විවිධ රසට චිකන් හදමු

මාර්තු 14, 2022

 

ශ්‍රී ලාංකේය බහුතරයක් ආහාරයට ගන්නා කුකුළු මස් අපේ ගෘහණියන් අතර බෙහෙවින් ජනප්‍රියයි. ලොකු පොඩි කොයි කවුරුත් එකසේ ප්‍රියකරන කුකුළු මස් නැත්නම් චිකන් සැකසිය හැකි ක්‍රම ද බොහෝය. රට රටවල් අනුව මෙන්ම ජන වර්ග අනුව ද වෙනස් ක්‍රමවලට සැකසෙන කුකුළු මස් ඔබේ පවුලේ කෑම මේසය වෙනුවෙන් සැකසෙන්නේ ව්‍යාංජනයක් ලෙස හැමදාමත් එකම විදිහට ද?

එසේ නම් රසය වෙනස් කරන්නට කාලය හරි. ඒ වෙනස ගෙන දෙන්නට විවිධ ක්‍රමවලට චිකන් හදන්නට ඔබ දැන සිටිය යුතුමයි. පවුලේ කොයි කවුරුත් රුචි කරන ලෙසින් විවිධ රසට කුකුළු මස් සකසා ගන්නා ආකාරය මෙවර තරුණී අතිරේකයෙන් ලබා දෙනවා. එය ඔබට අගනා තිළිණයක් වේවි.

 

 

උපදෙස් - විධායක සූපවේදී සුජිත් ආරියරත්න

 

 

කුකුළු මස් කළුපොල් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුළු මස් ග්‍රෑම් 500ක්

කළු කුඩු

තෙල් මේස හැඳි 3 - 4ක්

තළාගත් ඉඟුරු, සුදුලූනු

කරපිංචා ඉත්තක්

කරදමුංගු 2 - 3ක්

කරාබු නැටි දෙකක්

රම්පෙ කැබැල්ලක්

බැදගත් මිරිස් කුඩු

බැදගත් තුනපහ කුඩු

ගම්මිරිස් කුඩු

මිටි කිරි කෝප්ප 02ක්

රස අනුව ලුණු

 

සාදන ක්‍රමය

කුකුළු මස් කැමැති පරිදි කැබැලිවලට කපා හොඳින් සෝදා ගන්න.

තළාගත් ඉඟුරු, සුදුලූනු, ගම්මිරිස් කුඩු, කළු කුඩු, බැදගත් මිරිස් කුඩු, බැදගත් තුනපහ කුඩු සහ රස අනුව ලුණු එක්කර කුකුළු මස් පදම් වීමට තබන්න.

පැයකට පමණ පසු මැටි වළඳක් ළිප තබා ඊට තෙල් දමා කරදමුංගු, කරාබුනැටි, රම්පෙ, කරපිංචා දමා බැදෙන විට පදම් කරගත් කුකුළු මස් එක්කර තෙම්පරාදු කරගන්න.

කුකුළු මස් පිසීගෙන එන විට ඊට මිටි කිරි කෝප්ප දෙක දමා මඳ ගින්නේ ඉස්ම හිඳෙනතුරු පිසගන්න.

*********************

ගම්මිරිස් රසට කුකුළු මස්

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුළු මස් ග්‍රෑම් 500ක්

තළාගත් ඉඟුරු, සුදුලූනු

කුඩාවට කපාගත් ලූනු

ලෙමන් යුෂ ස්වල්පයක්

කොත්තමල්ලි කුඩු ස්වල්පයක්

ගම්මිරිස් කුඩු මේස හැඳි 4ක්

කුරුඳු පොතු කැබැල්ලක්

කරාබු නැටි 3 -4ක්

අමු මිරිස් කරල් 2ක්

රස අනුව ලුණු

 

සාදන ක්‍රමය

කුකුළු මස් කැබලි කපා එයට තළාගත් ඉඟුරු, සුදුලූනු, ලෙමන් යුෂ, රස අනුව ලුණු එක්කර හොඳින් අතගා පැයක් පමණ තබන්න.

භාජනයක් ළිප තබා තෙල් එක්කර, රත්වූ පසු කුරුඳු පොතු, ලූනු, කරාබු නැටි හා කරපිංචා එක්කර තෙම්පරාදු කර ගන්න. අවසානයට අමු මිරිස් එක්කරන්න. ඉන් පසු මස් කැබලි ටික දමා කොත්තමල්ලි කුඩු හා ගම්මිරිස් කුඩු එක්කර හොඳින් මිශ්‍ර කරන්න. වතුර කෝප්ප බාගයක් එක්කර අඩු ගින්දරේ පිස ගන්න. රස අනුව ලුණු එකතු කරන්න.

*****************

අලුත් විදිහකට කුකුළු මස්

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුළු මස් ග්‍රෑම් 500ක්

තළාගත් ඉඟුරු, සුදුලූනු

බැසිල් කොළ කෝප්ප 1/2ක්

කෑලි මිරිස් මේස හැඳි 1ක්

සීනි මේස හැන්දක්

සෝයා සෝස් මේස හැඳි 2ක්

තෙල් ස්වල්පයක්

රස අනුව ලුණු

 

සාදන ක්‍රමය

භාජනයක් ළිප තබා එයට තෙල් එක්කර රත් වූ පසු ඉඟුරු, සුදුලූනු මිශ්‍රණය එකතු කරන්න. රන්වන් පාට වූ පසු එයට කපා ගත් කුකුළු මස් එක් කර පිසගන්න. මස් පිසීගෙන එන විට එයට සෝයා සෝස්, සීනි, කෑලි මිරිස්, රස අනුව ලුණු එකතු කරන්න.

අවසානයට කුඩාවට කපාගත් බැසිල් කොළ එකතු කරන්න.

 

******************

ක්‍රීම් රසට කුකුළු මස් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුළු මස් ග්‍රෑම් 500ක්

බටර් ග්‍රෑම් 100ක්

පාන් පිටි ග්‍රෑම් 100ක්

නැවුම් කිරි කෝප්ප 1ක්

ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/2ක්

කුකුළු මස් තැම්බූ වතුර කෝප්ප 1ක්

රස අනුව ලුණු, ගම්මිරිස්

කොත්තමල්ලි කොළ

 

සාදන ක්‍රමය

භාජනයක් ළිප තබා බටර් එක් කරගන්න. බටර් දිය වූ පසු පාන් පිටි ටික එක්කර හොඳින් මිශ්‍ර කර ගන්න.

මිශ්‍රණය හොඳින් නටන විට නැවුම් කිරි එකතු කරමින් නොකඩවා හැඳි ගාන්න. මිශ්‍රණය උකු වූ පසු කුකුළු මස් තැම්බූ වතුර සහ කුකුළු මස් කැබලි එකතු කරන්න. ඉන්පසු ෆ්‍රෙෂ් ක්‍රීම් එකතු කරන්න.

හොඳින් උකු වන තෙක් හැඳි ගාමින් පිස ගන්න. රස අනුව ලුණු හා ගම්මිරිස් ස්වල්පයක් එක් කරන්න. පිළිගන්වන විට කොත්තමල්ලි කොළ උඩින් ඉසින්න.

*******************

ඉන්දියන් චිකන් ස්ටූ

අවශ්‍ය ද්‍රව්‍ය

 

කුකුළු මස් ග්‍රෑම් 500ක්

ලියාගත් ලොකු ලූනු ගෙඩි 2ක්

කපාගත් අර්තාපල් අල ගෙඩි 2ක්

තළාගත් ඉඟුරු තේ හැඳි 2ක්

තළාගත් සුදුලූනු බික් 4ක්

කපාගත් අමු මිරිස් කරල් 3ක්

කුරුඳු පොතු කෑල්ලක්

කරාබු නැටි 3ක්

කරදමුංගු ඇට 2ක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

කහ කුඩු තේ හැඳි 1/2ක්

ගරම්මසාලා තේ හැඳි 1/2ක්

දිය කිරි කෝප්ප 1/4ක්

මිටි කිරි කෝප්ප 1ක්

රස අනුව ලුණු

ගී ස්වල්පයක්

කරපිංචා ඉත්තක්

දෙහි යුෂ ස්වල්පයක්

තෙල් මේස හැඳි 2ක්

 

සාදන ක්‍රමය

පෑන් එකකට තෙල් හා ගී දාන්න. තෙල් රත්වෙන විට කරපිංචා, කරාබුනැටි, කුරුඳු පොතු,‍ කරඳමුංගු, ගම්මිරිස් දමා තෙම්පරාදු කර ගන්න. ලියාගත් ලූනු හා අමුමිරිස් දමන්න. කහ කුඩු එකතු කර නැවත කලවම් කරන්න.

ගින්දර ටිකක් අඩු කර, කපාගත් කුකුළු මස් එකතු කරගන්න. ඉන්පසු දියකිරි කෝප්පය එකතු කරන්න. විනාඩි පහක් පමණ හැඳිගාමින් පිසූ පසු ලුණු සහ ගරම් මසාලා කුඩු එකතු කරන්න.

මෙයටම අල ටිකත් දාගන්න. අල තැම්බෙනකල් වසා තබන්න. ඉන්පසු මිටි කිරි දමා කරපිංචා සහ දෙහි යුෂ එක් කරන්න. ගම්මිරිස් ස්වල්පයක් ඉස අඩු ගින්දරේ විනාඩි 15ක් පමණ පිස ගන්න.

 

********************

 

තායි ක්‍රමයට කුකුළු මස්

අවශ්‍ය ද්‍රව්‍ය

එළවළු තෙල් මේස හැඳි 1ක්

සිහින්ව කපාගත් සුදු ලූනු බික් 4ක්

ලොකුවට කපාගත් බී ලූනු කෝප්ප 1/2ක්

ලොකුවට කපාගත් බෙල් පෙපර් ගෙඩි 2ක්

ලොකුවට කපාගත් හතු කෝප්ප 1 1/2ක්

සිහින් තීරුවලට කැපූ කුකුළු මස් ග්‍රෑම් 500ක්

මිරිස් සෝස් කෝප්ප 1/2ක්

පොල් කිරි කෝප්පයක්

කුඩා කොටු කපාගත් බතල කැබලි කෝප්පයක්

කුඩා කොටු කපාගත් කැරට් කැබලි කෝප්පයක්

ලුණු අවශ්‍ය පමණ

 

සාදන ක්‍රමය

කැරට් සහ බතල කැබලි වෙන වෙනම තම්බාගෙන පසෙකින් තියන්න. ඉන්පසු මැටි ඇතිළියකට එළවළු තෙල් දමා ළිප තබන්න. තෙල් රත්වීගෙන එන විට එයට සුදුලූනු සහ ලූනු දමා බැදගන්න. ඉන්පසුව බෙල් පෙපර්, හතු සහ කපාගත් කුකුළු මස් කැබලි එයටම දමා බැද ගන්න. ඉන් අනතුරුව මිරිස් සෝස්, ලුණු සහ පොල් කිරි එක් කරන්න. බුබුළු දමමින් නටන විට කලින් තම්බාගත් බතල සහ කැරට් කැබලි එකතු කරන්න.