රතු රෝස මලක් සමඟින් ආදරය පිරුණු කේක් එකක්..

ජනවාරි 17, 2022

සැමියා ඔබේ පවුලේ මහා නුග රුකයි. ඉතින් ආදරණීය බිරියක ලෙස ඔහුගේ උපන් දිනය ඔබටත් දූ පුතුන්ටත් එකසේ වැදගත්. මහ නුග රුකක් වන් ඔහුගේ උපන් දිනය වෙනුවෙන් නිර්මාණය කළ කේක් එකකි මේ. රතු රෝස මලක් එක්කළ ආදරය පිරුණු මේ කේක් එක ඔබේ සැමියාගේ උපන්දිනය වෙනුවෙන් මෙලෙස සකසා ගත හැකියි.

මේ සඳහා කිලෝ දෙකක චොකලට් කේක් භාවිතකර ඇත. ඒ සඳහා අඟල් 6 රවුම් තැටි හතරක් ගෙන පහත මිශ්‍රණය සකසා සමාන කොටස් හතරකට බෙදා වෙන්කර කේක් හතරක් විදියට බේක් කරගන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

පිටි ග්‍රෑම් 400ක්

සීනි ග්‍රෑම් 500ක්

බටර් ග්‍රෑම් 500ක්

බිත්තර 10ක්

කොකෝවා පවුඩර් ග්‍රෑම් 100ක්

බේකිං පවුඩර් ග්‍රෑම් 30ක්

ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 2ක්

වැනිලා තේ හැඳි 2ක්

වැඩි රසට හේසල්නට් ක්‍රීම් එකෙන් හැඳි 2ක් හෝ නෙස්කැෆේ තේ හැඳි බාගයක්

 

සැකසීම

 

මුලින්ම සීනි සහ බටර් එකතුකර හොඳින් බීට් කරන්න. එයටම බිත්තර එක බැගින් එකතුකරමින් බීට් කරන්න. මේ මොහොතේ දී වැනිලා එකතුකරන්න. පිටි, කොකෝවා පවුඩර්, බේකිං පවුඩර් එකට එක් කර දෙසැරයක් හලාගන්න. දැන් සීනි, බටර්, බිත්තර මිශ්‍රණයට පිටි මිශ්‍රණයෙන් ටික ටික එක් කරමින් ලෝ ස්පීඩ් බීට් කරන්න.

එහෙම නැත්නම් ෆෝල්ඩ් ආකාරයට පෙරලමින් වගේ කලවම් කරන්න.

දැන් කිරිත් එකතුකර කලවම් කරන්න. අවන් එක සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයෙන් විනාඩි 8කට කලින් රත් කරගන්න. අඟල් 6 රවුම් තැටි 4 බේකිං පේපර් දමා සකස් කරගන්න. කේක් මිශ්‍රණය සමාන කොටස් හතරකට වෙන්කර තැටි හතරට එක් කරන්න. රත්වූ අවන් එකට ඇතුළුකර විනාඩි 25ත් 30ත් අතර වේලාවක් බේක් කරගන්න. බේක් කරගත් කේක් නිවෙන්න තියන්න.

 

අපි දැන් අයිසිං එක සාදා ගනිමු

 

අවශ්‍ය දේවල්

 

බටර් ග්‍රෑම් 375ක්

අයිසිං සීනි ග්‍රෑම් 700ක්

කොකෝවා පවුඩර් ග්‍රෑම් 40ක්

වැනිලා තේ හැඳි 1/2ක්

කිරි මේස හැඳි 1ක්

 

සැකසීම

ඉහත සියල්ල එකට එකතුකර ක්‍රීම් එකක් වනතුරු බීට් කරගන්න. නිවුණු කේක් එකින් එක කේක් බෝඩ් එකක් හෝ ස්ටෑන්ඩ් එකක් මත තබා චොකලට් බටර් අයිසිං මඟින් සැන්ඩ්විච් කරගන්න. ඉන්පසු සම්පූර්ණ කේක් එක වටේමත් උඩ කොටසත් අයිසිංවලින් කවර් කරගන්න. ටූත් පික් එකක් මඟින් ලස්සන ලී කොටයක හැඩය එන්න අයිසිං එක මත රටාවට ඉරි අඳින්න. එහෙම නැත්නම් ෆොන්ඩන්ට් තුනීකර ස්ටික් එකක් මඟින් ලීයක හැඩය එන්න ඇඳ තීරු කපා කේක් එක වටේම අලවගන්න.

ලී හැඩය මතුකරගන්න පාවිච්චි කරන සිලිකන් මෝල්ඩ්ස් නැත්නම් ප්ලාස්ටික් මැට්ස් තියෙනවා. ඒවා කේක් බඩු කඩවලින් මිල දී ගන්න පුළුවන්.ෆොන්ඩන්ට් එක තුනීකර එම මැට් එක තබා තද කළ විට හැඩය මතු වේ. ඉන්පසු එය කේක් එක වටේටම රඳවා අලවගන්න. තවත් ස්වාභාවික පෙනුම එන්න, ලී කොටයක පෙනුම එන්න දුඹුරු පාට ෆුඩ් ඩස්ට් කලර්ස් පාවිච්චි කරමින් පින්සලයක් මඟින් සම්පූර්ණ කේක් එක පුරාම ගාන්න. ලස්සන දිස්නයක් සමඟින් පෙනුම එන්නට ගෝල්ඩ් ඩස්ට් ටිකක් උඩින් ගාන්න. ගම්පේස්ට්වලින් සකස්කරගත් රෝස මල රිබන් එකක් මඟින් කේක් එකේ රඳවා කේක් එක හැඩ කරගන්න.