරට් සහ ඉඟුරු පෙති භාජනයකට දමා වතුර යොදන්න. වතුර බෝතල් 2 දක්වා හිඳගන්න.

* පසුව නිවෙන්න තබා පෙරා ගන්න.

* එයට ඊස්ට්, සීනි දමා සීනි දියවෙනතුරු කලවම් කරන්න.

* දැන් හොඳටම නිවෙන්න තබන්න.

* මෙයට දෙහි, දොඩම් දමා ලොකු බෝතලයකට පුරවන්න.

* මෙය දින 3ක් කලවම් කරමින් පල් කරන්න. ඊට පසු තවත් දින 3ක් නොසෙල්වා පල් කර දින 6කට පසු ෆිල්ටර් රෙදි කැබැල්ලකින් පෙරා ගන්න.

**************************

පහසුවෙන් සාදාගත හැකි කෙසෙල් වයින්

අවශ්‍ය ද්‍රව්‍ය

කෙසෙල් ගෙඩි 2 (ඇම්බුන් හෝ ආනමාලු)

සීනි ග්‍රෑම් 250ක්

කුරුඳු කැබැල්ලක් (අඟල් 1/2ක පමණ)

එනසාල් ඇට 2ක්, කරාබුනැටි

කිහිපයක්

ඊස්ට් තේ හැන්දක්

ජලය මි. ලී. 500ක්

 

සාදන ක්‍රමය

* මුලින්ම කෙසෙල් ගෙඩි පිරිසුදු හැන්දකින් තලාගන්න.

* එයට සීනි ජලය දමා කලවම් කරන්න.

* කුරුඳු, එනසාල්‍, කරඳමුංගු තළාගෙන මිශ්‍රණයට එක් කරන්න.

* මෙය බෝතලයක දමා රෙදි කැබැල්ලකින් සීල්කර වසා ගන්න.

* මෙය දින 10ක් කලවම් කරමින් තබන්න.

* දින 10කට පසු පෙරාගෙන තවත් දින 10ක් තබා පානයට ගන්න.

 

 

*************************

වෙනස් සුවඳකින් යුතු  අන්නාසි වයින්

අවශ්‍ය ද්‍රව්‍ය

අන්නාසි ගෙඩි 1/2 (කුඩාවට කැබැලි කපාගත්)

ඊස්ට් තේ හැඳි 1/2ක්

සීනි ග්‍රෑම් 500ක්

ජලය මි. ලී. 500ක්

කුරුඳුපොතු කැබැලි 2 ක්

එනසාල් ඇට 2ක්

 

සාදන ක්‍රමය

* මුලින්ම වතුර සීනි කලවම් කරන්න

* එයට අන්නාසි දමා නැවත කලවම් කරන්න.

* දැන් එයට ඊස්ට් එකතු කරන්න. මේ මිශ්‍රණය බෝතලයක දමා කට ගැටගසා බඳින්න.

* දින 12ක් පල්වෙන්න තබන්න. පළමු දින 4 දී සෑම දිනකම බෝතලය හොඳින් සොලවන්න.

* ඊට පසු හොඳ පෙරහනකින් පෙරා ගන්න.

* තව දින 10ක් පල් වෙන්න තබන්න.

* පසුව බෝතල්වලට අසුරා ගන්න.

 

**********************

 සුපුරුදු රසයකින් යුතු තැඹිලි වයින්

අවශ්‍ය ද්‍රව්‍ය

තැඹිලි වතුර කෝප්ප 10ක්

සීනි ග්‍රෑම් 750ක්

දෙහි ගෙඩි 2ක යුෂ

කුරුඳු කෑලි 4ක්

එනසාල් 6ක්

කරාබුනැටි 10ක්

ඊස්ට් තේ හැන්දක්

කැරමල් මිශ්‍රණය සඳහා

සීනි ග්‍රෑම් 200 උණු වතුර

සීනි - කොප්ප 1/2ක් ග්‍රෑම් 100ක්

වතුර කෝප්ප 1/2ක්

 

සාදන ක්‍රමය

තැඹිලි වතුර හොඳින් පෙරාගන්න

එයට සීනි දෙහි දමා හොඳින් දියවනතෙක් කලවම් කරගන්න

මිශ්‍රණය හොඳින් පෙරා ගන්න.

ඊට එනසාල්, කරදමුංගු කුඩුකර දමා කලවම් කර තවත් හොඳින් රත් කරන්න.දැන් සීනි එක්කරන්න

එයට ඊස්ට් එක් කරන්න

එය කලවම් කර භාජනයක වසා තබන්න

දින 5ක් සෑම දිනකම පසු දින සොලවා තබා ඉතිරි දින 5 ක කාලය නොසොල්වා තබා නැවත පෙරා කැරමල් මිශ්‍රණයක් සාදා හොඳින් නැවත කලවම් කරන්න.(භාජනයකට සීනි ටිකක් දමා දුඹුරු පැහැ වනතුරු කර කර එයට වතුර දමා කැරමල් එක සාදා ගන්න)

මෙයින් බෝතල් 2ක් පමණ සාදාගත හැකියි.